විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයින් මංකොල්ල කන හැටි – කොළඹ,රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර

අපේ රටේ රාජ්‍ය සේවාවේ නිරත වන අයට ද දීර්ඝ රාජ්‍ය සේවයකින් පසුව විශ්‍රාම වැටුපකට හිමිකමක් තිබේ. විශ්‍රාම වැටුපක් උපයා ගැනීමට අවම වශයෙන් අවුරුදු දහයක වත් සේවා කාලයක් සපුරාලීම අවශ්‍ය වෙයි. එසේ අවුරුදු දහයක් සේවය කළ පසු විශ්‍රාම වැටුපට හිමිකම ලැබුණාට එය ලබා ගත හැක්කේ අවුරුදු පනස් පහ සපිරීමෙන් පසුව පමණි. ත්‍රිවිධ හමුදාවල සේවය කරන අය හා සෞඛ්‍යමය හේතූන් මත විශ්‍රාම යන අය හැර කිසිවෙකුට වත් අවුරුදු පනස් පහ සම්පූර්ණ වීමට පෙර විශ්‍රාම වැටුපක් ලැබිය නොහැකි ය.ඒ අනුව විශ්‍රාම වැටුපක් ලබන විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් ගෙන් වැඩිදෙනා වසර විසි පහකට වඩා රාජ්‍ය සේවාවේ නිරත වී සිට සිය ජ්හීවිත වල හොඳම කාලය වන තරුණ කාලය රාජ්‍ය සේවාවට කැප කළ අය වෙති.මෙසේ රාජ්‍ය සේවාව වෙනුවෙන් මුලු ජීවිත කාලයම කැප කළවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කර දුන්නේ රට පාලනය කල බ්‍රිතාන්‍ය රජය මගිනි.මේ සඳහා වන රාජ්‍ය හා අධිකරණ නිලධාරීන් විශ්‍රාම ගැනීම පිළිබඳ ආඥා පණත 1910 වර්ෂයේ හදුන්වා දුන් අදට ද වලංගු නීතියකි. මේ යටතේ පැනවූ රෙගුලාසි ලෙස සැකසුණු විශ්‍රාම වටුප් ව්‍යවස්ථා සංග්‍රහය නම් වූ නෛතික රෙගුලාසි මාලාවක් ද පවතී.මෙසේ අධිරාජ්‍යවාදී පාලනයක් යටතේ මෙරට ජනතාවට සහතික,කරදී ඇති නිදහස් සෞඛ්‍ය පහසුකම, නිදහස් අධ්‍යාපනය මෙන්ම විශ්‍රාම වැටුප් හිමිකම ද එපරිද්දෙන්ම පවත්වා ගැනීමට නිදහස් ලංකාවේ ආණ්ඩුවලට හැකියාවක් වූයේ ද? යන්න සැක සහිත ය.

නිදහස ලැබීමට පෙර සිටම විශ්‍රාමිකයින් පිළිබඳව කටයුතු සිදුකෙරුණේ මහා භාණ්ඩාගාරය යටතේ ය.1970 බලයට පත්‍ රජය රාජ්‍ය පරිපාලනය පිළිබඳ වෙනම අමාත්‍යංශයක් ආරම්හ කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමෙන් පසු විශ්‍රාමිකයින් පිළිබඳ කාර්ය ඹාරය භාණ්ඩාගාරයෙන් ඉවත් කෙරිණ. ඒ අනුව විශ්‍රාම වැටුප පිළිබඳ සියලු කටයුතු එතැන් සිට පැවරුණේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ය.මේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ යුතු වන්නේ විශ්‍රාම වැටුප් හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ,ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ආදිය සම්බන්ධව මෙන්ම වෙනත් විශ්‍රාම වැටුප් පිළිබඳව වූ පාර්ලිමේන්තුව විසින් පනවා ඇති නීති හා ඒ යටතේ වන රෙගුලාසීන්‍ ය.
විශ්‍රාම වැටුප් සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා වන රෙගුලාසි ඇතුලත් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා මාලාව 1972 දී සංශෝධනය කර ඊට කාලීන වෙනස්කම් ඇතුලත් කරන ලදී. වර්තමානයේ විශ්‍රාමිකයන්ට මෙන්ම විශ්‍රාම ගන්නා රාජ්‍ය සේවකයන්ට අත් විඳීමට සිදුව ඇති ගැටලු දෙස බැලීමේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පැනවූ නීති රෙගුලාසි අනුව ක්‍රියා කරනවාට වඩා අන්තනෝමතිකව කටයුතු කරන ආයතනයක් බවට පත්ව ඇති බව අතිශයින් පැහැදිලි වේ.

නිසි වයස් සම්පූර්ණ වී විශ්‍රාම ගන්නා රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුපෙන් පාරිතෝෂිකයක් ලබා ගැනීමට මනාපය පළ කිරීමේ අවස්ථාවක් ලබාදී තිබුණි.එසේ පාරිතෝෂිකය ලබා ගැනීමට මනාපය පළ කළ අයෙකුට අවසන් වරට ලැබූ මාසික වැටුප මෙන් විසි හතර ගුණයක මුදලක් එක්වර ගෙවන පාරිතෝෂිකයක් ලෙස ගෙවනු ලබයි. මෙසේ පාරිතෝෂිකයක් ලබා ගන්නා විශ්‍රාමිකයින්ගේ ගණනය කල මාසික විශ්‍රාම වැටුපෙන් 10% අඩු කර ගනිමින් මාසික විශ්‍රාම වැටුප ගෙවනු ලබයි.මෙහිදී ගෙවනු ලබන විශ්‍රාම වැටුප හදුන්වන්නේ අඩු කළ විශ්‍රාම වැටුප යනුවෙනි පාරිතෝෂිකය ලබා ගැනීමට මනාපය පළ නොකළ විශ්‍රාමිකයෙකුට අඩු නොකළ සම්පූර්ණ විශ්‍රාම වැටුප මාසිකව ගෙවනු ලබයි.ඉන් අදහස් වන්නේ විශ්‍රාම පාරිතෝෂිකය ලෙස එකවර මාස විසි හතරක වැටුපට සමාන මුදලක් ලබාගන්නා විශ්‍රාමිකයින් සිය විශ්‍රාම වැටුපෙන් සීයට දහයකට සමාන මුදලක් අඩුකර ගෙවනු ලැබීමට යටත් වන බවයි.

නමුත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මේ දිනවල පාරිතෝෂික මුදල නොගෙ වූ විශ්‍රාමිකයින්ගෙන්ද සීයට දහයකට සමාන මුදලක් අඩුකර විශ්‍රාම වැටුප් ගෙවීම පුරුද්දක් ලෙස කරගෙන යනු ලබයි. 2020 වසරේ සිට විශ්‍රාම ලැබූ වැඩි දෙනෙකුට විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අසමත් වී ඇත.මේ දෙපාර්තමේන්තුව භාර අමාත්‍යංශය වන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා බොහෝ හැඟීම්බරව කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක දී කියා සිටියේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමට රුපියල් බිලියන දාහතක් අවශ්‍ය බවත් පවතින තත්වය අනුව අවුරුදු ගණනාවක් යන තෙක් එබඳු ගෙවීම් කිරීමට හැකියාවක් රජයට නොමැති බවත් ය.මේ අනුව අනාගතයේදීත් විශ්‍රාම පාරිතෝෂිකය පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැකි බව පැහැදිලි ය. විශ්‍රාම පාරිතෝෂිකය ලබා නොදුන්න ද විශ්‍රාමිකයින්ගෙන් සීයට දහයක් අඩුකර ගැනීම නතර කර නැත.විශ්‍රාම පාරිතෝෂිකය ලැබීමට මනාපය පළ කළ සෑම විශ්‍රාමිකයෙකුගෙන්ම වැටුපෙන් සීයට දහයක් අඩුකර ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අමතක කර නැත.මෙයින් සිදුව ඇත්තේ බලවත් අසාධාරණයකි එකවර ලබාදෙන පාරිතෝෂික මුදල තමන් වෙත ගෙවා නැතත් එම පාරිතෝෂික මුදලට හිලව් වීමට සිය වැටුපෙන් සීයට දහයක් ගෙවන්නට සිදුවීම ණය මුදලක් ඉල්ලුම් කළ අයෙකුට ණය මුදල ලබා නොදී ණය වාරිකය අඩු කිරීම හා සමාන වරදකි.නමුත් මේ වරද කිසිදු හිරිකිතයකින් තොරව කරමින් සිටින්නේ රාජ්‍ය පාලන පද්ධතියේ ප්‍රධානතම අමාත්‍යංශයක් යටතේ පවතින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසිනි.මේ දෙපාර්තමේන්තුවේ සාධාරණ මිනිසුන් ප්‍රධාන වගකීම් දැරුවේ නම් කළ යුතුව තුබුණේ පාරිතෝෂිකය විශ්‍රාමිකයාට ගෙවීමෙන් පසුව අඩු කළ විශ්‍රාම වැටුප ගෙවීමටත් එතෙක් අඩු නොකළ මාසික විශ්‍රාම වැටුප විශ්‍රාමිකයන්ට ගෙවන ලෙසටත් කටයුතු කිරීම ය.අඩුම තරමින් බැලුවත් විශ්‍රාමිකයින් පහලොස් දහසක් වත් මේ මංකොල්ලයට ලක් වී ඇති බව දැන දැනම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මීට මැදිහත් වීමක් නොකරන්නේ ඇයිදැයිද ගැටලුවක් ද පවතී.

මිට අමතරව විශ්‍රාමිකයින් ලක්ෂයකට ආසන්න පිරිසකට නියමිත විශ්‍රාම වැටුපට වඩා අඩුවෙන් ගෙවමින් ඔවුන්ව මංකොල්ලයට ලක් කරගෙන සිටීමටද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබේ. 2016/ 1/ 1දින සිට 2020/12/31දින දක්වා කාළය තුල විශ්‍රාම ගත් අසූ දහසක් පමණ වන විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ විශ්‍රාම වටුප 2020/1/1දින සිට නව වැටුප් පරිමාණයේ නියමිත පියවරට සමපාත කර ගණනය කර ගෙවන බවට විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රයේ සහතික කර තිබියදී ඒ ගෙවීම පැහැර හැර රජයේ සහතික වීමට පරිබාහිරව ක්‍රියා කිරීමෙන් සිය ප්‍රතිපත්ති විරහිත පාලනය රටට ඔප්පු කර පෙන්වීමට විශ්‍රාම වැටුප් ලොක්කෝ සමත්ව සිටිති.මේ සිද්ධි දෙකෙන් පමණක් අසාධාරණයට ලක්කර ඇති විශ්‍රාමිකයින් සංඛ්‍යාව ලක්ෂය ද ඉක්මවයි.

ඊළඟට විශ්‍රාමිකයින් අරභයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තවත් අපූරු මහදැනමුත්තාගේ වැඩක් ක්‍රියාවට නංවමින් සිටී.ඒ වසරකට වරක් විශ්‍රාමිකයා ජීවත්ව සිටින බවට ” ජීවිත සහතිකය”ක් ලබාගැනීමයි.විශ්‍රාම වටුප මාසිකව බැංකු ගිනුම් වලට බැර කිරීමේ ක්‍රමය හඳුන්වා දුන් පසුව එසේ බැංකු ගිනුම්වලට මාසිකව බැර කරන මුදල් විශ්‍රාමිකයා මිය ගිය පසුවත් අඛණ්ඩව බැර කෙරී ඇති අවස්ථා හා එසේ බැර කෙරුණු මුදල් මියගිය විශ්‍රාමිකයාගේ ඥාතීන් විසින් ඒටීම් කාඩ් පත් මගින් ලබා ගත් අවස්ථා වාර්තා වීමෙන් පසුව විශ්‍රාමිකයා මිය ගිය පසු ඒබව කඩිනමින් වාර්තා කරගැනීමට ක්‍රමයක් සොයා ගැනීමට විශ්‍රාම වැටුප් ලොක්කෝ උත්සාහ ගත්හ. ඔවුන්ට කෝකටත් තෛලය වූයේ ග්‍රාම නිලධාරින් ය.ඔවුන් කළේ විශ්‍රාමිකයෙකු මියගිය පසු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට දැන්වීමේ වගකීම ග්‍රාම නිලධාරීන්ට පැවරීම ය. නාගරික හා අර්ධ නාගරික ග්‍රාම නිලධාරි කොට්ඨාශ වල ග්‍රාම නිලධාරීන් මෙයින් දැඩි අපහසුතාවයට පත්වූහ.ග්‍රාම නිලධාරි කොට්ඨාශයක සිදුවන මරණ වලින් නිල වශයෙන් ග්‍රාම නිලධාරිට වාර්තා වන්නේ නිවසේ දී සිදුවන මරණ පමණක් බව මේ ලොක්කෝ දැන නොසිටියහ.රෝහල් ගතව සිටියදී වෙනත් දරුවෙකු ළඟ හෝ ඥාති නිවසක තාවකාලිකව සිටියදී මිය යන විශ්‍රාමික මරණ ග්‍රාම නිලධාරීන්ට වාර්තා නොවේ.

මේ අනුව ග්‍රාම නිලධාරීන් මගින් විශ්‍රාමිකයන් මියයාම් වාර්තා කර ගැනීම අපහසු බව පෙනී ගිය කළ තවත් මහදැනමුත්තා පන්නයේ විසඳුමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් හදුන්වා දුණි.ඒ වසරකට වරක් විශ්‍රාමිකයා ග්‍රාම නිලධාරි ඉදිරියේ පෙනී සිට තමන් ජිවත්ව සිටින බව තහවුරු කෙරෙන සහතිකයක් ගැනීමේ අපූරු ක්‍රමයකි.මාසිකව විශ්‍රාමිකයාගේ බැංකු ගිනුමට බැර කරන විශ්‍රාම වැටුප ගෙවීමට වසරකට වරක් ජීවත්වන බවට සහතිකයක් ලබා ගැනීම විහිලුවක් වන්නේ මාර්තු මාසයේදී “ජීවිත සහතිකය”ක් ගන්නා විශ්‍රාමිකයෙක් අප්‍රියෙල් මැයි හෝ වෙනත් ඕනෑම දිනක මිය යා හැකි බැවිනි.නමුත් ඒ විශ්‍රාමිකයා එසේ මිය ගිය බව ග්‍රාම නිලධාරිට දැනගත හැකි වන්නේ ඊළඟ වසරේ මාර්තුවලදී ය.ඒඅතර මුලු කාලයම විශ්‍රාම වැටුප බැංකු ගිනුමට බැර වීම සිදු වේ. මෙලෙස රටේ සියලුම විශ්‍රාමිකයින් මාර්තු මාසයේ පමණ ග්‍රාම නිලධාරි මුණගැසීමට යාම නිසා ඇතැම් ග්‍රාම නිලධාරීහු සිය රාජකාරි කටයුතු කරගැනීමට නොහැකිව අපහසුතාවයට ලක්වෙති.මෙහි ඇති ඊළඟ අසාධාරණය නම් මේ ඊනියා ජීවිත සහතිකය නොදුන්නොත් පුද්ගලයා ජීවත්ව සිටියදීම විශ්‍රාම වැටුප නතර කිරීමය. නීත්‍යානුකූලව ගෙවමින් සිටින විශ්‍රාම වැටුපක් නතර කිරීමට හැක්කේ විශ්‍රාමිකයා මිය යාම හෝ එක් වසරකට වඩා දීර්ඝ කාලයකට සිර දඩුවම් ලැබීම යන හේතු මත පමණි. එහි දී සිර දඩුවම් ලැබූවෙකුගේ ද විශ්‍රාම වැටුප නතර කළ හැක්කේ රාජ්‍ය පරිපාලන ලේකම් අන්‍යාකාරයක නියමයක් නොකොළොත් පමණි.මේ නීතිය අනුව කළ යුතුදේ ය.එහෙත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පාලනය වන්නේ මහ දැනමුත්තන් හා කැකිල්ලේ රජවරුන්ගෙන් නිසා ඔවුන්ට අවශ්‍ය දේ කරති.

මේ මහ දැනමුත්තා පන්නයේ විසඳුම් දෙන්නේ විශ්‍රාමිකයින්ගේ මරණ වාර්තා කර ගැනීමට ඉතාම කාර්‍යක්ෂම ක්‍රමවේදයක් මරණ ලියාපදිංචි කිරීමේ නීත්‍යානුකූල ක්‍රියාවලිය තුළ අතීතයේ සිටම ක්‍රියාත්මකව පවතිද්දී ය. ශ්‍රී ලංකාවේ උපත් හා මරණ ලියාපදිංචි කිරීම සඳහා මුලු මහත් දිවයිනම කොට්ඨාශවලට බෙදා ඒ සඳහා රෙජිස්ටාර් වරු පත්කර ඇත. මේ රෙජිස්ටාර් වරුන්ට රෙජිස්ටාර් ජෙනරාල් විසින් ලබා දෙන අත්පොතේ 292 යටතේ දැක්වෙන නියෝගයේ සඳහන්ව ඇත්තේ රෙජිස්ටාර්වරයා විසින් ලියාපදිංචි කරන සෑම මරණයක්ම ආණ්ඩුවේ විශ්‍රාම වැටුපක් ලබන්නෙකුගේ ද යන්න අනලස්ව සොයා බලා එසේ විශ්‍රාම වැටුපක් ලබන අයෙකුගේ නම් ඒ මරණය ලියාපදිංචි කළ විගස එකී මරණය පිළිබඳ විස්තර පිටපත් තුනකින්‍ යුතුව දිස්ත්‍රික්‍ රෙජිස්ටාර් වෙත වාර්තා කළ යුතු බව ය.මියගිය අය සතුව තිබූ විශ්‍රාම වැටුප් කාඩ් පත හැකි නම් ලබාගෙන එකී වාර්තාව සමඟ දිස්ත්‍රික්‍ රෙජිස්ටාර්ට යැවිය යුතු බවද එහි සඳහන්‍ වේ.මේ උපදෙස් 1973වර්ෂයේ නිකුත් කළ රෙජිස්ටාර් වරුන්ගේ අත්පොතේ ද සඳහන්‍ ය.වර්තමානයේ ද මේ අත් පොත සෑම රෙජිස්ටාර් වරයෙකු වෙතම නිකුත් කරනු ලැබේ.සමීප ඥාතීන් තිදෙනෙකුගේ මරණ ලියාපදිංචිය සඳහා තොරතුරු සපයන්නා ලෙස ගත වූ වසර තුනක් තුළ මම මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් වරුන් මුණ ගැසුණෙමි.මේ අවස්ථා තුනේදීම රෙජිස්ටාර්වරයාට තොරතුරු දැනුම් දීමට පිරවිය යුතු ආකෘති පත්‍රයේ මියගොස් ඇති තැනැත්තා රජයේ විශ්‍රාම වැටුපක් ලබමින් සිටි අයෙක් ද? යන ප්‍රශ්නය විමසා තිබෙනු දුටුවෙමි. ඒඅනුව 1973 සිට විශ්‍රාමිකයින්ගේ මරණ ලියාපදිංචි කිරීමේදී හඳු නාගෙන ඒ පිළිබඳ වෙනම වාර්තාවක් දිස්ත්‍රික්‍ රෙජිස්ටාර්වරුන්ට (දිසාපති වරුන්ට )යැවීම සිදුව ඇත. 1992 සිට දිස්ත්‍රික්‍ රෙජිස්ටාර් යනු අදාල කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් ය.මේ අනුව විශ්‍රාමිකයින්ගේ මරණ රෙජිස්ටාර් වරු මගින් අදාල කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් දක්වා වාර්තා වන නිල ක්‍රමවේදයක් පවතින බව පැහැදිලි ය.

මේ නිල ක්‍රමවේදය සක්‍රිය කර විශ්‍රාමිකයින්ගේ මියයාම් පිළිබඳ තොරතුරු අදාල කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම් දීමට රෙජිස්ටාර් ගේ වාර්තාව ලද ප්‍රාදේශීය ලේකම්ට බලය දෙමින්‍ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය චක්‍රලේඛනයක් ද 2019වර්ෂයේ නිකුත් කළේ මේ නිල ක්‍රමවේදය පිළිබඳ තොරතුරු ම`විසින් රාජ්‍ය පරිපාලන ලේකම්වෙත දැනුම් දුන් පසුව ය.එම චක්‍ර ලේඛනයෙන් දන්වා ඇත්තේ විදේශගතව සිටින අය පිළිබඳව ජීවිත සහතික ලබාගැනීම අඛණ්ඩව කිරීමටත් මෙරට විශ්‍රාමිකයින්ගේ මරණ රෙජිස්ටාර් වරුන් මගින් පවතින නිල ක්‍රමවේදයට අනුව ලබාගෙන විශ්‍රාම වැටුප් ලේඛන සංශෝධනය කරන ලෙසත්‍ ය. එහිදී කොළඹ රෝහලක දී මියයන මාතර හෝ ගාල්ල ප්‍රදේශයේ විශ්‍රාමිකයෙකුගේ මරණය කොළඹ ප්‍රාදේශීය ලේකම් කෙනෙකුට රෙජිස්ටාර් මගින් වාර්තා වූ විගස අදාල මාතර හෝ ගාල්ල ප්‍රාදේශීය ලේකම්ට ඒ බව දන්වන ලෙසට ප්‍රාදේශීය ලේකම්ට පැවරීම ද එම චක්‍රලේඛනයේ සඳහන් ය. මේ සියල්ල තිබුණත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වසරකට වරක් විශ්‍රාමිකයින් ග්‍රාම නිලධාරීන් ළඟ පෝලිම් ගස්සා ඊනියා “ජීවිත සහතික” ගැනීමටත් ඒ සඳහා විකල්පයක් ලෙස වසරකට වරක් ඇඟිලි සලකුණ ගෙන්වා ගැනීමට බැංකුවල යන්ත්‍ර සවි කිරීමටත් කටයුතු කරන්නේ ඇයිදැයි සොයා බැලීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වගකීම ය.

අවසාන වශයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තාක්ෂණය ද යොදාගෙන කරන විශ්‍රාමිකයින් කොළඹට ගෙන්වීමේ දැඩි මධ්‍යගත ක්‍රමවේදය ගැන ද කිවයුතු ය.ලංකාවේ කවර ආයතනයක සේවය කර විශ්‍රාම ගන්නා අයෙකු වුවත් සිය විශ්‍රාම වැටුප අනුමතකරගැනීමට නම් කොළඹ විශ්‍රාම වැටුප් ප්‍රධාන කාර්‍යාලයට පැමිනී අනිවාර්‍ය ය.එහිදී අදාල නිලධාරියාගේ ඇඟිලි සලකුණු ගැනීම ද තවත් ලේඛනවල අත්සන් ගැනීම ද කර විශ්‍රාමිකයාගේ සියලු තොරතුරු ඔහුගේ කැමැත්ත විමසීමකින් තොරව පෞද්ගලික බැංකුවකට ලබා දී ඒ බැංකුවේ අනුග්‍රහයෙන් ලබාදෙන හැදුනුම් පතක් ද නිකුත් කරනු ලබයි.මේ හැඳුනුම්පත අපූරු එකකි.ඒහැදුනුම්පත දරන්නා අර පෞද්ගලික බැංකුවේ ගිනුම් හිමියෙකු නම් එම හැදුනුම්පත අදාල බංකුවේ ගිනුමේ ඒටීම් පතක් ලෙස ද යොදා ගැනීමේ පහසුකම ඇත.මේ තුළින් කරන්නේ විශ්‍රාමිකයින් අර පෞද්ගලික බැංකුවේ ගිනුම් විවෘත කරවීමට දිරිගැන්වීම ය.විශ්‍රාමිකයාගේ පුද්ගලික තොරතුරු අනවසරයෙන් පුද්ගලික බැංකුවකට සපයා ඒ බැංකුවේ ගිනුම් විවෘත කිරීමට දීමෙන් වාසි ලබාගන්නේ කවුරුන්දැයි සොයා බැලීමට කෙනෙක් නැත. විශ්‍රාමිකයා කොළඹට ගෙන්නීමට ඇඟිලි සලකුණ ගැනීමේ අවශ්‍යතාව පෙන්වන්නේ එම කාර්ය දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලට විමධ්‍ය ගත කළ නොහැකි නිසා නොව අර පුද්ගලික බැංකුවෙන් ලැබෙන වාසි නිසා නොවේදැයි කාටහෝ සිතෙන්නේ නම් සාධාරණ ය.මේ ටික ලිව්වේ රාජ්‍ය පරිපාලනය භාරව පත්වූ සංවේදී රාජ්‍ය නිලධාරියෙකු වන අමාත්‍යංශ ලේකම් තුමාගේ ද අවධානය පිණිස ය.

කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර

එතෙර - මෙතෙර