විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුමක් වෙයි ද?

t20worldcup

ක්‍රිකට් ලෝලීන් පුල පුලා බලා සිටි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වනවිට ආරම්භ වී ඇති අතර එහි සුපිරි 12 දෙනාගේ වටය දැන් ඉදිරියට යමින් තිබේ. ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් කම්පනයට පත් කරමින්, නැමීබියාව සමග පැවැති මුල් වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අනපේක්‍ෂිත පරාජයක් ලැබුවත් පසුව සුපුරුදු දස්කම් අතරට පැමිණි ඔවුන් මෙම සුපිරි 12 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා සිටියි. මෙම වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 23 වැනි ඉරිදායි. එහි දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්ත කණ්ඩායම යි.

සුපිරි 12 දෙනාගේ වටයේ ක්‍රීඩා කරන කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ තරග කරති. ශ්‍රී ලංකාව අයත් වන්නේ 1 වැනි කාණ්ඩයට යි. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් ද මෙම කාණ්ඩයට අයත් වන නිසා ශ්‍රී ලංකාවට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා ඔවුන්ට සියලු ශක්තිය යොදවා සිය උපරිමයෙන් ක්‍රීඩා කරන්නට සිදුවනු නියතය.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ යි. එරට තණතිලි ආසියානු කලාපයේ තණතිලිවලට වඩා වේගවත්ය. 1 වැනි කාණ්ඩයට අයත් වන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වැනි කණ්ඩායම් මෙවැනි තණතිලිවල වැඩි දස්කම් දක්වන්නෝ වෙති. මෙවර තරගාවලියෙන් ජය ගනු ඇතැයි මේ වනවිට වැඩි දෙනා විශ්වාස කරන්නේ ඕස්ට්‍රේලියාවයි. එංගලන්තය දෙවැනි තැනට පැමිණෙනු ඇති බවට ද අනාවැකි පළ වේ. ශ්‍රී ලංකාවට මෙම වටයේ දී තරග කරන්නට සිදුවන්නේ මෙවැනි කණ්ඩායම් සමග ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයට ලක්ව තරගාවලියෙන් ඉවත් වීම කණ්ඩායමට විශාල පාඩුවකි. ඕස්ටේ්‍රලියානු තණතිලි වේග පන්දු යවන්නන්ට වාසිදායක නිසා ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශාල සේවයක් කිරීමට හැකියාව තිබිණි.

කෙසේ වෙතත් කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් මේ වනවිට ඉහළ දස්කම් දක්වමින් සිටින නිසා තරගාවලිය තුළ කිසිවකු නොසිතන ආකාරයේ පෙරළි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ඇති බව ද අමතක කළ යුතු නොවේ.

1 වැනි කාණ්ඩය යටතේ තරග කරන කණ්ඩායම් 6 මෙසේයි:

ඇෆ්ගනිස්තානය
ඕස්ට්‍රේලියාව
එංගලන්තය
අයර්ලන්තය
නවසීලන්තය
ශ්‍රී ලංකාව

2 වැනි කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම 6:

බංග්ලාදේශය
ඉන්දියාව
නෙදර්ලන්තය
පාකිස්තානය
දකුණු අප්‍රිකාව
සිම්බාබ්වේ

ඔක්තෝබර් 22 වැනි දින ඇරඹුණු මෙම වටයේ තරග නොවැම්බර් 6 වැනි දින දක්වා පැවැත්වේ. එයින් පසු 1 කාණ්ඩයේ ඉහළම ලකුණු ගන්නා කණ්ඩායම් දෙකත්, 2 කාණ්ඩයේ ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙකත් ඊළඟ වටය හෙවත් අර්ධ අවසාන තරග වටයට යනු ඇත. පළමු අර්ධ අවසාන තරගය නොවැම්බර් 9 වැනි දින ද, දෙවැන්න නොවැම්බර් 10 වැනි දින ද පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 13 වැනි දින යි. එය පැවැත්වෙන්නේ සුප්‍රකට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ යි.

ඇතැම් ක්‍රිකට් විචාරකයන් අනාවැකි පළ කරන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අර්ධ අවසාන තරග සඳහා සුදුසුකම් ලබනු ඇති බවටයි. ඒ අතරින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් තරගයට පැමිණෙනු ඇති බවත්, ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනාගනු ඇති බවත් මේ වැඩි දෙනාගේ අදහස වී තිබේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙහි ස්වභාවය අනුව එවැනි අනාවැකි වැරදී යාමට ඇති ඉඩකඩ ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.

පළමු වතාවට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වුණේ 2007 වසරේ යි. දකුණු අප්‍රිකාවේ පැවැති එම තරගාවලියේ අවසන් තරගයට පැමිණියේ ඉන්දියාව සහ පාකිස්තානය යි. එයින් ජයගෙන කුසලානය දිනාගත්තේ ඉන්දියාව ය. ශ්‍රී ලංකාව 2014 වසරේ ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. 2021 වසරේ පැවැති තරගාවලියේ ජය හිමි කර ගත්තේ ඕස්ට්‍රේලියාව යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර