විසි එකට කුළල් කාගැනීම කවුරු කවුරුත් “වීසි වෙන” වැඩකි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම ගැන ගැටළුවක් මතුව තිබේ.ඒ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින දේශපාලන පක්ෂය වන පොදු ජන පෙරමුණ ඊට එකඟ නොවීම හේතු කොට ගෙන ය. 19 වෙනි සංශෝධනය අහෝසි කොට 20 වෙනි සංශෝධනය බලාත්මක වීමත් සමඟ පාර්ලිමේන්තුවට 19 යෙන් පවරා තිබූ බලතල රැසක් යළි ජනාධිපතිවරයා යටතට පත් විය.එය සමාජ පරිනාමීය විපරීතයකැයි සමහරු කියති.

20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමත් සමඟ ජනාධිපතිවරයා තව දුරටත් බලවත් පුද්ගලයෙකු වී පාර්ලිමේන්තුව බල රහිත තත්ත්වයට පත්විය. ජනාධිපතිවරයා බලවත් වීම නමැති එතෙක් රස බලා නොතිබූ ආහාරය කල් කදුරු තිත්ත එකක බව කාට කාටත් වැටහී ගියේ එම දේශපාලනමය පටලැවුම ආර්ථික අර්බුදයක් දක්වා පැතිර ගිය නිසාය. අවසානයේ ජනතාව මහමඟට බැස අරගල කරන තැනට පැමිණීමත් සමඟ සිය ව්‍යවස්ථාමය බලය යොදා ගනිමින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානතම ඉල්ලීමක් වූයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය ගෙනවිත් 19 වෙනි සංශෝධනයේ පැවැති සාධනීය කරුණු ද ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කර ගනිමින් ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට පැවරීමට ය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇතිවූ එකඟතාවය පදනම් කරගනිමින් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂට විසින් 21 වෙනි සංශෝධනය ගෙන එන ලදී.

නමුත් එහි වගන්ති 3 ක් සම්බන්ධයෙන් විරෝධයක් ගොඩ නැගුණේය. ඉන් පළමු කාරණය වූයේ ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමට ඇති බලය පාර්ලිමේන්තුවට පැවරීමය. ඒ අනුව ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමට ඇති බලය ඉවත් වනු ඇත. ඊට පොදුජන පෙරමුණ විරෝධය පළ කර තිබුණි.

ඊළග කාරණය වූයේ ඇමති මණ්ඩලය පත් කිරීම අගමැතිවරයාගේ උපදෙස් මත කළ යුතුය යන වගන්තිය හා ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධූර දැරිය නොහැකිය යන වගන්තියය. මෙම වගන්තිවලට පොදුජන පෙරමුණ විරෝධය පළ කරමින් සිටියි. ඉකුත් සිකුරාදා අගමැති සමඟ පැවැති සාකච්ඡාවේදී දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙයට විරෝධය පළකර තිබුණි. අගමැති ඉවත් කිරීමේ ජනාධිපති වරයා සතු බලය ඉවත් කිරීම හා ඇමතිවරු පත් කිරීම ගැන වගන්තියට දැඩි විරෝධය එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් තවත් පිරිසක් ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට ඉදිරිපත්වීමට ඇති අයිතිය අහෝසි කිරීමේ කාරණය ද තවත් පිරිසකගේ විරෝධයට හේතුවී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් එහි මුලින්ම සිටින්නෙකි. ඔහු කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳිය යුතු බවකි.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වන අනෙක් කණ්ඩායම කියන්නේ ආර්ථික ප්‍රශ්න විසදීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් පැවැතිය යුතු බවකි. ඉකුත් ඉරිදා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඇතුළු පිරිසක් අගමැතිවරයා හමුවී 21 වෙනි සංශෝධනයට විරෝධය පළකර තිබුණි.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වෙනත් කාරණා කියූව ද පිරිසකට ප්‍රශ්නයක් වී ඇත්තේ මොල හතක් ඇති බව කියන ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්වීමට සිදුවීම ය. එම නිසා මෙම විරෝධය මතුව ඇති බව බහුතරයකගේ මතයය. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම දිගින් දිගටම කියන්නේ සාටකධාරී කලු කුරුල්ලෙකු 21 වෙනි සංශෝධනයට බාධා කරන බව ය.

කලු කුරුල්ලා මේ වන විට දේශපාලන අවුල සේම ආර්ථික අවුල ද තව තවත් අවුල් කරමින් සිටින බව වාර්තා වෙයි. ඊයේ (06) සවස ඇමති මණ්ඩලයට සංශෝධිත 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කළ බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ පවසයි. ඇමති මණ්ඩලයට අධ්‍යයනය කිරීම සඳහා මෙය ලබා දුන් බවත් ඉදිරි ඇමති මණ්ඩලයේදි මෙය අනුමත කිරීමට අපේක්ෂා කරන බවත් විජයදාස රාජපක්ෂ කියයි.

කෙසේ නමුත් ආණ්ඩුවට මෙය සම්මත කර ගැනීමට නම් පොදුජන පෙරමුණේ සහාය අවශ්‍ය වේ. මන්ද මෙය සම්මත වීමට නම් තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය බැවිනි. සමගි ජන බලවේගය 21 වෙනි සංශෝධනයට එකඟ නමුත් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ වගන්තියක් ද ඇතුළත් විය යුතු බව ඔවුහු සඳහන් කරති. එසේම ජනාධිපතිවරයා ඇමතිධූර දැරීම සම්බන්ධයෙන් ද ඔවුහු විරෝධය පළ කරති.

ජාතික ජන බලවේගය සඳහන් කරන්නේ වෙනත් කාරණයකි. 21 වෙනි සංශෝධනයට ඔවුන් එකඟ නමුත් ජන බලයක් නොමැති අගමැතිවරයෙකුට ඉන් බලය ලැබීම අනුමත කළ නොහැකි බව ඔවුහු පවසති. කෙසේ වෙතත් තුනෙන් දෙකක බහුතරය නොමැතිව ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කර ගත නොහැකි ය.

අර්බුදය ඇත්තේ මෙතනය. එම නිසා විරෝධය පළවන කාරණා සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කොට එකඟතාවයට පැමිණීමට අපේක්ෂා කරන බව අධිකරණ ඇමති පවසයි. 21 වෙනි සංශෝධනය සම්මත කරගැනීම වෙනුවෙන් තවත් මාසයකට වැඩි කාලයක් ගතවනු ඇති බව මෙයින් පැහැදිලි ය. අවසානයේ ආර්ථික ප්‍රශ්නත් දේශපාලන ප්‍රශ්නත් විසඳුමකින් තොරව එක තැන පල්වුවහොත් එය නැවත ජනතා නැගිටීමකට අඩිතාලමක් වනවාට සැකයක් නැත.

එය ඉතා බරපතල කරුණකි. කලු කුරුල්ලා සේම පාර්ලිමේන්තුවේ අනෙකුත් සෑම කුරුල්ලෙකුම තේරුම්ගත යුතුය. එසේ නොමැති වුවහොත් ජනතාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පිටින් තීන්දු තීරණ ගැනීමට කටයුතු කරනු ඇත.එහි අවසන් ප්‍රතිඵලය පාර්ලිමේන්තුවේ සියළු දෙනා ඉවතට වීසි වී යාමෙනුත් නොනවතින අතිශය බිහිසුණු ප්‍රතිඵල උදා කරන්නකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර