වෙනත් කෙනකු සිහි නොගන්වන සුවිශේෂ පෞරුෂයකින් යුතු අපේ කාලයේ ගාන්ධර්වයා සනත් නන්දසිරි ගේ මතක සැමරුම් අතුරින්

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ සංගීතඥයන් අතුරින් ඉහළම තැනක වැජඹුණු සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගාන්ධර්වයාණෝ ඉකුත් මාර්තු 27 වන දින අභාවප්‍රාප්ත විය.1942 ගොතටුවේ දි උපත ලද ඔහු මිය යන විට අසු එක් වන වියේ පසු විය.

නිවසේ තිබූ ග්‍රැමෆෝනයේ ආධාරයෙන් සංගීත රසය විඳීමට අමතර ව සංගීතය අධ්‍යයනය කිරීමට ද හුරු පුරුදුව සිටි සනත් නන්දසිරි දරුවා කුඩා කාලයේ සිටම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ පහස ලද්දේ මඩවල එස්. රත්නායක, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර වැනි විශිෂ්ට ගී පද රචකයන්ගේ ඇසුර ලැබීමට තරම් භාග්‍ය ලබමිනි. එය ඔහුගේ ගායන දිවියට මහඟු අත්වැලක් වන්නට ඇත.හේමතිලක දයාරත්න,මහේෂ් සින්නයියා ආදී දේශීය සංගීතඥයන්ගෙන් ලත් මූලික අධ්‍යාපනයෙන් පසුව ඉන්දියාවේ ලක්නව් හි භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව අධ්‍යාපනය හැදෑරූ ඔහු 1965 දී ඉන් ගායන සහ වාද්‍ය විශාරද උපාධිය හිමි කර ගන්නා ලද්දේ වයස අවුරුදු විසි හතේ දීය.1966 වසරේ දී නැවත ලංකාවට පැමිණ තම සංගීත දිවිය ආරම්භ කළ ඔහු රජයේ සංගීත ගුරුවරයකු, රජයේ සංගීත විද්‍යාලයේ හා හා කැළණිය සරසවියේ ආචාර්යවරයෙකු ලෙසින් කටයුතු කළේය. එහි දිගුවක් ලෙසින් සනත් නන්දසිරි සූරීන් (2016) සෞන්දර්ය හා රංග කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා බවට ද පත්විය. සංගීත “නිපුන්” විභාගයෙන් (1992) පළමු පන්තියේ සාමාර්ථයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුම ය.

1971 වසරේ සනත් නන්දසිරි සූරීන් විවාහ ගිවිස ගන්නේ ගායිකාවක් වන මල්කාන්ති පීරිස් සමගය. ඔහුගේ එකම දියණිය 1974 පෙබරවාරි 14 වන දා උපත ලබන අතර කරුණාරත්න අබේසේකර සූරීන් ගේ මඟ පෙන්වීම මත ඇයට නිශාමනී අනුරාධා යනුවෙන් නම ලබන්නීය. ඇය ද තම පියාගේ යෝධ ප්‍රතාපවත් සෙවනැල්ල යටින් සංගීත ක්ෂේත්‍රයට පිවිසියාය.

ගුවන් විදුලිය,රූපවාහිනිය,චිත්‍රපට පසුබිම් ගායනය සහ ප්‍රසංග වේදිකාව ඔස්සේ බොහෝ දෙනා හඳුනා ගත් සනත් නන්දසිරි හුදු ගායකයකු නොවේ.ඔහු අප රටේ මෑත භාගයේ මෙරට බිහි වූ සුවිශේෂී සංගීතඥයකි.විවිධ සංගීත සම්ප්‍රදායනට අයත් ගී ටහනු නිර්මාණය කළ ද ඔහුගේ සංගීත නිර්මාණ බොහොමයකට උත්තර භාරතීය රාගධාරී සංගීතය පදනම් වීමෙන් අපට පෙනී යනුයේ එය ඔහුගේ සංගීත දිවියේ ආත්මය වූ බවකි.අප රටේ වෙනත් කිසිදු ගායකයකු කෙරෙන් දක්නට නොලැබෙන සනත් නන්දසිරිගේ හඬ පෞරුෂය තුළ එක්තරා නාසික උච්චාරණ ස්වභාවයක් ගැබ් ව තිබූ අතර එය ප්‍රේම සහ විරහ ගීත සඳහා විස්මිත අයුරින් ගැලපුණි.එමෙන්ම ඔහුගේ ස්වරයේ වූ ගාම්භීර බව අනුව එය සෙසු බොහෝ ගී සඳහා ද ගැලපුණු අපූරුවට සාක්ෂි වශයෙන් ගත හැකි ගී සිය ගණනකි. වරක් බැලූ යමකුට නැවත හැරී බැලීමට සිත් දෙන අන්දමේ ආරෝහ පරිනාහ දේහ විලාසයක් සේම වෙනත් කෙනකුට පහසුවෙන් නොපිහිටන අන්දමේ කුශලතාවයන් රැසකින් සපිරි මේ මහා කලා කරුවාණන්හට උත්තමාචාර පුද කරන අපි ඔහුගේ ජීවිතයේ “ආදර සැමරුම්” අතුරින් තෝරා ගත් සේයා රූ කිහිපයක් අපි ඔබ වෙත මෙසේ තිළිණ කරමු.

දමයන්ති ගමගේ

 

එතෙර - මෙතෙර