අය වැය විවාදය මේ දිනවල උණුසුම් අයුරින් පැවැත්වෙන ආකාරයක් දක්නට ලැබේ. ඒ අතරින් උණු කැවුම් වැනි වඩාත්ම උණුසුම් කතාවක් පැවැත්වූයේ කුමාර වෙල්ගම මන්ත්‍රී වරයාය. ඔහු කොතරම් සැහැල්ලුවෙන් විවාදයේ දී කතා කළාද කිවතොත් ඔහුට මූලාසනය පවා අමතක විය.
ඔහුට එය කෙතරම් අමතක වූවේදැයි කිවතොත් වෙල්ගම මන්ත්‍රීවරයා කතාව පවත්වන අවස්ථාවේ මූලාසනයේ සිටි හර්ෂණ රාජකාරුණා මන්ත්‍රීවරයා ඇමතුවේ “පුතා” යනුවෙනි.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව මූලාසනයේ ඥාතියෙකු සිටියත් ඔහුව ඇමතිය යුත්තේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රී තුමා ලෙසය නැතිනම් ගරු සභාපති මන්ත්‍රී තුමා ලෙස ය. පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම මන්ත්‍රීවරයෙකුටම මේ බව දැනුම් දෙන්නේ ඔවුනට පවත්වන පළමු වැඩමුළුවේදීම ය.
කුමාර වෙල්ගම මන්තී වරයකු පාර්ලිමේන්තුවට පත් වන්නේ 2000 වර්ෂයේදී ය. එතැන් පටන් වසර 21 ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහුට මෙය වැරදුණා යැයි කීයටවත් සිතිය නොහැක. ඔහු එතරම්ම තම කතාවේ ප්‍රස්තූතයට සමවැදුණා විය යුතු ය.අනෙක මන්ත්‍රීවරයා කියූ කාරණා ඉතා තර්කානුකූල කාලෝචිත කාරණාවන්ය.
ඊට අමතරව හර්ෂණ ගේ පියා තමන්ගේ මිතුරෙකු බවත් කොළඹ ඔවුන් පදිංචිව සිටින්නේ එක ළග නිවසෙක බව ද සදහන් කළ වෙල්ගම මන්ත්‍රීවරයා නුවරඑළියේ ගියත් සිටින්නේ එකට බව ද කීවේය. ඒ වෙල්ගම මන්ත්‍රීවරයාට විවාදයට වෙන් කළ කාලය අවසන් බව මූලාසනයෙන් දැනුම් දීමත් සමඟ ය. නමුත් තමන් පුතා කීවේ ගරු මූලාසනයේ මන්ත්‍රීවරයාට ඔහුට සිහිපත් වූයේ පසුව ය.
කුමාර වෙල්ගම මන්ත්‍රී වරයා ඉදිරිපත් කළ පළමු කාරණය වූයේ ජනාධිපතිවරයා “පිස්සෙකු” ලෙස හැදින්වීමට තරම් ජනතාව සාමාන්‍යකරණය වී ඇති බවකි. එසේම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීම සම්බන්ධයෙන් තමන් මුලදීම විරෝධය පළ කළ බව ද ද ඔහු පෙන්වා සිටියේ ය. ඒ ජී.එල් පීරිස් ඇමතිවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවක දී ඔහු කළ ප්‍රකාශයක් ද සඳහන් කරමිනි.
“ප්‍රාදේශීය සභාවක් වත් නියෝජනය නොකළ අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙනවාට මම විරුද්ධ වුණා. දැන් එහි ප්‍රතිඵල පේන්න තියෙනවා.” යනුවෙනි. එසේම ඔහු ජනාධිපති අපේක්ෂකත්වය දීමට යෝජනා කළේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාට බව ද කීවේ ය. ඔහු අත්දැකිම් සපිරි දේශපාලනඥයකු සේම බොරළුගොඩ සිංහයා ලෙස විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධනගේ පුතා නිසා බව ද සදහන් කළේ ය.
එම අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ද සභාවේ සිටි බැවින් තමන් කියන කතාව බොරුදැයි කිහිප විටක්ම විමසා සිටියේ ය. තමා කියන දේ සත්‍යයක් හෝ අසත්‍යයක් බව කොන්දක් තිබේ නම් නැඟිට කියන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාට කීවත් සභානායක ලෙස සිය ආසනයේ අසුන් ගෙන සිටි ඇමති දිනේෂ් ගුණවර්ධන එම කතාවට සිනාසුණා මිස නැඟිට කිසිවක් කීවේ නැත. එසේම වෙල්ගම මන්ත්‍රීවරයාගේ කතාව පක්ෂ විපක්ෂ සියළු පාර්ශව සාවදානව අසාගෙන සිටියා මිසක් කිසිදු බාධාවක් කළේ ද නැත.
ඒකාබද්ධ විපක්ෂයේ සිටියදී ඔවු`නොවුන් කතා කළ දේ පවා ඔහු එළිපිටම හෙළිදරව් කළේ ය. එනම් බන්දුල ගුණවර්ධනට මුදල් ඇමතිකම ලැබෙන බවට ඔහු තුළ වූ බලාපොරොත්තුවක් ගැන ය. “බන්දුල ඔයාට කවදාවත් මුදල් ඇමතිකම හම්බ වෙන්නේ නෑ. ඒ නිසා මෙවට රැවටෙන්න එපා. ඔයාට ඕන නම් වෙළෙද හරි වෙන මොකක් හරි ඇමති කට්ටක් දේවී.” යනුවෙන් තමන් බන්දුල ඇමතිවරයාට එදා කියු බව ද ඔහු සඳහන් කළේ ය.
තමා එය ප්‍රසිද්ධියේ කියු බැවින් එය වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ පවා හෝමාගම රැළියක දී බන්දුල ඉදිරිපිට දීම කියූ බව ද ඔහු පැවසුවේය. “මුදල් ඇමතිකම බන්දුලට හම්බ වෙන්නේ නෑ කියලා වෙල්ගම කලින්ම කියපු නිසා මම බේරුණා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හෝමාගම රැළියක දී ප්‍රසිද්ධියේ කියූ බව ද වෙල්ගම මන්ත්‍රීවරයා කීවේ ය.
රාජපක්ෂවරුන් ගෙන් පිටත කිසිදු ප්‍රධාන තනතුරක් අත්දැකීම් බහුල කිසිදු ඇමතිවරයෙකුට ලැබෙන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේ ය. එසේම නීතියෙන් බේරුණත් දෙවියන් වහන්සේගෙන් හා ස්වභාව ධර්මයෙන් බේරිය නොහැකි බව ද ඔහු කියා සිටියේ ය. ඔහු නොකියා කියා සිටියේ පාස්කු ප්‍රහාරය වත්මන් රජයේ ප්රබලයන්ගේ සැලසුම් සහගත ක්‍රියාවක් බව ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නොවුණේ නම් මෙයාලට නැවත බලයට ඒමක් සිදු නොවන බව ද ඔහු කරුණු කාරණා සහිතව පෙන්වා දුන්නේ ය. මේවා සාපයන් බවත් එම සාපයන්ගෙන් බේරිමට නොමැකි බව ද වෙල්ගමමන්ත්රීවරයා කියා සිටියේ ය.
රටපුරා පවතින ගොවි විරෝධතාවයන් ගැන ද ඔහු පෙන්වා දුන්නේ ය. කාබනික පොහොර නොව ගොවීන් ඉල්ලන රසායනික පොහොර දෙන ලෙස ඔහු කියා සිටියේ ය. ජනතාව පාරට බැස මහින්දානන්ද ඇමතිවරයාගේ පඹයන් පුළුස්සන තැනට පැමිණ සිටින බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
“මහින්දානන්ද… ඔයාටත් දරුපවුලක් ඉන්නවා නේද?.. දැන්වත් යූරියා ටික දියන්…” යනුවෙන් මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩු පක්ෂයට ඇගිල්ල දිගු කරමිනි. ජනතාව දැන් පාරට බැස ප්‍රසිද්ධියේ ආණ්ඩුවට හෙණ ඉල්ලන්නේ යැයි ද ඔහු කීවේය.එහෙත් ආණ්ඩු පක්ෂ මත්ත්රී වරුන්ගෙන් ඊට විරෝධයක් තබා මීක් හඬක් වත් නැඟුණේ නැත.ඊට හේතුව ඔවුන් හෙණ හඬට බිය වීමද නැතහොත් වෙල්ගම මන්ත්‍රීවරයාගේ කීම පිළිගැනීමද යන්න මම නොදනිමි.
රිචඩ් සොයිසාගේ මරණයෙන් පසුව ඔහුගේ මව දරුවන් අහිමි කාන්තාවන් පිරිසක් සමග පාරට පැමිණ හෙණ ඉල්ලූ බවත් එහි ප්‍රතිඵලය කුමක්දැයි සැමටම දැක ගත හැකිවූ බව ද ඔහු පෙන්වා දුන්නේය. “ජනාධිපතිතුමාටත් දරු පවුලක් ඉන්නවා නේදැ?”යි විමසූ මන්ත්‍රීවරයා මුහුදෙන් එතෙර හෙන වදින්නේ නැතැයි කියනවා නම් එය බොරුවක් බව ද කීවේ ය.
“ගොවියෝ පාරට බැහැලා ඉල්ලන පොහොර ටික දෙන්න ජනාධිපතිතුමා. ගොවියෝ ඉල්ලන යූරියා ටික දෙන්නේ නැතිනම් පාස්කු ප්‍රහාරයේ සාපය පස්සෙන් එනවා කියන එකත් මම සිහිපත් කරන්න කැමතියි.” වෙල්ගම මන්ත්‍රීවරයා කීවේ ය.
විපක්ෂයේ කණ්ඩායම් සියල්ල එක තැනකට පැමිණිය යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා විපක්ෂයේ භූමිකාව සාර්ථකව ඉටු කරන්නේ අනුර දිසානායක ප්රමුඛ ඔවුන්ගේ මන්ත්‍රීවරු තිදෙනා බව ද සදහන් කළේය. විපක්ෂයේ ඇතිවූ රික්තයේ වාසිය ඔවුන්ට ලැබී ඇති බවත් එම නිසා ජනතා ප්‍රසාදයක් ඔවුනට ලැබී ඇති බවත් පෙන්වා දුන්නේ ය.
තමාට ජනාධිපතිවරණ අපේක්ෂක සිහින නැති බව පැවැසු මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකවරු වෙන්න කලින් ඉන්න ජනාධිපතියා පන්නා දැමීමට ජනාධිපති සිහින පසෙක ලා සැවොම එකතු විය යුතු බව ද ඔහු විපක්ෂයේ සැමට කියා සිටියේ ය.
කිසිදු ද්වේෂයක වෛරයක සළකුණක් වත් මුහුණේ නොමැතිව දේශපාලන කඳවුරු මානසිකත්වයෙන් තොරව සැහැල්ලුවෙන් කළ එම කතාව ඇතැම් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් “යකාට ගිය ද” මෑත ඉතිහාසයේ සරල ,රසවත්,සුන්දර සේම හරවත් කතාවක් බව කලක් ජාතික පුවත් පතක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු වාර්තා කරණයේ යෙදුණු මාධ්‍යවේදියකු ලෙස මම වගකීමෙන් යුතුව කියා සිටිමි.වෙල්ගම මන්ත්‍රී තුමනි, ඔබට මගේ සුබ පැතුම්!
ලසන්ත වීරකුලසූරිය