මේ ඡායාරූපවල ඔබ දකින නිවුන් දරුවන් දෙදෙනා මරීම් (Marieme) සහ න්දෙයේ (Ndeye) ය. මේ වනවිට යුරෝපය තුළ බද්ධ නිවුන් දරුවන් සිටින්නේ ඔවුන් දෙදෙනා පමණක් බව පිලිගැනේ. මේ දෙදෙනා පිලිබඳ කතාව සැබැවින්ම ඉතා සංවේදී හැඟීම් දනවන්නට සමත් වන කතාවකි.
මරිම් සහ න්දෙයේ උපත ලැබූ අවස්ථාවේ වෛද්‍යවරුන් විශ්වාස කළේ ඔවුන් දවස් කිහිපයකට වඩා ජීවත් නොවනු ඇති බව ය. නමුත් මෙම ‘සටන්කාමී’ දැරියන් දෙදෙනා ඒ සියල්ල බොරු කර තිබේ. අද වනවිට ඔවුන්ගේ වයස් අවුරුදු හතකි. තවමත් ඔවුන් නිරෝගීව කල් ගෙවමින් සිටින ආකාරය දැකිය හැකි වේ.
මෙවැනි බද්ධ නිවුන් දරුවන් ඇති වන්නේ සෑම උපත් 50,000 කට 60,000 කට එකක් වශයෙන් බව වෛද්‍ය මතය යි. නමුත් ඒ අතරින් ද බොහෝ දරුවෝ කුස තුළ දී ම මිය යති. තවත් බොහෝ දෙනෙක් ඉපැදී පැය 24 ක් වැනි කාලයක් තුළ මරණයට පත් වෙති. ඒ අනුව බලන විට මරීම් සහ න්දෙයේ සැබැවින්ම විශේෂ සහ අපූරු දරුවන් දෙදෙනකු ලෙස සැලකිය හැකිය.
මේ වනවිට ඔවුන් සිය පියා ද සමග ජීවත් වන්නේ බ්‍රීතාන්‍යයේ කාඩිෆ් නගරයේ ය. නමුත් ඔවුන් උපන්නේ සෙනෙගාලයේ යි. මේ දෙදෙනාගේ පියා වන ඉබ්රහිමා එරට සංචාරක සමාගමක කළමනාකාර අධ්යක්ෂවරයෙකි. ඔවුන්ගේ පවුලේ තවත් දරුවෝ කිහිප දෙනෙක් සිටිති.
මරීම් සහ න්දෙයේ උපන් අවස්ථාවේ සෙනෙගාලයේ වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔවුන් ජීවත් කිරීමට නම් එකිනෙකාගෙන් වෙන් කිරීමට සිදුවන බවයි. නමුත් සෙනෙගාලය තුළ ඒ සඳහා පහසුකම් නොවීය. එම තත්ත්වය තුළ මරීම්ගේ සහ න්දෙයේ ගේ මව්පියන් ලොව පුරා රෝහල්වලට කතා කරමින්, බැගෑපත් වෙමින් සිය දියණියන් ගේ ජීවිත බේරා ගැනීමට උදව් ඉල්ලා තිබිණි. අවසානයේ ඔවුන්ට ලන්ඩන් නුවර පිහිටි Great Ormond Street Hospital -නැමැති රෝහල වෙත පැමිණීමට අවස්ථාවක් උදා විය. එම රෝහල මෙවැනි බද්ධ නිවුන් දරුවන් වෙන් කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලන රෝහලකි.
ඉබ්රහිමා සහ ඔහුගේ බිරිඳ සිය දියණියන් ද සමග එහි ආවේ මහත් බලාපොරොත්තු සිත්වල පුරවාගෙන ය. එකිනෙකාගෙන් වෙන් කරනු ලැබූ මරීම් සහ න්දෙයේ සමග පෙරලා සෙනෙගාලය බලා යාමට තමුන්ට හැකි වනු ඇතැයි යන දැඩි විශ්වාසයක් ඔවුන් තුළ විය. නමුත් ඔවුන්ගේ එම බලාපොරොත්තුව ඒ ආකාරයෙන් ඉටු වූයේ නැත. දරුවන් පිරික්සා බැලූ වෛද්‍ය විශේෂඥයන්ගේ අදහස වූයේ සැත්කමෙන් පසු මරීම් මරණයට පත්වීමේ ඉඩක් ඇති බවයි. ඇයගේ හෘදය වස්තුව ඉතා දුර්වල තත්ත්වයක පවතින බව ද, මෙවැනි සංකීර්ණ සැත්කමක් දරා ගැනීමට ඊට නොහැකි වනු ඇති බව ද වෛද්‍යවරුන්ගේ මතය විය.
මේ අනුව ඉබ්රහිමාත්, ඔහුගේ බිරිඳත්, වෛද්‍ය කණ්ඩායමත් උභතෝකෝටික ගැටලුවකට මුහුණ දුන්හ. ඒ සැත්කම කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙනි. ඉතා දීර්ඝ සාකච්ඡා ගණනාවකින් පසු ඔවුන් තීරණය කළේ සුදුසුම දේ ඔවුන් වෙන් නොකර සිටීම බවයි.
“සැත්කම කරනවා කියන්නේ එක දරුවෙක් වෙනුවෙන් මගේ අනෙක් දරුවා මරනවා වගේ වැඩක්” ඉබ්රහිමා පවසා තිබිණි. “ මට ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. කව්ද ජීවත් වෙන්නේ, කව්ද මැරෙන්නේ කියන එක තීරණය කරන්න මට හිත හදාගන්න පුලුවන් ද?”
සැත්කම නොකළහොත් ඔවුන් දෙදෙනාගේම ජීවිතවලට දැඩි අනතුරක් තිබූ නිසා දරුවන් වෛද්‍යවරුන්ගේ දැඩි පරීක්ෂාව යටතේ සිටිය යුතු විය. ආසාදන සහ හදවත් අක්‍රිය වීම වැනි තත්ත්වයන්ට ඔවුන් ඕනෑම මොහොතක ගොදුරු වන්නට ඉඩ තිබිණි. මේ නිසා ඉබ්රහිමාට සිය දියණියන් දෙදෙනා සමග බි්රතාන්යයේ නතර වීමට සිදු විය. ඔහුගේ බිරිඳට නතර වන්නට නොහැකි වූයේ සෙනෙගාලයේ සිටි සෙසු දරුවන් බලා කියා ගැනීමට ඇය ආපසු යා යුතු වූ බැවිනි. ඒ අනුව පවුලට දෙකට බෙදෙන්නට සිදු විය.
“ආපහු ගෙදර යාමට නොහැකි වීම ඉතා අසීරු අත්දැකීමක් වුණා. මගේ පවුලේ අනෙක් අය හිටියේ එහේ. මගේ රස්සාව තිබුණෙත් එහේ” ඉබ්රහිමා පවසා තිබිණි. “නමුත් මම ඒ ගැන ඕනාවට වඩා හිතන්න ගියේ නැහැ. දියණියන් දෙදෙනා වෙනුවෙන් කව්රුන් හෝ මෙහි රැඳිය යුතු වුණා. ඒක මව්පියන් හැටියට අපේ වගකීම. මම එය සැලකුවේ මගේ ජීවිතයේ අලුත් අරමුණ හැටියට යි.”
ඉපදී දින කිහිපයකින් මිය යනු ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කළ දියණියන් දෙදෙනා තවමත් ජීවත් වීම ඉබ්රහිමා සලකන්නේ ඔවුන් දෙදෙනාගේ ‘සටන්කාමිත්වය’ පෙන්වන්නක් හැටියට ය.
මරීම් සහ න්දෙයේ දෙදෙනාට මොළ දෙකක්, හදවත් දෙකක්, පෙනහළු යුගල දෙකක් තිබුණත්, අක්මා, ආහාර ජීර්ණ පද්ධති සහ මුත්‍රාශ ඇත්තේ එක බැගිනි. පාද ඇත්තේ දෙකක් පමණි. තවමත් ඔවුන්ට තනිව ඇවිද යාමට හැකියාවක් නැත. මේ වනවිට ඔවුන් ඒ වෙනුවෙන් යම් පුහුණුවක නිරත වන බව සඳහන් වේ. තුන් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මරීම් සහ න්දෙයේ කාඩිෆ් හි ප්‍රාථමික පාසලක අධ්‍යාපනය ලබති. ඔවුන්ට දැන් බොහෝ මිතුරු මිතුරුයන් සිටින බව ද සඳහන් ය.
ඉබ්රහිමා පසුගිය දිනෙක මාධ්‍ය සමග කළ සාකච්ඡාවක දී පවසා තිබුණේ තමා දියණියන් දෙදෙනා ද සමග සතුටින් කල් ගෙවන බවයි.
නිහාල් පීරිස්