වෛද්‍ය බුද්ධියත් එතෙරට “ගලා යයි”

buddi

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වසරේ මේ දක්වා වෛද්‍යවරුන් 2,000 ක් පමණ ශ්‍රී ලංකාව හැර ගොස් ඇති බව වාර්තා වී තිබේ. මේ පිළිබදව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයෙකු පවසා තිබුණේ මේ ආකාරයෙන් විදේශගත වීම සදහා වෛද්‍යවරුන්ට අවශ්‍ය වන, තම උසස් අධ්‍යාපනය සඳහා හෝ විදේශයන් හි රැකියාව සඳහා නිකුත් කරනු ලබන ‘ස්ථාවර සහතිකය’ ලබාගෙන ඇති බවයි.

2022 අගෝස්තු මාසය දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් (SLMC) වෛද්‍යවරුන් 2,206 දෙනෙකු මෙකී ස්ථාවර සහතිකය ලබාගෙන ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) අනුව සිදු කරනු ලැබූ ඉල්ලීමකින් අනාවරණය විය. SLMC රෙජිස්ට්‍රාර් වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතා පවසන පරිදි මේ වසරේ ජුනි මාසයේදී වෛද්‍යවරුන් 433 දෙනෙකු මෙම ස්ථාවර සහතිකය ලබාගෙන ඇත. එමෙන්ම, 2019 දී වෛද්‍යවරුන් 1,218 ක් මෙම සහතිකය ලබාගෙන තිබූ අතර 2020 දී 1,081 දෙනෙකු ද, 2021 දී වෛද්‍යවරුන් 1,350 දෙනෙකු ද මෙම සහතිකය ලබා ගෙන තිබූ බව SLMC පවසයි.

මේ අතර, 2019 දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව වෛද්‍යවරුන් 533 ක් ද 2020 දී 1,659 ක් ද ලියාපදිංචි වී ඇත. එසේම 2021 දී ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 1,623 කි. නමුත් මේ වසරේ අගෝස්තු මාසය දක්වා ලියාපදිංචි වී ඇත්තේ වෛද්‍යවරුන් 328 ක් පමණි. නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අනුව, 2019 වසරේ සිට අගෝස්තු මාසය දක්වා වෛද්‍යවරුන් 4,143 දෙනෙකු SLMC හි ලියාපදිංචි වී ඇති අතර, වෛද්‍යවරුන් 5,855 දෙනෙකු විදේශගත වීම සඳහා ස්ථාවර සහතික ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කරනු ලැබූ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද වූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය සභාව කියා සිටියේ SLMC හි ලියාපදිංචි වී සිටින සියලුම වෛද්‍යවරුන්ට ඔවුන්ගේ පුද්ගලික භාවිතය සඳහා මෙකී ස්ථාවරය පිළිබඳ සහතිකය සඳහා ඉල්ලුම් කළ හැකි බවයි. එසේම, මෙම සහතිකය කුමන හේතුවක් මත ඉල්ලන්නේ ද යන්න පවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හේතුවක් නැති බවද, වෛද්‍ය වෘත්තිකයින් සදහා විදෙස් අධ්‍යාපන පහසුකම් සැළසීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකීමක් බව ද SLMC හි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා තිබේ.

පසුගිය වසර කීපය පුරා මේ ආකාරයෙන් සිදුවන වෛද්‍ය බුද්ධිගලනයේ අනිසි ප්‍රතිවිපාක විදින්නට සිදු වන්නේ අද හෙට නොව, ඉදිරි අනාගතයේ දී ය. මේ ආකාරයෙන් දේශීය අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් විදෙස් ගත වීමට පටන් ගත් පසු ශ්‍රී ලංකාව තුළ පවතින වෛද්‍ය වෘත්තික හිගය සදහා වගකිවයුත්තන්ගේ ප්‍රතිචාරය කෙසේ විය හැකිදැයි නිශ්චිත නැත. නුදුරු අනාගතයේ දී ම අපේ රටේ රෝහල්වල විශාල වෛද්‍ය හිගයක් ඇති වීම වැලැක්විය හැකි නොවේ. වර්තමානයේ ද බොහෝ ග්‍රාමීය රෝහල් වැසී යාමේ තර්ජනයට මුහුණු දී ඇත්තේ ඖෂධ හිගය නිසා පමණක් ම නොවේ. බොහෝ රෝහල් සදහා අනුයුක්ත කිරීම සදහා වෛද්‍යවරුන් හිග වීම ද එයට හේතුවක් ව තිබේ. පහුගිය වසර පහක පමණ කාලය තුළ වෛද්‍ය හිගය නිසාම වැසී ගිය ග්‍රාමීය රෝහල් සංඛ්‍යාව අති විශාල ය. නමුත් නුදුරු අනාගතයේ දී වැසී යන්නේ ග්‍රාමීය රෝහල් පමණක් නොව නගරාශ්‍රිත රෝහල් ද වැසී යන්නට මාර්ගය එළිවෙමින් පවතී. එයට ඖෂධ හිගය මෙන්ම වෛද්‍ය හිගය ද බලපානු ඇත.

2010 වසරේ වරක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ සමත්වීමේ අවම ලකුණු ප්‍රමාණය ලකුණු පහකින් පමණ පහත දමනු ලැබූ අතර එකී වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් ප්‍රතිශතය වෙනත් වසරවලට වඩා විශිෂ්ඨ අගයක පැවති බව එවකට අධ්‍යාපන ඇමතිවරයා ඉතාමත්ම සතුටින් යුතුව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබිණි. එකී ක්‍රමවේදය අනුගමනය කරමින් මින් ඉදිරියට වෛද්‍ය විද්‍යාලයට සිසුන් බදවා ගන්නා ලකුණු මට්ටම ද පහත දමමින් වැඩි සිසුන් පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබාදීමට අධ්‍යාපනය පිළිබද බලධාරීන් කටයුතු නොකරනු ඇතැයි අපට විශ්වාස කළ නොහැකි ය.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර