කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටිය දී මව්වරුන්ට වඳ සැත්කම් කළ බවට විවිධ පාර්ශව මඟින් චෝදනා වූ නාරිවේද ලේඛකාධිකාරී වෛද්‍ය එස්.එස්.එම්. සාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයකුගේ අධීක්ෂණය යටතේ රාජකාරී කරමින් සිටියදී තම හිතු මනාපයේ කටයුතු කිරීමට ඔහුට ඇති වෘත්තීය නොහැකියාව පිළිබඳව ද නොතකා වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වූවන් පවා වෛද්‍ය සාෆි වෙත මෙම වඳ සැත්කම් චෝදනා එල්ල කළ අතර 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කොට තිබිණ.නමුත් අනිවාර්ය නිවාඩු යවන රාජ්‍ය නිලධාරියකු සතුව පවතින වැටුප් හිමිකම පවා වෛද්‍ය සාෆි මහතාට හිමි නොවූ අතර එසේ සිදු කිරීමට හේතුව නොපමාව දන්වන ලෙස ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී තිබේ.