අප රටේ බෞද්ධ විහාරාරාම වලින් දිනපතා උදේ සවස පිරිත් ඇතුළු බෞද්ධාගමික ස්වරූපයෙන් යුතු විරිඳු ආදී ගායනයන් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් විසුරුවා හැරීමේ නව සම්ප්රදායක් ඇරඹී දැනට දශක කිහිපයකි.
පසුගිය කාලයේ අප රටේ පැවැති උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී උවදුර මුල් කොට පොදුවේ ජන ජීවිත වලට බලපෑ අනාරක්ෂිත බව දුරලන ආධ්‍යාත්මික උපාය මාර්ගයක් වශයෙන් මෙම පිරිත් ප්‍රචාරය කරවීම කෙරෙහි එම විහාරස්ථාන වල පාලනාධිකාරීන් උනන්දුවන්නට ඇත.
භික්ෂුව සහ ගිහියා අතර පැවැතිය යුතු සහසම්බන්ධතාවයන් පිළිබඳ බොහෝ කරුණු බුදුන් වහන්සේ විසින් දේශනා කොට තිබේ. ගිහියන් ජීවත් වන සමාජය තුළම ජීවත් වුව ද ගිහියන් සමඟ ඇලීම් ගැටීම් ඇති නොවන සේ භික්ෂු ආකල්ප පැවැතිය යුතු අන්දම බුද්ධත්වයෙන් විසි වසරකට පසුව බුදුන් විසින් විනය ප්රඥප්තීන් මඟින් තහවුරු කර ඇත.
සාමාන්‍ය ව්‍යවහාරයට අනුව පැවසුව හොත් බුද්ධ නීතිය හෝ බුදුන් ගේ අන ලෙස සඳහන් කළ හැකි මෙම විනය ප්රඥප්තීන් සම්බන්ධයෙන් ගිහි සමාජය තුළ පැහැදිලි දැනුමක් නැත.
ඊට හේතුව ධර්ම විනය යන දෙයාකාර බුද්ධ දේශනාවලින් විනය හුදෙක් භික්ෂුන් හට පමණක් සීමා වීම ය. සිඟාලෝවාදාදී සූත්‍ර මඟින් ගිහියන් සඳහා ද විනය පද්ධතියක් හඳුන්වා දී ඇතත් බුදුන් වහන්සේ විසින් ඒ සඳහා පැනවීම් හෙවත් ප්රඥප්ති ගත කිරීම් සිදුනොකිරීම ද විශේෂත්වයකි.
භික්ෂුව සහ ගිහියා අතර පවතින අනොන්‍ය සම්බන්ධය මෙලෙස තිබිය දී භික්ෂුව විහාරාරාම කෙරෙහි බඳවා තැබීමක් පිළිබඳව මූලික බුදු සමයේ සඳහන්ව නැත. විහාරාරාම සහ භික්ෂුන් අතර පවතින සම්බන්ධය පිළිබඳව සඳහන් කරන බුදුන් වහන්සේ ඒ සඳහා රමණීය උපමාවක් ද දක්වා තිබේ.
එනම් විලෙන් විලට සංක්‍රමණය වන හංසයන් මෙන් භික්ෂුන් සිවුරු බර පමණක් සහිතව විහාරයෙන් විහාරයට සංක්‍රමණය විය යුතු බවයි, තමා ගේ වාසස්ථානය හෙවත් සේනාසනය කෙරෙහි වුව භික්ෂුව තුළ ඇති ඇලීම්, බැඳීම් අවම කර ගැනීම පිණිස බුදුන් වහන්සේ මෙම ශ්‍රමණ ප්‍රතිපදාව නිර්දේශ කරන්නට ඇත. ඒ අනුව අද අප රටේ බොහෝ භික්ෂුන් වහන්සේ හඳුන්වන විහාරාධිපති, විහාරාධිකාරී යන හැඳින්වුම් ද මූලික බුදු සමය හා සබැඳි පසුකාලීන සම්ප්‍රදායන් බව නිසැක ලෙසම කිව යුතු ය.
ගිහි ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් නැතහොත් ලෞකික සහ ආධ්‍යාත්මික වශයෙන් අවවාද අනුශාසනා කිරීමේ ශාසනික හිමි කමක් භික්ෂුව සතු ය. එහෙත්, ඒ සඳහා විහාරස්ථාන නම් වන සංස්ථා හෙවත් සමාගම් ව්‍යුහයක් ගොඩනඟා ගන්නා ලෙස බුදුන් කිසි තැනක අනුමත කොට නැත.
නමුදු වර්තමානයේ ශාසනික ක්‍රියා වශයෙන් සිදුකරනු ලබන ධර්මානුකූල, බුදු දහම හා කිසිදු සබැඳියාවක් නොමැති සේම ඇතැම් විටෙක ශාසන විරෝධී ක්‍රියා පවා සිදුවන්නේ විහාරස්ථාන නම් වන මෙම සංස්ථා හෝ සමාගම් ව්‍යුහය මඟිනි. උදය සවස ශබ්ද වාහිනී යන්ත්‍ර මඟින් පිරිත් විසුරුවා හැරීම ද ඒවායේ පැවිදි පාලනාධිකාරී බලවතුන් විසින් සිදුකරනු ලබන ඊනියා ශාසන සේවාවන් ගෙන් එකකි.
පිරිත යනු අපගේ බෞද්ධ සම්ප්රදායේ එන ශාන්තිකර්ම විෂය පථයට අයත් වැදගත් අංගයකි. සමාජ විද්‍යාත්මකව සුදු අභිචාර නමින් හඳුන්වනු ලබන මෙවන් ශාන්ති කර්ම අංග ලොව සෑම ආගමකටම පොදු ලක්ෂණයකි. එබැවින් පිරිත් සජ්ජායනය, පිරිත් ශ්‍රවණය ආදී බෞද්ධ චාරිත්‍ර සම්ප්‍රදායන් උල්ලංඝනය විය යුතු නැත.
නමුදු අපගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වනුයේ අප රටේ බෞද්ධ විහාරස්ථාන සේම ප්‍රසිද්ධ ස්ථානවල ඇති බුද්ධ ප්‍රතිමා, බෝධි වෘක්ෂ ආදිය කේන්ද්‍ර කරගෙන පිරිත් ප්‍රචාරය මඟින් සිදුකරනු ලබන ශබ්ද දූෂණයයි. එය ඉතා පැහැදිලිවම කිවහොත් මෙය බෞද්ධ සංස්කෘතියේ වැදගත් තැනක් හිමි කරගන්නා පිරිත බරපතල ලෙස අවභාවිතා කිරීමකි.
‘ස්පීකර් හෝන්’ යනුවෙන් හැඳින්වෙන අධික ශබ්දයක් නිකුත් කරන සන්නිවේදන මෙවලම භාවිතා කිරීම අද ලෝකයේ ඇතැම් රටවල නීතියෙන් තහනම් කොට තිබේ. තවත් රටවල් සෑහෙන ගණනක යම් යම් නිශ්චිත හේතුන් මුල් කොට යම් ශබ්ද සීමාවකට යටත්ව නිශ්චිත කාලයක් තුළ මේවා භාවිතා කිරීමට ඉඩ දෙනු ලැබේ.
ඒවායින් නිකුත් වන ශබ්ද ප්‍රමාණයන් මැන ගත හැකි විද්‍යුත් උපකරණ ඇති බැවින් තරාතිරම නොබලා එම නීති කඩ කරන්නවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට තරම් එම රටවල නීති පද්ධතීන් ප්‍රබල වී තිබේ. නමුදු එම කරුණු සම්බන්ධයෙන් අපේ රට තවමත් ඇත්තේ අතිශය නොදියුණු අවාසනාවන්ත පසුබිමක ය. ජනප්‍රිය ව්‍යවහාරයකට අනුව කිවහොත් මෙය ‘වල්බූරු නිදහසකි’.
පරිසර දූෂණය යනු මුළු ලොවම එක් වී වහා පිටුදැකිය යුතු ව්‍යසනකාරී තත්වයක් බව කවුරුත් එක හෙළා පිළිගනු ලබන්නකි. එම දූෂණ අතුරින් ශබ්ද දූෂණයට ද ප්‍රධාන තැනක් හිමි වෙයි. නිමිත්ත කවරක් වුවත් ශබ්ද දූෂණය යනු බරපතල පාරිසරික අපරාධයක් බැවින් ආගමික ශබ්ද දූෂණය ඉන් නිදහස් කිරීමට කිසිදු ඉඩක් නැත.
මෙම අවාසනාවන්ත තත්වය බෞද්ධ සේම අනෙකුත් ආගම් තුළින් ද ඉස්මතු වන බව රහසක් නොවේ. එබැවින් ඒ සම්බන්ධ ඒ ඒ ආගමික සංස්ථාවන් තුළ අභ්‍යන්තර සංනිවේදනයක් සිදුකිරීම එක් එක් පූජක තුමන්ලාගේ කාර්යභාරයක් බැවින් අප ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකරමු.
ශබ්ද විකාශන යන්ත්‍රයක් යනු දුරස්ථ සන්නිවේදන මෙවලමකි. එම මෙවලම මඟින් නිකුත් කෙරෙන හඬ පරාසය මීටර් පන්සියයක් දුරට පැහැදිලිව ඇසේ නම් එම මෙවලම අවට හිඳින්නවුන් හට එය දරා ගත නොහැකි පීඩාකාරී නාදයක් වන බව නොරහසකි. විශේෂයෙන් අධික ශබ්දයන් සවන් වැකීමට නොසුදුසු රෝගීන්, අන්තර්ජාල සහ අධ්‍යාපනික කටයුතු සිදුකරන සිසු දරුවන්, බුදු සමය පිළිබඳ දැනීමක් හැඟීමක් නොමැති අන්‍යාගමිකයන් ආදීන් මෙම ශබ්ද දූෂණය හමුවේ දරුණු පීඩාවකට පත් වනු ඒකාන්ත ය.
එහෙත්, ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන එම ආගමික සංස්ථා පාලනාධිකාරීන් එම උතුම් සද්ධර්මය ශබ්ද දූෂණය ඔස්සේ බරපතල අවභාවිතාවකට ලක් කරනු ඇත. “සද්දේ ටිකක් වැඩි වුණත් මොකද ඉතින් ඔය සද්දෙට දාන්නේ බුදු බණ මිසක් නරක දෙයක් යැ” මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඇතැම් බෞද්ධයන් ද එසේ කියනු අපට කොතෙකුත් ඇසී තිබේ.
රජගහනුවර මොරනිවාප නම් පරිබ්රාජාරාමයට වැඩම කරන බුදුන් වහන්සේ දකින මහා සකුලුදායි පරිබ්‍රාජකයා තම අනුගාමික පරිබ්‍රාජකයන්ට කරන මෙම ප්‍රකාශය මජ්ජිම නිකායේ මහා සකුලුදායී සූත්‍රයේ රමණීය ලෙස විස්තර කෙරේ.
“ඇවැත්නි නිහඬ වව්; ශ්‍රමණ භගවත් ගෞතමයෝ වඩිති. එතුමෝ නිහඬ බවම රුචි කරති; නිහඬ බවේ ගුණ කියති. නිහඬ පිරිසක් වෙත එළැඹීම හොඳ යැයි සිතති”
දීඝනිකායට අයත් සාමඤ්ඤ ඵල සූත්‍ර නිධාන කතාවට අනුව පීතෘ ඝාතක අජාසත් රජු එක් රාත්‍රියක දැහැමි පිළිසඳරක් සඳහා බුදුන් බැහැදැකීමට ජීවක වෛද්‍ය තුමන්ගේ අඹ වනයට යයි. ඒ ජීවක වෛද්‍ය තුමන්ගේ ඇරැයුමක් මත ඇතින්නියන් පන්සියයක් පිට නැඟි බිසවුන් පන්සියයක් සමඟ ඇතකු පිට නැඟීමෙනි.
ඒ මොහොතේ එම අඹ වනය තුළ බුදුන් ප්රමුඛ භික්ෂුන් එක් දහස් දෙසීයක් වැඩසිටි මුත් ඉන් අඩුම තරමකින් කැස්සක කිවිසීමක හඬක් වත් පිටතට නොවිහිදුණු බැවින් අජාසත් රජු තුළ තමන් මේ ගමන කැඳවා ගෙන පැමිණි ජීවක වෛද්‍ය තුමන් ගෙන් අසනුයේ ‘ඔබ මා සතුරන් අතට පත් කරවීමේ උපක්‍රමයක් ලෙස මේ ගමන කැඳවා ගෙන ආවාද?” යන්නයි. එහෙත්, පසුව එම අඹ වනය තුළ දී බුදු රදුන් බැහැ දකින රජතුමා මගේ පුතු උදය භද්දියටත් මෙවන් සන්සුන් දිවි පෙවෙතක් උරුම වනු දැකීම තම අභිලාෂය බව බුදුන් හමුවේ කියයි.
මජ්ජිම නිකායට අයත් බ්‍රහ්මායු සූත්‍රයේ බ්‍රහ්මායු නම් බමුණු පඬිවරයා තම අනුගාමියකු හට බුදුන් ගේ ගුණ වනමින් කරනු ලබන කතාවේ මෙබඳු කොටසක් ද තිබේ.
“බුදුහු ආරාමයට පැමිණි පිරිසට පමණක් ධර්මය දේශනා කරති. ඒ පිරිස උසස් හෝ පහත් ලෙස නොදක්වති. දේශනාව ධර්ම මාර්ගයෙන් බැහැර නොයයි. උන්වහන්සේ ගේ ස්වරය පැහැදිලි ය. මිහිරි ය. පමණට ගැළපෙන ශබ්දයකින් දහම් දෙසන අතර උන් වහන්සේ ගේ ස්වරය රැස්ව සිටින පිරිසෙන් බැහැරට නොවිහිදෙයි”.
මෙතරම් උත්තරීතර මනුෂ්‍ය ධර්ම පද්ධතියක් මත ස්ථාපිත බුද්ධ ධර්මය මිනිසුන් ඇතුළු සමස්ත ජෛව ගෝලීය සංයුතියටම දැඩි අනර්ථකාරී බලපෑමක් කරන ශබ්ද දූෂණය සඳහා යොදා ගැනීම බුදු සමයට, මිනිස් ශිෂ්ටාචාරයට සේම ලොව සියළු ආගම්වලට පදනම් වූ ස්වභාවික යුක්ති ධර්මයට කරනු ලබන බරපතල ව්‍යවසනයක් බව ගිහි පැවිදි සියළු දෙනා වෙත මෛත්‍රී පූර්වකව පෙන්වා දෙනු කැමැත්තෙමු.
කදුරුපොකුණේ සුමංගල හිමි