ශ්‍රී ලංකාවේ සුළං විදුලි බල ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වීම පිළිබඳ ජාත්‍යන්තරය කියන කතා

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම මගින් ශ්‍රී ලංකාවේ පුනරින් සහ මන්නාරම යන ප්‍රදේශවල ඉදි කරන්නට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 442 ක් පමණ වටිනා, ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 350ක පමණ ධාරිතාවක් එකතු කළ හැකි සුළං විදුලි බල ආයෝජන ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබේ. මෙයට මූලික හේතුව බවට පත්ව තිබුණේ එම ව්‍යාපෘතිය තුළින් ජනනය වන විදුලිය කිලෝවොට් පැයක් සඳහා අදානි සමාගම ඉදිරිපත් කර තිබූ ඇමරිකානු ඩොලර් ශත 8.26 ක ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ශත 5.90ක් දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවේ නව රජය යෝජනා ඉදිරිපත් කර තිබීමත් මේ ව්‍යාපෘතියට එරෙහිව යම් අධිකරණ ක්‍රියාවලියක් සිදු වෙමින් පැවතීමත් නිසාය. මේ ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වන බවට ලිපියක් ඔවුන් විසින් ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත දැනුම් දී තිබේ.

අදානි සමාගම මේ ව්‍යාපෘතියෙන් ඉවත් වීම යනු සරල කාරණයක් නොවේ. හිටපු ජනපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ අදානි මේ ව්‍යාපෘතියෙන් ඉවත් වීම යනු ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අතහැර දැමීම හා සමාන දෙයක් බවය. එය එතරම් වැදගත් සහ බරපතළ කාරණයක් වන්නේ අදානි යනු ගෝලීය බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින සමාගමක් බැවිනි.

අදානි

මේ ව්‍යාපෘතිය 2022 වසරේ ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ආරම්භ කෙරුණු අතර රජයකින් රජයකට ලැබුණු ව්‍යාපෘතියක් ලෙසින් නම් කරමින් මෙය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනිමින් තිබුණි. 2023 වසරේ දී ද මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර නව රජය පත්වීමත් සමග මේ ව්‍යාපෘතිය නැවත සමාලෝචනය කිරීමක් ආරම්භ කෙරුණි. විදුලිය ඒකකයක් සඳහා වැය වන මුදල, විනිවිදභාවය පිළිබඳ ගැටලු සහ පාරිසරික බලපෑම් මත වූ අධිකරණ ක්‍රියාමාර්ග ද පැවති අතර මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස අදානි සමාගම “ශ්‍රී ලංකාවේ සෛවරීත්වයට ගරු කරමින්” මේ ව්‍යාපෘතියෙන් ඉවත් වන බව දැනුම් දෙනු ලැබිණි.

අදානි සමාගම මේ ව්‍යාපෘතියෙන් ඉවත් වීම යනු සරල කාරණයක් නොවේ. හිටපු ජනපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ අදානි මේ ව්‍යාපෘතියෙන් ඉවත් වීම යනු ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අතහැර දැමීම හා සමාන දෙයක් බවය. එය එතරම් වැදගත් සහ බරපතළ කාරණයක් වන්නේ අදානි යනු ගෝලීය බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින සමාගමක් බැවිනි. එබැවින් මේ පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ද සිය අවධානය යොමු කරනු දක්නට ලැබිණි. මේ පිළිබඳ Financial Times පුවත් ආයතනය සඳහන් කරන්නේ මේ ව්‍යාපෘතියේ මූලික කටයුතු සඳහා අදානි සමාගම මේ වන විටත් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වැය කර තිබෙන බවය. මෙය අදානි සමාගමට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති කළ හැකි බව ද එමගින් පෙන්වා දෙයි. ඔවුන්ට දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය තුළ ද යම් අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන්නට සිදුව තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය එයට අවාසිදායක ලෙස බලපාන්නට හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි. ලෝකයේ තවත් රටවල් අදානි සමාගමේ ව්‍යාපෘති පහසුවෙන් අවලංගු කර දැමීමට මෙය ඉවහල් කර ගනී ද යන ගැටලුව ද අදානි සමාගම ඉදිරියේ පවතී.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රජය මෙහි එක් විදුලි ඒකකයක් සඳහා වැය වන පිරිවැය අඩු කර ගැනීමේ ක්‍රියාවලියක සිටින අතරේ අදානි සමාගම මේ ව්‍යාපෘතියෙන් ඉවත් වූ බවය. එමෙන්ම අදානි සමාගම ඇමරිකා එක්සත් ජනපදය තුළ අල්ලස් දීමේ කාරණයක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව ද එම සේවය වාර්තා කර සිටියි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියත්මක සුළං විදුලි බල මධ්‍යස්ථානයක්

අල් ජසීරා පුවත් සේවය මේ සම්බන්ධයෙන් පවසා සිටින්නේ පිරිවැය සම්බන්ධව සාකච්ඡා කිරීම ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමට බාධා කරන බවට ඇඟවීමක් අදානි සමාගමෙන් සිදු කර ඇති බවය.

එමෙන්ම මෙහි ටෙන්ඩර් පටිපාටියෙහි යම් ගැටලු දකින්නට ලැබුණු බව ද ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් ඉස්මතු කොට තිබුණි. මේ ව්‍යාපෘතිය අදානි සමාගමට ලබා දී තිබුණේ තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව බව ඒවා මගින් පෙන්වා දී තිබේ. එමෙන්ම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට අපේක්ෂා කරන මන්නාරම සහ පුනරින් යන ප්‍රදේශ සංක්‍රමණික පක්ෂීන් වැඩි වශයෙන් ගැවසෙන සහ දැඩි ජෛව විවිධත්වයක් පවතින ප්‍රදේශයක් බැවින් මේ ව්‍යාපෘතිය නිසා පරිසරයට සිදු විය හැකි හානිය පිළිබඳ පාරිසරික ඇගයීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටි අතර එය ද මෙතෙක් අවසන් වී නැති බව ද පැවසේ.

මේ තත්ත්වය විශ්ලේෂණය කරන ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එවැනි යම් ගැටලුකාරී තත්ත්වයන් පවතින නමුත් අදානි සමාගම මේ ව්‍යාපෘතියෙන් ඉවත් වීම නිසා ශ්‍රී ලංකාවට ලැබෙන්නට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 442 ක දැවැන්ත ආයෝජනයක් අහිමී වී යන බවය. මේ ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත ලෙස ඔසවා තබන්නට හැකියාව පැවතුණි. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම කෙරෙහි ද මේ තීරණය ඍණාත්මකව බලපෑම් කළ හැකි බව පෙන්වා දී තිබේ. ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව කරා වැරදි පණිවිඩයක් සන්නිවේදනය විය හැකි බව ද පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ පුනර්ජනනීය බලශක්තිය නගා සිටුවාලීම සඳහා දැඩි අපේක්ෂාවකින් පසු වූ බවත් 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක්ම එයින් සපුරා ගත යුතු බවටත් සැලසුම් කර තිබූ පසුබිමක මෙවැනි දැවැන්ත ආයෝජනයක් අහිමි වීම සුළුපටු කරුණක් නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයකම සඳහන්ව තිබිණි. එබැවින් නව ආයෝජකයකු සොයා ගන්නා තුරු මේ අපේක්ෂාව මුදුන්පත් කර ගැනීම ද බොහෝ කාලයකට ආපස්සට යා හැකි බව පෙනෙන්නට තිබේ.

එමෙන්ම ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන පරිදි අදානි සමාගම මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වූයේ ඉන්දීය – ශ්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනක් ලෙසිනි. අදානි සමාගම එයින් ඉවත් වීම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව පෙන්වා දී තිබේ. ව්‍යාපෘති අතරමග දී අවලංගු කර දැමීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ යැයි පණිවිඩයක් ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව වෙත සන්නිවේදනය වුවහොත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැකිය.

අදානි සමාගම සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීම තුළ ශ්‍රී ලංකා රජය දැවැන්ත අභියෝගයකට මුහුණ දෙයි. අනෙක් අතට සිය ප්‍රතිපත්ති සහ සැලසුම් ශක්තිමත් කර ගැනීමට ද එමගින් අවස්ථාවක් උදා කරයි. එවැනි ක්‍රියාමාර්ග තුළින් විධිමත් ක්‍රියාමාර්ග ඔස්සේ ආර්ථික මත පාරිසරික වශයෙන් වාසි සහගත අනාගත ව්‍යාපෘති සඳහා නව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථා ඇති කර ගත හැකිය. කෙසේ නමුත් ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී වඩාත් රාජ්‍ය තාන්ත්‍රික වීමේ වැදගත්කම ද ජාත්‍යන්තරය ඉස්මතු කර දක්වා සිටියි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියත්මක සුළං විදුලි බල මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා රජය අදානි සමාගම සමග නැවත මේ පිළිබඳ සාකච්ඡා පවත්වන්නට සූදානමින් සිටින බව පැවසෙන නමුත් යම් හෙයකින් අදානි සමාගම ශ්‍රී ලංකාවේ යෝජනාවලට එකඟතාව පළ නොකළ හොත් එම අඩුව පිරවිය හැකි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධ දේශීය විශේෂඥ සමාගම් පිළිබඳව ද ජාත්‍යන්තර මාධ්‍ය යම් අදහසක් පළ කර තිබෙනු දකින්නට හැකි විය. මෙය දේශීය සමාගම්වලට කදිම අවස්ථාවක් මෙන්ම දැවැන්ත අභියෝගයක් ද වනු ඇති බව පෙන්වා දී තිබේ. මේ සමාගම් අතර වින්ඩ්ෆෝර්ස් සමාගම, සීනොක් සමූහය, ඇක්සස් ඉංජිනියරින් සමාගම ඉදිරියෙන් පසුවේ. මේ සමාගම් සියල්ල සුළං බලශක්තිය ඇතුළුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ විශේෂඥයින් වුව ද අදානි සමාගම තරමට මූල්‍ය ශක්තියකින් සහ අත්දැකීම්වලින් බහුල ඒවා නොවන බව ද ජාත්‍යන්තර විශ්ලේෂණවල දක්වා තිබේ. අදානි සමාගම මේ වන විට ගෝලීය වශයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර අත්දැකීම් සම්භාරයක් සහිත දැවැන්ත මූල්‍ය ශක්තියක් ඇති සමාගමකි. නමුත් දේශීය සමාගම් ඒ සම්බන්ධව විශේෂඥයින් වුව ද එවැනි ශක්තියක් පෙනෙන්නට නැත. එවැනි සමාගමකට මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් ලැබුනහොත්, නිසැක ලෙසම විදේශ සහයෝගයක් ලබාගැනීමට සිදු වනු ඇති බව එකී විශේෂඥයින් පෙන්වා දී තිබේ. අත්දැකීම් හිඟකම මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක සාර්ථකත්වය සහ කල් පැවැත්ම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන අතර ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු ද ඇති විය හැකිය.

මේ අනුව අදානි සමාගම සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීම තුළ ශ්‍රී ලංකා රජය දැවැන්ත අභියෝගයකට මුහුණ දෙයි. අනෙක් අතට සිය ප්‍රතිපත්ති සහ සැලසුම් ශක්තිමත් කර ගැනීමට ද එමගින් අවස්ථාවක් උදා කරයි. එවැනි ක්‍රියාමාර්ග තුළින් විධිමත් ක්‍රියාමාර්ග ඔස්සේ ආර්ථික මත පාරිසරික වශයෙන් වාසි සහගත අනාගත ව්‍යාපෘති සඳහා නව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථා ඇති කර ගත හැකිය. කෙසේ නමුත් ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී වඩාත් රාජ්‍ය තාන්ත්‍රික වීමේ වැදගත්කම ද ජාත්‍යන්තරය ඉස්මතු කර දක්වා සිටියි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර