ශ්‍රී ලංකාව තුළ ‘ ලංකා ඊ නිව්ස්’ අවහිර කිරීමේ නියෝගය ඉවත් කෙරේ

2017 වසරේ නොවැම්බර් 08වන දා සිට ශ්‍රී ලංකාව තුළ ‘ ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියට පිවිසීම අවහිර කර තිබීමේ නියෝගය රජය විසින් ඉවත්කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි. මෙම වෙබ් අඩවිය අවහිර කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පැවසෙයි . ‘ලංකා ඊ නිව්ස්’ අඩවිය පළ කළ පුවත්වලින් ජනාධිපති සිරිසේන මහතා දරුණූ ලෙස විවේචනය කර තිබීම ඊට හේතු වූ බව ද කියනු ලැබේ.මෙම තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු ජාතික හා ජාත්‍යන්තර සංවිධාන රැසක් පසුගිය වසර කිහිපයේ දී දිගින් දිගටම විරෝධය පළකර තිබිණ. මෙරට වෙබ් මාධ්‍ය කලාවේ පුරෝගාමියා වූ ‘ලංකා ඊ නිව්ස් වෙබ්’ අඩවියේ සංස්කාරක පදවිය හොබවනුයේ ප්‍රවීණ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා යි. එම වෙබ් අඩවියේ විශේෂාංග කතුවරයා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා රාජපක්ෂ පාලන සමයේදී අතුරුදහන් වූ අතර ඔහු පිළිබඳව මේ දක්වා කිසිදු තොරතුරක් නැත. 2010 වසරෙන් පසු රාජපක්ෂ පාලන සමයේ දී එම වෙබ් අඩවියට දිගින් දිගටම එල්ල වූ මරණිය තර්ජන හමුවේ සඳරුවන් සේනාධීර මහතා ජීවිතාරක්ෂාව පතා විදේශගත වූ අතර ඉන් පසුව ව ලන්ඩනයේ සිට වෙබ් අඩවිය මෙතෙක් අඛණ්ඩව පවත්වාගෙන යාම ද සුවිශේෂත්වයකි.

කාලීන පුවත්