ලංකාවේ ජනගහන වර්ධන වේගය අඩුවෙමින් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දා අනාවරණය කළා. 1953 වසරේ සිට 2024 දක්වා කාලය සැලකීමේ දී වාර්ෂික වර්ධන වේගය සියයට 2.8 සිට සියයට 0.5 දක්වා අඩු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ජනගහන වර්ධන වේගය වඩාත්ම අඩු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බවත් ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්.
මෙය විශාල අවධානයක් යොමු විය යුතු කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙවැනි තත්වයකින් පෙන්නුම් කරන එක් කාරණයක් වන්නේ රට තුළ සිදුවන දරු උපත් සංඛ්‍යාව වාර්ෂිකව අඩු වෙමින් ඇති බව යි. දීර්ඝ කාලයක් මෙම තත්වය පවතින විට රටේ තරුණ ජනගහනයේ අඩු වීමක් සිදු වන අතර ඊට සාපේක්ෂව වියපත් ජනගහනයේ වැඩි වීමක් සිදු වෙනවා.
රටේ වැඩ කරන ශ්‍රම බලකායෙහි හැකිලීමක් සිදු වීම මෙහි අනර්ථකාරී ප්‍රතිඵලයක්. අනෙක් අතට රජය විසින් රැක බලා ගත යුතු මහළු ජන පිරිසේ ප්‍රසාරණයක් ද සිද්ධ වෙනවා. මෙය රටේ ආර්ථිකය මත විශාල පීඩනයක් ඇති කරන තත්වයක් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. රටේ මහළු ජනගහනය වැඩි වෙද්දී සුභ සාධන වියදම්, සෞඛ්‍ය වියදම් ආදිය ද ඉහළ යනවා.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිතවරයා වන කුන්ලේ අදෙනියි පවසන්නේ වසර 2041 වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 25 ක් පමණ වයස අවුරුදු 60 ට වැඩි අය වනු ඇති බවයි.
ජනගහනය පිළිබඳ මෙම ප්‍රශ්නය ශ්‍රී ලංකාවට මෙන්ම මේ කාලයේ ලෝකයේ රටවල් රැසකට බලපා ඇති ප්‍රශ්නයක්. ආසියානු කලාපයේ රටවල් කිහිපයක්ම මෙම අර්බුදයට ගොදුරු වී සිටිනවා.
සමහර ජාතීන් මේ නිසා වඳ වීමේ තර්ජනයකට පවා මුහුණ දෙනු ඇති බවට අනතුරු ඇඟවීම් කෙරෙනවා.
මෙයට ටික දිනකට පෙර ජපානයෙන් වාර්තා වුණේ එරට ජනගහනය අඛණ්ඩව 14 වැනි වසරටත් අඩු වීමක් පෙන්නුම් කර ඇති බව යි. මේ විදියට ගියහොත් තව කලක් ගතවන විට ජපන් ජාතිය සම්පූර්ණයෙන් වඳ වී යාමට ඉඩ ඇති බවට අදහස් පළ වෙනවා.
2024 ඔක්තෝබර් වනවිට එරට ජනගහනය සටහන් වූයේ මිලියන 120.3 ක් හැටියටයි. එය කලින් වසරට සාපේක්ෂව 898,000 ක අඩු වීමක්. ජපානය ලෝකයේ උපත් අනුපාතය අඩුම රටවලින් එකක් හැටියටයි සැලකෙන්නේ.
මෙම තත්වය දිගටම පවතිනු ඇතැයි උපකල්පනය කළහොත් තව වසර 695 ක් ගිය තැන ජපානයේ ඉතිරි වනු ඇත්තේ එක දරුවකු පමණක් බවටත් පසුගිය දිනවල ගණන් බලා තිබුණා.
ජනගහනය අඩු වීම නිසා මේ ආකාරයෙන් වඳ වීමේ තර්ජනයට මුහුණ දී ඇති තවත් ජාතියක් වන්නේ දකුණු කොරියානු ජාතියයි. දකුණු කොරියාව ලෝකයේ උපත් අනුපාතය අඩුම රට හැටියටත් මේ වනවිට වාර්තා පොතට එක්ව තිබෙනවා.
මේ වෙද්දී දකුණු කොරියාවේ කාන්තාවන්ගේ සඵලතා අනුපාතය සටහන් වන්නේ 0.72 ක් හැටියටයි. සඵලතා අනුපාතය යනුවෙන් හැඳින්වෙන්නේ කාන්තාවක සිය ජීවිත කාලය තුළ ලබන දරුවන් සංඛ්‍යාවෙහි සාමාන්‍යය යි. දකුණු කොරියාව වැනි රටවල ජනගහනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට නම් අවම වශයෙන් 2.1 ක සඵලතා මට්ටමක් පවත්වා ගත යුතු බව ගණන් බලා තිබෙනවා. දකුණු කොරියාවේ පවතින්නේ ඊට වඩා බෙහෙවින් ම අඩු මට්ටමක්.
කලක් ලෝකයේ වැඩිම ජනගහනය සිටි රට ලෙස සැලකුණු චීනයත් මේ වනවිට ජනගහන අර්බුදයකට මුහුණ දී සිටිනවා. දැන් වසර තුනක සිටම චීනයේ ජනගහනයත් අඛණ්ඩව පහත වැටෙමිනුයි තිබෙන්නේ. මේ සියවසේ අවසන් භාගය වනවිට චීනයේ ජනගහනය සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇති බවට අනාවැකි පළවෙනවා.
මේ වනවිට ආර්ථික අතින් ශක්තිමත් තත්වයක සිටින චීනයේ එම තත්වයට මෙය දරුණු අභියෝගයක් එල්ල කිරීමට නියමිතයි. ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රමාණවත් ශ්‍රම බලකායක් පවත්වා ගැනීමට නොහැකි වීම නිසා නිශ්පාදන කටයුතුවල ඵලදායීතාව රැක ගැනීමට අපහසු වනු ඇති බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
මේ වෙද්දී චීනයේ ජනගහනය බිලියන 1.4 ක් හැටියටයි සැලකෙන්නේ. නමුත් වසර 2100 වනවිට එය මිලියන 800 කට වඩා අඩු විය හැකි බවටත් අදහස් පළවෙනවා.
මේ අතර බටහිර ඇතැම් දියුණු රටවලුත් ජනගහනය අඩු වීමේ ගැටලුවලට මුහුණ දී සිටිනවා. නමුත් එම රටවලට වෙනත් රටවලින් සංක්‍රමණිකයන් පැමිණීම නිසා තවම ලොකු බලපෑමක් වී නැහැ.
බොහෝ රටවල් මේ ආකාරයේ ජනගහන අර්බුදවලට ගොදුරු වන්නේ මේ රටවල තරුණ පරපුර දරුවන් හැදීමට දක්වන මැලිකම නිසා යි. මේ කාලයේ දරුවන් හැදීම සඳහා දැරිය යුතු වියදම් ඉහළ යාම මෙයට බලපා තිබෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල අඹු සැමියන් මේ ප්‍රශ්නයට විශාල ලෙස මුහුණදී සිටින බව පැවසිය හැකියි.
ලංකාවේත් ජනගහන වර්ධන වේගය වඩාත්ම පහත වැටී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ යි.
මේ කාලයේ තරුණ කාන්තාවන් සිය වෘත්තීය ජීවිතවලට සහ අධ්‍යාපන කටයුතුවලට ප්‍රමූඛත්වයක් දීම නිසා විවාහය කල් දමන තත්වයකුත් දක්නට ලැබෙනවා. විවාහ නොවී වඩාත් නිදහසේ ජීවත් වීමට කැමැති පිරිසේ වැඩි වීමකුත් දැකිය හැකියි. මෙයත් දරු උපත් අඩු වීමට තවත් හේතුවක් ලෙස සැලකෙනවා.
ජනගහන ගැටලුවලට මුහුණ දී සිටින රටවල් එම තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ පියවර ගනිමින් සිටිනු දැකිය හැකියි. ඔවුන් ප්‍රධාන වශයෙන්ම උත්සාහ කරන්නේ දරුවන් හැදීම සඳහා දරන්නට සිදුවන වියදම් අඩු කිරීමට යි. එමෙන්ම තරුණ තරුණියන් විවාහය සඳහා පොළඹවන වැඩසටහන් ද ඔවුන් දියත් කරමින් සිටිනවා.
නිහාල් පීරිස්