ශ්‍රී ලාංකේය ජනගණනයෙන් අඩක් පමණ වන රිළා වඳුරු ගහණයක් ?

ශ්‍රී ලාංකේය ජනගණනයෙන් අඩක් පමණ වන රිළා වඳුරු ගහණයක් ? විද්වතුන් ගේ උපදෙස් මත පදනම්ව යැයි පවසමින් ඉකුත් මාර්තු මස 15 වැනිදා පෙරවරු 8.00 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් තුළදී සිදු කළ මෙරට වගා හානි කරන සතුන් සංගණනය මඟින් රට පුරා රිළවුන් ලක්ෂ 80 කට වැඩි සංඛ්‍යාවක් හා වඳුරන් ලක්ෂ 40 ක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.මෙය සමස්ත ශ්‍රී ලාංකේය ජනගණනයෙන් අඩක් පමණ වන ප්‍රමාණයකි.බොහෝ පිරිස් ඉහත සඳහන් සත්ව ගහනයන් වැඩි අගයකින් සංගණන පත්‍රිකා වල සඳහන් කර තිබීම නිසා සංගණනයේ දත්ත සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබේ.එමෙන්ම මෙම ගණනය මුල් කොට පසුගිය දිනයෙක වාර්තා වී තිබූ අන්දමට ලෝක සොබා සංසදය (IUCN ) විසින් වඳ වී යාමේ ආසන්න තර්ජිත තත්වයට පත්ව ඇති බවට නම් කළ දඬු ලේනුන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පමණක් 11531ක් වාර්තා වී තිබේ. ඒ හේතුවෙන් එම තොරතුරු යළි නිවැරදි කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ලවා නැවත සමීක්ෂණයක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි පැවසෙයි.මේ අතර මෙම ගණනය විද්වතුන් ගේ උපදේශකත්වයෙන් සිදු කරන ලද්දක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ මුත් එම විද්වතුන් කවුරුන් ද යන්න ඔහු මේ දක්වා අනාවරණය කොට හෝ මෙම සත්ව ගණනය පිළිබඳ අදහස් දැක්වීමක් කොට නැත.නමුත් මෙම කටයුත්ත සම්බන්ධ අදහස් පළ කළ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා බීබීසී සිංහල සේවයට කල් ඇතිවම පවසා සිටියේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව දේශපාලන අභිලාෂයන් මත සිදු කරන මෙබඳු කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බවකි.

කාලීන පුවත්