ශ්‍රී ලංකාවට ණය සමාවක් දෙන්නැයි ලොව ආර්ථික ව්ද්වතුන් එකසිය අසූවක් ණය දෙන ආයතන වලින් ඉල්ලලා

ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය සමාවක් ප්‍රදානය කරන ලෙස ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් සහ සංවර්ධන විශේෂඥයින් 180කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ණය දෙන ආයතනවලින් ඉල්ලීමක් කොට ඇති බව ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන අල් ජසීරා වාර්තා කරයි. කෙසේ නමුත් මේ ණය සමාව ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා හොඳම විකල්පය නොවන බව තවත් ආර්ථික ප්‍රවීණයන් පිරිසකගේ අදහසය.

ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, 2020 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 52 කට අධිකය. එයින් 40%කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ මූල්‍ය ආයතන ඇතුළු පුද්ගලික ණය හිමියන්ගෙන් වන අතර, සෙසු ප්‍රමාණය ලබාගෙන ඇත්තේ චීනය, ජපානය, ඉන්දියාව ආදී රටවල්වලිනි.

2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම අත්හරින ලද අතර යම්කිසි සහනයක් බලාපොරොත්තුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් ද සිදු කරන ලදී. කෙසේ නමුත් මූල්‍ය අරමුදලේ අදහස වන්නේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ තත්ත්වය යම් ස්ථාවරත්වයකට පැමිණෙන තුරු එවැනි මූල්‍ය සහනයක් ලබාදීම සුදුසු නැති බවය.

ලොව ඉතා ඉහළ අළෙවියක් සහිත ආර්ථික විද්‍යා කෘතියක් වන ‘කැපිටල්’ රචනා කළ තෝමස් පිකෙට්ටි, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයකු වන ඩැනී රොඩ්රික් සහ ඉන්දීය ආර්ථික විද්‍යාඥයකු වන ජයාති ඝෝෂ් යන පිරිස් මූලික වී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවට ණය ලබාදුන් බාහිර පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ සියලු ණය අවලංගු කොට දමන ලෙසය. එමෙන්ම රටෙන් නීති විරෝධී ලෙස ප්‍රාග්ධනය පිටතට ගලා යාම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. මේ ඒකාබද්ධ නිවේදනය ඔවුන් නිකුත් කොට ඇත්තේ Debt Justice නම් ගෝලීය ව්‍යාපාරය වෙනුවෙනි.

දූෂිත දේශපාලකයන්ට ඉහළ පොලී අනුපාතවලට ණය දුන් පෞද්ගලික ආයෝජකයින්, මේ ණය අවලංගු කිරීම තුලින් මතු වන අවදානම් ණය දීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු බව විද්වතුන් එම නිවේදනයේ සඳහන් කරයි.

මෙය ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම අත්හිටවූ ප්‍රථම අවස්ථාව වන අතර මේ තත්ත්වයට පුද්ගලික ණය දෙන්නන් වැඩි වශයෙන් වගකිව යුතු බව ද මේ විද්වතුන්ගේ නිවේදනයේ සඳහන් වේ. පුද්ගලික ණය දෙන්නන් ණය ලබාදීමේ දී විශාල ලාභයක් උපයාගෙන ඇති අතර, එබැවින් මේ ණය අවලංගු කිරීමෙන් ලැබෙන නරක ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට ද ඔවුන් සූදානම් විය යුතු බව මේ විද්වත්හු පවසති.

කෙසේ නමුත් මේ ඉල්ලීමට සියලු දෙනාම කැමති නැත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසන්නේ ණය අවලංගු කිරීමේ සැලැස්ම ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වුවහොත් එය වත්මන් ගෝලීය මූල්‍ය පද්ධතියේ බිඳ වැටීමට හේතු විය හැකි බවයි.

එම ප්‍රකාශයට අත්සන් කර ඇති බොහෝ විද්වතුන් ආර්ථික විද්‍යාඥයන් නොවන බව ඔහු අල් ජසීරා වෙත පැවසීය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය. “වර්තමාන ආර්ථික යනු එකිනෙක යැපෙන, අන්තර් සම්බන්ධිත පද්ධතියක්. මේක බිඳ වැටුනොත් ලෝකයම කඩා වැටෙනවා. එතනින් එහාට මොනවා වෙයිද දන්නේ නෑ.”‍

විජේවර්ධන අල් ජසීරා ප්‍රවෘත්ති සේවයට පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ණය අවලංගු කිරීමේ නිවේදනය නිකුත් කළ එකිනෙක ප්‍රතිවිරුද්ධ කඳවුරුවල සිටින ඩැනී රොඩ්රික් සහ තෝමස් පිකෙට්ටි එක් පාර්ශ්වයකට පැමිණීම පුදුම සහගත කාරණයක් බවය.

“ණයට ගත් මුදල්, පාලකයන් විසින් නාස්ති කර හෝ අත්පත් කර ගෙන තිබෙනවා. ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලැබී නැහැ. ඒ පාලකයන් පාඩුවට වගකියන්න ඕන, ඒ අය කරපු අපරාධවලට නඩු දාන්න ඕන පාලන ක්‍රමයක් ඇති කරන්න අපි සටන් කළ යුතුයි. ණය අවලංගු කිරීමෙන් මේ දූෂිත දේශපාලකයන්ට මිස ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ.” ඔහු පැවසීය.

“දූෂිත ඒකාධිපතියන් ණයට ගත් මුදලින් දැනටමත් ප්‍රතිලාභ ලබාගෙන තියෙනවා. ණය අවලංගු වූ විට, ඔවුන්ට ණය ආපසු ගෙවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. තව තවත් ණය ලබාගෙන එම මුදල් පුද්ගලික ලාභ සඳහා භාවිතා කළ හැකියි. මෙය ආර්ථික විද්‍යාවට අනුව සදාචාරාත්මක කාරණයක් නෙවෙයි.” ඔහු තවදුරටත් එසේ පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, රටේ ණය අඩු කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙන ලෙස චීනය සහ ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.

“වගකීම් ඉටු නොකරමින්, අපිට වැඩි කාලයක් මේ වගේ තත්ත්වයක සිටීමට අවශ්‍ය නැහැ. ඒක රටටත් අපටත්, ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසයටත් හොඳ දෙයක් නෙවෙයි” මහ බැංකු අධිපතිවරයා පසුගියදා බීබීසී පුවත් සේවයට පවසා සිටියේය.

ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස්. ජයශංකර්, ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක යෙදී සිටියදී ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මාර්ගය පැහැදිලි කිරීම සඳහා මූල්‍ය සහතික කිරීම් මූල්‍ය අරමුදල වෙත ලබා දී ඇති නමුත් එම සහතික මොනවාදැයි සඳහන් කර තිබුණේ නැත. සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව, ඉන්දියාවේ සහතිකය මත චීනය වසර දෙකක ණය සහනයක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති බොහෝ ණය සඳහා වගකිව යුතු චීන එක්සිම් බැංකුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් කියා සිටියේ වසර දෙකක් සඳහා ණය කල් දැමීම කෙටිකාලීන ණය අත්හිටුවීමක් වන අතර ශ්‍රී ලංකාවේ සියලු ණය දෙන්නන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මධ්‍ය සහ දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට එකට එක්වන ලෙසය. කෙසේ නමුත් චීනය රජයක් ලෙස තවමත් මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කොට නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීමට පෙර ශ්‍රී ලංකාවට ණය දෙන්නන් පැරිසියේ දී හමු වී ණය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය අවලංගු කිරීමක් සිදු කළහොත්, චීනය මේ වන විට ණය ලබාදී ඇති ලෝකයේ සෙසු රටවලින් ද මේ හා සමාන ඉල්ලීම් ලැබිය හැකි බැවින්, චීනය මේ ණය අවලංගුකිරීමේ යෝජනාවට කැමති වීමේ හැකියාව ඉතා අවම බව ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යා උපදේශන සැපයීමේ ආයතනයක් වන ඇඩ්වෝකාටා හි ප්‍රධාන විධායක ධනනාත් ප්‍රනාන්දු පවසයි.

“එක රටකට ණය සහනයක් දෙනකොට ඒක උසාවි නියෝගයක් වගේ. අනෙක් රටවල් ද එම සහනය ලබා ගැනීමට ඉදිරිපත් වේවි.” ඔහු අල් ජසීරා පුවත් සේවයට පවසා සිටියේය.

එපමණක් නොව, වෙනත් රටකට ලබා දෙන ණය සම්පූර්ණයෙන්ම කපා හැරීමට කිසිදු රටක බදු ගෙවන්නන් සතුටු නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා පවසන්නීය.

“චීනය තවමත් සැලකෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නිසා එරට බලධාරීන් සහ රටවැසියන්ගේ අදහස වන්නේ ද ඔවුන් ලබා දුන් ණය ආපසු ගෙවීම සිදු කළ යුතු බවයි. ඒ නිසා ණය කපාහැරීම ප්‍රයෝගික දෙයක් නොවෙයි. ඒ වෙනුවට කල්පිරීම දීර්ඝ කිරීම, පොලී අනුපාතය අඩු කිරීම වැනි වෙනත් සහන සඳහා සාකච්ඡා කිරීම වඩාත් සුදුසුයි” ඇය තවදුරයත් පවසා සිටියාය.

අදහස් දැක්වීම සඳහා අල් ජසීරා පුවත් සේවය කළ ඉල්ලීමට කොළඹ ජපාන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා නැත.

– නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර