ශ්‍රී ලංකාව ඉන්දියාව හෝ චීනය හමුවේ  “ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ”ගීතය ගැයිය යුතු වේද?  

චීන යුආන් වැන්ග් 5 නෞකාව මුල් කොට ගෙන හටගෙන තිබෙන ජාත්‍යන්තර අර්බුදයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබේ. චීනයේ ජීඇන්ග් ඉන් වරායෙන් පසුගිය ජූලි 13 දා පිටත්වූ යූආන් වැන්ග් 05 නෞකාව චීන අභ්‍යවකාශ හා චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාවකි. එය ලබන 11 දා ලංකාවේ හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත ය. ඒ නෞකාවට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙනි.

එහෙත්, මෙම නෞකාව ඔත්තු බලන නෞකාවක් බවට හඳුන්වා දෙමින් ඉන්දියාව එය මෙරටට ළඟාවීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ. චීන නෞකාව හම්බන්තොට වරායෙන් පහසුකම් සපයා ගැනීමෙන් පසුව එය ඉන්දියන් සාගරයේ වයඹ දිග ප්‍රදේශයේ ගවේෂණ කටයුතුවල නිරතවීමට නියමිත ය. ඉන්දියාව මෙහිදි සිය අප්‍රසාදය පළ කරමින් පවසා ඇත්තේ සිය රටේ ආරක්ෂව හා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දැඩි අවධානයෙන් පසුවන බවකි.

ඉන්දියාව එල්ල කර ඇති විරෝධයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ සිය රට නීත්‍යානුකූලව කරනු ලබන නාවුක කටයුතු වෙනුවෙන් ඉන්දියාව මැදිහත් නොවිය යුතු බවයි. ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්දිය දිගින් දිගටම ආධාර කළ අතර මෙම චීන නෞකාවේ පැමිණීම හමුවේ ලංකාව බරපතල ගැටළුවකට මුහුණ දී තිබේ.

කෙසේ නමුත් චීන නෞකාවේ ගමන මඳක් ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලංකාවේ එම ඉල්ලීමට චීනය සිය අප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තාවේ. කලාපයේ ප්‍රධාන රාජ්‍යයන් දෙකක ගැටුමක අතරමැදියෙකු වී ශ්‍රී ලංකාව බරපතල ගැටළුවකට මුහුණ දී සිටියි.එය තෝරුන් සහ මෝරුන්ගේ සටනකට මැදි වන හාල් මැස්සකුගේ තත්වයට සමහරෙක් උපමා කරති.

මෙරට විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඉකුත්දා කාම්බෝජයේ පැවැති සමුළුවක දී ඉන්දීය හා චීන විදේශ අමාත්‍යවරුන් මුණ ගැසී මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ ද එය සාර්ථක වී නැත. දෙපාර්ශවයම තද ප්‍රතිපත්තියක සිටින බව එයින් පැහැදිලි ය.

චීනය අභ්‍යවකාශ තාක්ෂණයට පිවිසිය ද ඇමරිකාව එය පිළිගත්තේ නැත. එම නිසා ඔවුනට නාසා ආයතනයේ ඉඩක් වෙන් නොවුණි. ලෝකයේ අභ්‍යවකාශ කටයුතු කරන සෑම රටකටම පාහේ නාසා ආයතනයේ ඉඩක් වෙන් කෙරුණ ද චීනයට එම අවස්ථාව නොදීමට ඇමරිකාව වග බලා ගත්තේ ය. එම නිසා චීනය සිය අභ්‍යවකාශ තාක්ෂණික කටයුතු කරනු ලැබූවේ මෙවැනි නෞකා උපයෝගි කර ගනිමිනි.

නාසා ආයතනයේ ප්‍රධාන ශාඛාවක් ඉන්දියාවේ ස්ථාපිත කර තිබෙන අතර නාසා ආයතනය හා සම්බන්ධ සියළු රටවලට ඒ හරහා තොරතුරු ලබා ගත හැකි ය. චීනයට එම පහසුකම නොමැති නිසා ඔවුන් එය මෙවැනි නෞකා උපයෝගී කරගෙන කරනු ලබයි. කෙසේ නමුත් චීනය සතුව ඇති මෙම නෞකාවේ තාක්ෂණය ගැන පිටත සිටින කිසිවෙකුට අදහසක් නැත. එම නිසා ඉන්දියාව සඳහන් කරනුයේ මෙය ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස ය.සමහර විට එය පූර්ණ හෝ අර්ධ සත්‍යයක් විය හැක.

ඉන්දියාව මේ වන විට ඇමරිකාවේ ප්‍රධාන මිතුරෙකු බැවින් ඇමරිකානු ප්‍රමුඛ පෙළේ කාර්යයන් රැසක් ඉන්දියාවේ සිදු වෙයි. එම නිසා ඉන්දියාව හා චීනය අතර ඇත්තේ යහපත් සම්බන්ධයක් නොවේ. කලක් ඉන්දියාව චීනයේ සමීපතම මිතුරෙකුව සිටියත් අද එය හාත් පසින්ම වෙනස්ව ඇත.

එදා“ඇමරිකානු හඩ“ ගුවන් විදුලි මධ්‍යස්ථානයක් හලාවත,ඉරණවිල ස්ථාපිත කරද්දී ඉන්දියාව විරුද්ධ වූයේ එදා ඔවුන් චීන පිලෙහි සිටි නිසා ය. එදා එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ද ඇමරිකාව මේ හරහා ඉන්දියාවේ ඔත්තු බලන බවට චෝදනා කළේ ද ඉන්දියාව ය. අද එය චීනය දෙසට එල්ල වීම දෛවයේ සරදමකි.

කෙසේ නමුත් බලවතුන්ගේ සටන්වලින් තැලෙන්නේ දුබලයන් ය. දැඩි ආර්ථික අර්බුදයක සිරවී සිටින ලංකාව අද මේ අර්බුදයෙන් තවත් පීඩාවට පත්ව සිටියි. ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ඉල්ලා ඇති අතර එහි ප්‍රධන කොන්දේසියක් වනුයේ දැනට පවතින ණය ස්ථායිකරණය කර ගන්නා ලෙසයි. ලංකාවේ ප්‍රධන ණය හිමියෙකු වන චීනය එයට තවමත් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත.ඒ අනුව අනියමින් හෝ චීනයට ගැති වන්නට අපට සිදු වී තිබේ.

නමුත් ලංකාව චීනය දෙසට හැරුණ හොත් ඔවුන් අපට ඔවුන්ගේ ණය ස්ථායිකරණයට අවස්ථාවක් දෙනු ඇත. නමුත් ඉන්දියාව ළඟමම මිතුරා ය. ඔවුන් අපට ඖෂධ, ඉන්ධන මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගෙන් ද පසුගිය කාලය පුරාම ආධාර ලබා දෙමින් සිටියි. එසේම ඉන්දියාව ද දිගින් දිගටම ලංකාවට ණය ලබා දෙන අසල්වැසි රාජ්‍යය වේ.

මේ නිසා ඉන්දියාවේ විරෝධය ද අපට නොසලකා සිටිය නොහැකි ය. චීන නෞකාවට පහසුකම් සැපයීමෙන් ලංකාවට ගැලවීමට ද නොහැකි ය. ඉන්දියාව විරෝධය පළ කරන කාරණයකට එකඟවීමට ද නොහැකි ය.  චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් එකඟ නොවුනහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම ගැන දැඩි ගැටළුවකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත.

චීන එක්සීම් බැංකුව මගින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම වෙනුවෙන් ලබා දෙන ණය මුදල මේ වන විටත් අත්හිටුවා ඇත. එහි ඉදිකිරීම් වෙනුවෙන් මෙහි පැමිණි චීන ජාතිකයන් පවා එරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවට ද මාධ්‍ය වාර්තා කර තිබුණි. චීන ඉන්දියානු ගැටළුව හමුවේ ලංකාව තව තවත් අගාධයට යමින් ඇත.

මෙම ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැත. නොනිල මට්ටමේ තොරතුරු වාර්තා කරන්නේ චීන නෞකාවේ පැමිණීම මෙම ගැටළුව නිරාකරණය කර ගන්නා තෙක් කල් දමන ලෙස ඉල්ලා ඇති බවකි. චීනය එය පිළිගැනීමට අකමැති බව චීන තානාපතිවරයා දන්වා ඇතැයි ද වාර්තාවේ.භූ දේශපාලන හැප්පීම් මැද ලංකාව සිරවී සිටියි. එය කෙලෙස නිරාකරණය වෙනු ඇතිදැයි තවමත් පැහැදිලි නැත.ඒ අනුව දැන් අපට ඇත්තේ චීනය හෝ ඉන්දියාව හමුවේ”ඔබ ගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමු ගන්නේ”ගීතය ගයමින් කල් මැරීම පමණි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර