රට තුළ තිබෙන ඉන්ධන සංචිතය ඉතා සීමිත ය. රටට තවමත් ඉන්ධන නෞකාවක් පැමිණ නැත. පැමිණෙන බව කියූ පෙට්‍රල් නෞකාව ද ණයවර ලිපිය විශ්වාස කළ නොහැකි බව කියමින් අතරමඟ දී ඉන්දියාවට හරවාගෙන ගියේය.මේ වන විට අපේ රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ පවතින හැඟීම එයයි. මේ නිසා ඉන්ධන සම්බන්ධයෙන් රට තුළ ඇත්තේ ඉතාම ව්‍යාකූල තත්ත්වයකි.මෙය වත්මන් සමාජ යාන්ත්‍රණයේ සෑම අංශයක් කෙරෙහිම විවිධාකාරයෙන් බලපානු ඇත.කොටින්ම ඉන්ධන නොමැති වීම යනු රටම නතර වීමකි.එමඟින් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීම දක්වා වන බිහිසුණු ප්‍රතිවිපාක බොහොමයකි.
ඉන්ධන අර්බුදය මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ ශ්‍රීලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීම නිසාය. යහපාලන රජය 2019 දී රාජපක්ෂවරුන්ට රට බාර දෙන විට මොර විදේශ සංචිත ඩොලර් බිලියන 7.5 කි. රන් සංචිත පමණක් ඩොලර් බිලියන 3 කි. පෞද්ගලික බැංකුවල තවත් බිලියන 3 ක ඩොලර් සංචිත පැවැතිණි.එහෙත්, මෙම වසරේ මාර්තු වන විට එය බිංදුවටම සිදී ගියේ රාජපක්ෂ පාලනයට නිසි ආර්ථික කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙනි. ඉන්දියානු ණය ක්‍රමය යටතේ අප්‍රේල් මස මැද සිට ඉන්ධන ලබා ගැනීමට කටයුතු කළ අතර එය මැයි මාසයෙන් අවසන් වීමට නියමිතව පැවැතුන ද තවත් ඩොලර් බිලියන 200 ක ඉන්ධන ලබා ගැනීම නිසා ජුනි මැද භාගය දක්වා රටට කඩින් කඩ ඉන්ධන ලබා ගැනීමට හැකිවිය.පෝලිමේ සිට හෝ ඉන්ධන ලබා ගැනීමට හැකියාව මෙරට වාහනවලට පැවැතිය ද අද වන විට පෝලිමේ සිට හෝ ඉන්ධන ලබා ගැනීමට අසීරු තත්ත්වයක් උදාවී තිබේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ද 26 දා සිට නවතා දැමූවේ බොරතෙල් අවසන් වීම නිසා ය.
ශ්‍රී ලංකාව මේ වන විට ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් සැපයුම්කරුවන් වෙත ගෙවා නැත. ඉකුත් නොවැම්බර් මස සිට ඔවුනට ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 738 කි. එම නිසා ඔවුන් ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන සපයන්නට නම් ඔවුන්ගේ ණය මුදල්වලින් බාගයක් ගෙවිය යුතු බව දැනුම් දී තිබේ. එසේ ගෙවීමට මහ බැංකුවට ඩොලර් නොමැත.මෙය ජාත්‍යන්තරය හමුවේ අපේ රට බරපතල ලෙස හෑල්ලුවට ලක්වීමකි.
එම කාරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව නව සැපයුම්කරුවෙකුගෙන් ඉන්ධන ලබා ගැනීමට පියවර ගත්තේය. රජය ඒ් වෙනුවෙන් ඩොලර් බිලියන 130 කට ආසන්න මුදලක් සොයා දුන්නේය. ඒ් අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නව සැපයුම්කරුවෙකුගෙන් පෙට්‍රල්, ඩීසල් හා බොරතෙල් මිලදී ගැනීම වෙනුවෙන් ණයවර ලිපි විවෘත කරන ලද්දේ මහජන බැංකුව හරහාය.එහෙත්, මහජන බැංකුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් පහත බැස ඇති නිසාත් ලංකාව බංකොලොත් රාජ්‍යයක් මෙන්ම ණය ගෙවීම් පැහැර හැර ඇති රාජ්‍යයක් ලෙස ප්‍රකාශ වීමත් හේතුකොට ගෙන විදෙස් බැංකු ණයවර ලිපි වෙනුවෙන් ඇපවීම ප්‍රතික්ෂේප කළේය. ඒ් අනුව ලංකාව ඉන්දියාවේ බැංකු ද ඇතුළුව බැංකු ගණනවක් ඇපයට ගන්නට උත්සාහ කළද එය ද අසාර්ථක විය. අවසානයේ ඉන්ධන සමාගම පිළිගත් මූල්‍ය ආයතනයක් ලංකාව වෙනුවෙන් ඇපවීම නිසා අවසානයේ ඉන්ධන සැපයීමට ඔවුහු එකඟ වූහ.
ඒ් අනුව ඉන්ධන රැගත් නෞකාව ලංකාවට ළගාවීමට තිබුණේ ඉකුත් 24 දා ය. ඊට පෙර ඔවුන් යළිත් ලංකාවෙන් පෙර ගෙවීමක් ඉල්ලා සිටිය ද මෙරට නීති අනුව එසේ කළ නොහැකි බව දැනුම් දීමත් සමඟ ගෙනා පෙට්‍රල් තොගය ඉන්දියාවට විකුණා දැමීමට සමාගම කටයුතු කර තිබුණි. ලංකාවේ පවතින මූල්‍ය තත්ත්වය නිසා ඕනෑම කෙනෙකුට ලංකාවට තෙල් නොදෙන ලෙස ඕනෑම පාර්ශවයකට බලපෑම් කිරීමේ හැකියාව පවතියි.මෙවර ද එවන් බලපෑමක් වී ඇති බව පැහැදිලි වන්නේ නෞකාව මුහුදේ තිබියදීම අදාළ සමාගමට ඉන්දියාවෙන් ඇනවුමක් ලැබී තිබීම නිසාවෙනි. එම නිසා ලංකාව අසීරු අඩියකට පත්ව සිටියි.මෙය ඉන්දියාව සැලසුම් සහගත ලෙස අපේ රට අමාරුවේ දැමීමකැයි ද සමහරු කියති. ලංකාව තවත් ඩොලර් මිලියන 500 ක ණයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇත්තේ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙනි. ඒ් වෙනුවෙන් ඉන්දියානු දූත පිරිසක් මෙරටට පැමිණි අතර ඔවුන් තමන්ට මෙරට ඉන්ධන සැපයුමේ පූර්ණ ඒ්කාධිකාරය ඉල්ලා ඇති බවට හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් ප්‍රකාශ කර තිබුණි.
ආණ්ඩුව සාකච්ඡා ධනාත්මක බව කීවත් එය ධනාත්මක වී ඇත්තේ ඉන්දියාව වැනිසියේ වෙළෙන්ඳා කතාවේ ෂයිලොක් නම් කූට ධනවතා මෙන් “මස් රාත්තලම” ඉල්ලීමෙන් බව පැහැදිලි වේ. ඛනිජතෙල් අමාත්‍යවරයා ද කියා සිටියේ ඇමති මණ්ඩල රැස්වීමට තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවිසල් කොටස් කිහිපයකට කඩා ඒ්වා බදු ක්‍රමයකට බාහිර සැපයුම්කරුවන් වෙත ලබා දීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි. එසේ අලෙවි සල් ගන්නා සමාගම් වසර කිහිපයකට ඉන්ධන ගෙන්වා අලෙවි කළ යුතු බවත් කොන්දේසියක් ද එහි ඇතුලත් බවත් ඔහු කියා සිටියේ ය.මෙය තමන් ගේ ළිඳ කාට හෝ විකුණා ඔවුන්ගෙන් ජලය මිල දී ගැනීමකට සමාන ය.
ඉන්දියාව ෂයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලා ඇති පසුබිමක ලංකාව තව තවත් ඉන්දියානු ණය උගුලේ පටලවා ගෙන ඇති බව පැහැදිලි ය. ජනතාවට ද මේ වෙලාවේ අවශ්‍ය ඉන්ධනය. රජයට ද අවශ්‍ය වන්නේ ජනතාවට ඉන්ධන සැපයීමට ය. එහෙත් ඉන්ධන ගන්න ලංකාවට මුදල් නැත. එසේ නම් ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ඉන්දියාවේ කොන්දේසිවලට යටත්වීමට ලංකාවට සිදුව ඇත.
මේ සියළු කාරණා මත ලංකාවට නැවත තනිව නැඟී සිටීමක් ගැන පෙනෙන තෙක් මානයක පැහැදිලි අදහසක් නැත.එළඹ ඇති ත්ත්වය යටතේ ෂයිලොක් නම් කූට ධනවතා හෙවත් ඉන්දියාවේ බලපෑමට යටත්ව සිටිනවා විනා වෙන විකල්පයක් ද ඇත්තේ නැත. දැන් අපට කිසිවක් නැත. කාගෙන් හෝ ඉල්ලා ගන්නා මුදලකින් යැපීමට සිදුව තිබේ. ඒහිදි ඔවුන් දමන කොන්දේසිවලට යටත්වීමට ද සිදුව තිබේ.
මේ උගුලෙන් ගැලවෙන්නට නම් අපිට ඩොලර් තිබිය යුතුය. ඩොලර් උපයා ගැනීමට බොහෝ දේ කළ යුතුවේ. ඒ් වෙනුවෙන් අපට කලාන්තරයක් බලා සිටීමට සිදුවනු ඇත. අපේ බොහෝ සම්පත් ද පිටරැටියන්ට දීමට සිදුවනු ද ඇත. ජාත්‍යන්තර පවා පිළිගෙන ඇති අන්දමට රාජපක්ෂ පාලනය රට කාලාන්තරයක් ආපස්සට ඇද දමා තිබේ.ඒ අතර තුර රාජපක්ෂ පවුල නියෝජනය කරන නාමල් රාජපක්ෂ වැන්නවුන් තවමත් මෙරට පාලන කටයුතු වලට “හොස්ස පෙවීම” ලෝකයේ හොඳම විහිළුවකි. සිදු වූ වරද නිවැරදි කර ගැනීමට තව කාලාන්තරයක් බලා සිටීමට සිදුවනු ඇත.මේ අතර රට ගොඩ ගැනීමට අපට පුළුවන් යැයි පවසන දේශපාලන බලවේග ඒ සඳහා වන කෙටි කාලීන සහ දිගු කාලීන ක්රමෝපායන් තබා අඩුම තරමින් බස් ටිකට්ටුවක ප්‍රමාණයේ ලේඛනයක් වත් මේ දක්වා විධිමත් ලෙස සමාජ ගත කොට නැත.
ලසන්ත වීරකුලසූරිය