මේ වන විට අප රටේ ජනතාවට අතිශය පීඩාකාරී ලෙසින් විදුලි බිල ඉහළ නංවා තිබේ.මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් අපේක්ෂාවෙන් සිදු කළ දෙයක් සේම එම මූල්‍ය පහසුකම ලැබුණු පසු රටේ තත්වය තරමක් යහපත් වනු ඇතැයි ද සමහරෙක් කියති.එහෙත් මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් වත්මන් රජයට හා පාලක කාරකාදීන්ට ශාප විය යුතුය යන්න පොදු සමාජ ප්‍රකාශනයක් වී තිබේ. එමෙන්ම මෑතක සිට සමාජයේ පවත්නා වෙනයම් දුක්ඛදායක තත්ත්වයන් මත ද ‘ශාපය’ යන වදන පෙරට වඩා සමාජමය භාවිතයට ගැනෙමින් තිබේ.
එහෙත්, මෙතරම් සමාජමය භාවිතයකට ගැනෙන මෙම ‘ශාපය’ යනු කුමක්ද? එහි භාවිතය සහ අපේක්ෂා කෙරෙන ප්‍රතිඵල කුමක්ද? ශාප කිරීම් මඟින් පාලකයන් වැනසිය නොහැකිද? යන්න පිළිබඳ නිරවුල් අවබෝධයක් වත්මන් සමාජයේ බොහෝ දෙනකු තුළ නොමැති බවක් පෙනෙයි.එබැවින් ඒ සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නැඟීමේ ද කාලීන වටිනා කමක් තිබේ.
කෝපය, ක්‍රෝධය, වෛරය, ද්වේශය ආදී වශයෙන් හැඳින්වෙන අයහපත් චිත්තාවේග දාමයන් මගින් පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් මිනිසා පරිහානියට පත් කරවන බව නොරහසකි. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව එහි මුල් අවස්ථාව කෝපය වන අතර එහි චේතානුබද්ධ අවස්ථාව හෙවත් ‘පත්තියම්’ අවස්ථාව ද්වේශය ලෙස හැඳින්වෙයි. ඒ අනුව මූලික වශයෙන් ඒ සම්බන්ධයෙන් කිව හැක්කේ මෙම ශාපය යන්න කෝපය නම් මූලික අවස්ථාව අතික්‍රමණය කොට එළැඹෙන ද්වේශය නම් වන පැසුණු අවස්ථාවේ ක්‍රියාවට නැංවෙන්නක් බව ය.මෙය අප එදිනෙදා ව්‍යවහාර කරන “දෙස් දෙවොල් තැබීමේ”වර්ධන අවස්ථාවක් බව පෙනෙයි.එහෙත්, සෑම කෝපය, ක්‍රෝධය, වෛරය, ද්වේශය ආදී වශයෙන් හැඳින්වෙන අයහපත් චිත්තාවේග දාමයක්ම ශාපයක් බවට පෙරළා ගත් නොහැක.එහි කිසියම් සාධාරණ පදනමක් සහ හෘදයාංගම බවක් තිබිය යුතුම ය.නිදසුනක් ලෙස තමන්ට ජීවත් වීම සඳහා වන මූලික අවශ්‍යතා සංතෘප්ත නොවීම මත ඊට ඉලක්ක ගත පාර්ශවයකට ශාප කළ හැක.එහෙත් මත් පැන් හෝ දුම්වැටි මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඊට වග කිව යුතු පාර්ශවයනට ශාප කළ නොහැක.
මෙම ශාප කිරීම් පොදුවේ කොටස් දෙකකට බෙදෙයි. එනම් දෙවිවරුන් විසින් කරනු ලබන ශාප කිරීම් සහ මිනිසුන් විසින් කරනු ලබන ශාප කිරීම් වශයෙනි. අප ජන සංස්කෘතියට අනුව දේව කෝප ගැන මිස දේව ශාප පිළිබඳව අසන්නට ඇත්තේම නැති තරම් ය. එමෙන්ම විෂ්ණු, පත්තිනි, සමන්, නාථ ආදී බෝධිසත්ව ගුණෝපේත දෙවිවරුන් එලෙස පහසුවෙන් කෝප නොවන බව ද පැවසෙයි. නමුත් ශ්‍රීපාද අඩවිය හා සබැඳි සබරගමු ජන විශ්වාස පිළිබඳ විමසුමක යෙදුණු මට සමන් දෙවියන් කෝප වූ අවස්ථාවක් සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාදයක් ශ්‍රීපාද හිමය පාමුල ඇති ශ්‍රී පලාබද්දල ගම්මානයේ දී අසන්නට ලැබිණ. ඒ මීට බොහෝ කලකට පෙර ගල්පොත්තාව රජමහා විහාරයේ සිට උඳුවප් පුන් පෝදාට පෙර දින සිරිපා මළුව වෙත සමන් දේව ප්‍රතිමාව වැඩමවමින් තිබිය දී එය ශ්‍රීපාද මාර්ගය අද්දර කරවල මැස්සක් මත තැබීමේ සිදුවීමක් මුල්කර ගනිමිනි. එම දේව කෝපය නිසා සබරගමුවට සුවිසල් ස්වභාවික ආපදාවකට මුහුණ පෑමට සිදු වුව ද එය හුදෙක් දේව කෝපයක් මිස දේව ශාපයක් නොවන බව ඒ සම්බන්ධ වාර්තාගත කරුණුවලින් පෙනී යයි.
මෙම ශාප කිරීම් සම්බන්ධයෙන් භාරතීය සංස්කෘත සාහිත්‍යයේ කොතෙකුත් විස්තර දැක්වෙයි. එසේ ශාප කරන්නවුන් සම්බන්ධයෙන් ප්‍රධාන තැනක් ගන්නෝ ඍෂිවරු ය. එහෙත් අප රටේ ජන සංස්කෘතියෙහි මෙම ඍෂිවරුන්ට ප්‍රධාන තැනක් හිමි නොවේ. ඒ අනුව එහි ශාපය සම්බන්ධයෙන් බොහෝ දුරට විස්තර වනුයේ මානව ක්‍රියාවක් වශයෙනි. එමෙන්ම අද සමාජයේ බොහෝ දෙනෙක් මෙම ශාප කිරීම සහ පළිගැසීම එකම ක්‍රියාවක් සේ දකිති. එහෙත්, එය ද වැරදි සහගත අදහසකි. පළිගැනීම යනු යම් පුද්ගලයකු තවත් පුද්ගලයකු හෝ පිරිසක් එල්ල කොට දෙවි කෙනෙකු වැනි අධි භෞතික බලයක් මුල්කර ගනිමින් සිදු කරන ක්‍රියාවකි. සූනියම්, කාලි, දැඩිමුණ්ඩ, දෙවොල් ආදී යක්ෂ සම්භවයක් සහිත දෙවිවරුන්ගේ බලයන් මෙලෙස පළිගැසීම පිණිස වැඩිපුර යොදා ගැනෙයි. මීට අමතරව කතරගම ආදී දෙවිවරුන්ගේ බලය යොදා ගනිමින් පළි ගසන්නෝ සිටිති.
නමුත් ශාප කිරීම යනු එලෙස කිසියම් අධි භෞතික බලයක් උපයෝගී කරගෙන සිදු කරන්නක් නොවේ. ශාපය වූ කලී තමන් තුළින්ම උපදවා ගන්නා අයහපත් චිත්ත බල ප්‍රවාහයක් මුල් කොට අන්‍යයන්ට විනාශයක් අහිතක්, අවැඩක් සිදු කරනු පිණිස කරන මානසික සහ වාචික සේම ඇතැම් විට කායික ක්‍රියාවකි.අප ජන සමාජයේ මුල් පෙළේ දෙවඟනක වන පත්තිනිය කන්නගී නමින් මිනිස් භවය ලබා සිටිය දී තම ශාපයකින් මුළු පඬුරටම ගිනිබත් කළාය.නමුදු ඇය දේවත්වයට පත්වීමත් සමඟ එවන් ප්‍රචණ්ඩ ක්‍රියා අත් හළ බව පුරාණෝක්ති වල සඳහන් ය.
සමාජයේ සෑම කෙනෙකු තුළම සෑම අයකුටම පළිගැසීමේ හැකියාවක් තිබේද? යන්න බොහෝ දෙනෙකු නොදත් කරුණකි. එහෙත් ඒ පිළිබඳව ජන විඥානයේ එන කරුණු ඇසුරින් මෙබඳු නිගමනයනට ඒමට මට හැකි විය. ශාපය යනු ආශිර්වාදයට ඉඳුරාම පටහැනි චෛතසික සහ වාග් ක්‍රියාවක් වන බැවින් එසේ ශාප කරන්නා කිසියම් සුවිශේෂ චිත්ත ශක්තියක් ආධ්‍යාත්මික බලයක් ඇත්තෙකු විය යුතු ය. එමෙන්ම එම ශාපයට බඳුන් වන්නා ඊට වඩා අඩු නැතහොත් පටු චිත්ත ශක්තියකින් හා ආධ්‍යාත්මික බලයකින් යුක්ත විය යුතු ය. එමෙන්ම සෑම ශාප කිරීමක්ම සාධාරණ පදනමකින් යුතු වීම ද ඉතා වැදගත් ය. නොඑසේ නම් ඒ ශාපය නිෂඵල වන හෝ එය සිදු කළ තැනැත්තා වෙත ආපසු හැරී එන බව ජන විශ්වාසයයි. අප ජන සමාජයේ ප්‍රකට විජය කුමරුන් අතහැර දැමීම නිසා කුවේණිය කළ ශාපය බලවත් වූ බව පැවසෙයි.
මෙම ශාප කිරීම් අතුරින් බලවත්ම ශාපයක් නම් ‘හිස හත් කඩකට පැලේවා’ යන්නය. බෞද්ධ සාහිත්‍යයේ ස්ථාන කිහිපයක ද මෙම ශාප කිරීම සම්බන්ධ කතා ප්‍රවෘත්තීන් දැක්වෙයි. ධම්මපදට්ඨ කතාවේ සහ සද්ධර්මරතනාවලියේ එන ථුල්ල තිස්ස තෙරුන්ගේ වස්තුවේ දේවල නම් තවුසා පසු දා හිරු උදාවත්ම නාරද තවුසාගේ හිස හත් කඩකට පැළී යන ලෙස කරන ලද අසාධාරණ ශාපය ආපසු හැරී පසු දා හිරු උදාවේ දී දේවල තවුසාගේම හිස හත් කඩකට පැළී යාමට නියමිතව තිබූ බව පැවසෙයි. මෙය දැනගත් නාරද තවුසා දේවල තවුසාගේ දිවි රැකදීම පිණිස පසු දා හිරු උදාව පමා කළ බවත් පසුව ඔහුගේ හිස මැටි පිඬකින් වසා දැමූ බවත් පසු දා හිරු උදාවත් සමගම එම මැටි පිඬ හත් කඩකට පුපුරා ගිය බවත් එම කතා ප්‍රවෘත්තියේ දැක්වෙයි. මීට අතිශය සමාන තවත් කතා පුවතක් පන්සිය පනස් ජාතකයේ එන මාතාංග කතා වස්තුවේ ද එයි. එහි දැක්වෙන අන්දමට මාතංග පණ්ඩිතයන් චණ්ඩාල කුලයට අයත් වන අතර මන්ඩව්‍ය කුමරු ද මාතංග පණ්ඩිතයන්ගේ හිස සත් කඩකට පැළෙන ලෙස කළ ශාපය කුමරු පසුපසම ලුහුබඳින්නට පටන් ගනියි. ඒ අනුව කුමරුගේ හිස හත් කඩකට පැළී යාම වළකනු පිණිස එම මැටි පිඬේ ගුරුකම කරවීමට සිදු වූයේ ද මාතංග පණ්ඩිතයන්ටම ය.බුදු දහමට අනුව මෙම ශාපය ද්වේෂය නම් වන අකුසල මූලය මත පදනම් වන්නකි.එබැවින් එය කෙසේ වත් නොකටයුතු දෙයකි.එහෙත් පසු කාලීනව බෞද්ධ විහාර ආශ්‍රිත ගල්පර්වත වල බලු කපුටු රෑ සටහන් කොට ඇත්තේ “සඟ සතු දේ පරිහරණය කරන්නවුන් බලු කපුටන් වී ඉපදේවා” ය යන ශාපය ද සමඟිනි.
අප රටේ රොඩී නමින් හැඳින්වෙන ජන කොටස තුළ ද මෙලෙස ශාප කිරීම පිළිබඳ විශේෂ ගුප්ත බලයක් ඇතැයි යන මිථ්‍යා විශ්වාසයක් අප ජන සමාජයේ පවතී. ඊට හේතුව පන්සිය පනස් ජාතකයේ එන මාතංග පණ්ඩිතයන් සැඩොල් හෙවත් චණ්ඩාල කුලයට අයත් වීම ය. එහෙත්, අප රටේ රොඩී නමින් හැඳින්වෙන ජන කොටස ඉහත සඳහන් සැඩොල් හෙවත් චණ්ඩාල කුලය හා කිසිදු සබැඳියාවක් නැත. චණ්ඩාලයන් කසළ ශෝධකයන් වන අතර රොඩී කුලයේ කිසිවකු ඉතිහාසයේ කසළ ශෝධක වෘත්තියේ යෙදී නැත. රොඩු අමදින්නා රොඩ්ඩා, රොඩියා වූ පුවත මෑත කාලීන නිසරු ප්‍රවාදයකි.
මේ අතර අප සමාජයේ සුලබ ජන විශ්වාසයක් වන ඇස්වහ, කටවහ, හෝවහ ආදිය හා මෙම ශාප කිරීම් අතර යම් සමානත්වයක් ඇතැයි සමහරෙක් සිතති. නමුත් ඇස්වහ, කටවහ හෝවහ ආදිය දුබල පෞරුෂයකින් යුතු පුද්ගලයන් සතු පාපී බලයක් බවත් ශාප කිරීමේ හැකියාව ප්‍රබල පෞරුෂයකින් යුතු තැනැත්තන් සතු සුවිශේෂ චිත්ත බලයක් පදනම් කරගත් සංසිද්ධියක් බවත් පොදු සමාජ පිළිගැනීම ය.ඒ කෙසේ හෝ මෙම ශාප කිරීම් සම්බන්ධ මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක විවරණය වන්යේ මෙම පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් මිනිසා විසින් යොදා ගනු ලබන චිතාවේග පිට කිරීමේ භාව විරේචන ක්‍රමයක් ලෙස ය.එබැවින් එය “අරගලය” තරම් පාලකයන්ට අහිතකර නොවන බව අපගේ පිළිගැනීම ය.
තිලක් සේනාසිංහ