පසුගිය වසර සඳහා වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඊයේ, එනම් 22 දා පවත්වනු ලැබිණි. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් අතිශය පීඩනයකට ලක්වන විභාගයක් ලෙස කණගාටුවෙන් වුවද මෙම විභාගය හඳුන්වන්නට සිදුවේ.නමුදු මෙය තවමත් ජාතික මට්ටමේ සාකච්ඡාවකට බඳුන් වී නැත.
ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවකුගේ වයස අවුරුදු 10 කි. විභාගයට මුහුණ දෙන්නේ එම වයසේදී වුවද දරුවා ඊටත් වසර දෙකකට පෙර සිටම මේ විභාගය සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් විසින් අප්‍රමාණව ම වෙහෙස කරවනු ඇත.
මෙවැනි කුඩා වයසකදී අධ්‍යාපනික මට්ටමින් විශාල බරක් දරුවාගේ හිස මතට පැටවීම එම දරුවාගේ මානසික සමතුලිතතාවට හානිදායක වූවකි.
එපමණක් නොවේ. තවත් ආකාරවලින් ද මෙහි ගැටලු සහගත තත්ත්වයන් පවතී. ශිෂ්‍යත්ව විභාගයක් යනු ශිෂ්‍යත්වයක් ලැබීම සඳහා සුදුසුකම් සපුරනු ලබන විභාගයකි.
ඒ අනුව එය සමත් සහ අසමත් යනුවෙන් වර්ග කිරීමක් කළ නොහැකි වේ. මෙහි සමත් කිරීමේ කඩ ඉම අනුව බලන විට පවා එවැනි ලකුණු ප්‍රමාණයක් වෙනත් විභාගයකට ගත්තේ නම් එම දරුවා ඒ විභාගය උසස් ලෙස සමත් වීමක් වශයෙන් දැක්විය හැකිය.
මෙම අසමත් යන වචනය තුළම ඇත්තේ දරුවාට මානසිකව එල්ල කරනු ලබන ප්‍රබල පහරකි .එය මුහුකුරා නොගිය වයසක පසුවන මෙවැනි දරුවකුගේ මානසික සමතුලිත භාවයට ඉතාමත් හානිදායක ය. “මම අසමත්” යන හැඟීම ඔස්සේ දරුවා තුළ ඇති වන්නේ “මම වැඩකට නැති ළමයෙක්, මම කිසිම බුද්ධියක් නැති ළමයෙක්, මම මෝඩයෙක්” වැනි පසුගාමී සිතිවිලි සමුදායකි. එවැනි සිතිවිලි දරුවකුගේ පෞරුෂත්ව වර්ධනයට විශාල අහිතකර බලපෑමක් ඇති කරවයි.
අනෙක් අතට වසර තුනක් තිස්සේ මෙම දරුවන් ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වීම ම එම දරුවාට විශාල පීඩනයක් ගෙන දෙන්නකි .සෙල්ලම් වයසේ පසුවන දරුවකුට සෙල්ලම් කරන්නට, සුව නින්දක් හරිහැටි ලබන්නට, දෙමාපියන් සමඟ නෑදෑ ගමන් බිමන්වල යෙදෙන්නට අවසරයක් නැත. අධ්‍යාපනය සේම මේ සියල්ලම දරුවකුගේ පෞරුෂත්ව වර්ධනයට සමාන වැදගත්කමක් උසුලන බව දෙමාපියන් දැන සිටියත් නොසිටියත් එක්තරා අතකින් දෙමාපියන් ද මෙහිදී අසරණ ය.
දෙමාපියන්, විශේෂයෙන් මව්වරුන් දරුවා ශිෂ්‍යත්වය සමත් ද අසමත් ද යන්න දැන ගැනීමට කොයිතරම් නොඉවසිලිමත් දැයි කිවහොත් විභාගය අවසන් වී ගෙදර පැමිණි දරුවා ලවා ඊළඟට එම ප්‍රශ්න පත්‍රය සොයා ගෙන යළිත් නිවසේ සිට කරවන්නේ විභාගයෙන් හරිහැටි ලකුණු ලබා ගෙන ඇතිදැයි සැක හැර දැනගන්නට ය.
යම්කිසි අයුරකින් දරුවා හරිහැටි ඊට මුහුණ දී නැති බව වැටහී ගියහොත් විභාග ප්‍රතිඵල පිට වෙන්නටත් පෙරම මවුපියන් ගේ මහත් වූ ඇනුම් බැනුම් වරුසාවකට ලක් ව දැඩි මානසික පීඩනයකට මුහුණ දෙන්නට මේ අහිංසක කුඩා දරුවාට සිදු වෙයි. මෙය අපේ රටේ ළමා පරපුර සම්බන්ධ අතිශයින්ම ඛේදවාචකයකි.
පහේ ශිෂ්‍යත්වය කිසිසේත්ම උසස් විභාගයක් නොවන බව මේ කුඩා දරුවන් දන්නේ නැත. ඔවුන් සිතන්නේ මෙය ඉහළම විභාගය බව ය. ඒ අනුව මෙයින් ප්‍රමාණවත් පරිදි ලකුණු ලබා ගැනීමට නොහැකි වීම තුළින් “දැන් ඉතින් වැඩක් නෑ. මම දක්ෂයෙක් නෙමෙයි” යන හැඟීම මනසට කා වැදුණොත් මුළු ජීවිත කාලයම වුව පසුගාමී අයෙකු වීමට මෙයින් බලපෑමක් ඇතිවිය නොහැකි යැයි කිසිවෙකුටත් කිව නොහැකිය.
ශිෂ්‍යත්ව විභාගය 5 ශ්‍රේණියේදී පැවැත්වීමේ මෙම අනර්ථකාරී බව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ළමා හා නව යෞවන මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය මෙය 8 ශ්‍රේණියේ දී පැවැත්වීම වඩාත් සුදුසු බව වගකිය යුත්තන් හට අවධාරණය කළේ සෑහෙන කලකට පෙර සිට ය.
එකල පැවති රජයේ අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි බන්දුල ගුණවර්ධන මහතා ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබූ මුත් කුමන හෝ හේතු මත එය යටපත් විය. 8 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නේ වයසෙන් යම් ප්‍රමාණයකට මුහුකුරා ගිය නව යොවුන් වියේ පසු වන දරුවන් වේ.
නමුත් 5 ශ්‍රේණියේ සිටින්නේ අවුරුදු දහය වයස් සීමාවේ දරුවන් ය.
දෙමාපියන් ළඟ සුරතල් වෙමින් ගත කළ යුතු වයසේ පසුවන එම දරුවන්ට ශිෂ්‍යත්වයට වයස අවුරුදු හතේ සිට වෙහෙසෙන්නට සිදු වීම නිසා එම අවස්ථාව මඟ හැරී යයි. ඒ ගතවන කාලය නැවත එම දරුවාට කවදාවත් ආපසු ලැබෙන්නේ නැත.
නමුත් 8 ශ්‍රේණියේ පසුවන වයස අවුරුදු 13, 14 වැනි නව යොවුන් දරුවකුට එම ගැටලුව එපමණට ම මතු නොවේ. අනෙක ශිෂ්‍යත්වය සමත් වී නගරයේ පාසලකට ඇතුළත් ව යම් හෙයකින් පාසල අසල බෝඩිමක නතර වන්නට සිදු වුවහොත් එයද මේ වයසේ දරුවකුට එතරම් ගැටලුවක් වන්නේ නැත.
නමුත් ශිෂ්‍යත්වය සමත් වී නගරයේ පාසලක 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වන්නට සිදුවන දරුවකුට දෙමාපියන්ගෙන් වෙන් වන්නට සිදුවීම දැඩිව මානසිකව බලපායි.
අප මේ කතා කළේ පහේ ශිෂ්‍යත්වයට පෙර සහ පසු යන අවස්ථා දෙකේදී දරුවන් මුහුණ දෙන බැරෑරුම් ගැටලු පිළිබඳව ය. මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය දැන් හෝ යොමු වීම ඉතා වැදගත් සහ කාලෝචිත යැයි සිතමු.
විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන
ඉන්දු පෙරේරා