ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගෙන් ඉන්දීය රුපියල් මිලියන 250 ක (ලංකා රුපියල් මිලියන 930 ක) අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ බව පැවසෙන එරට රජයේ නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට ඉන්දීය මධ්‍යම විමර්ශණ කාර්යාංශය පියවර ගෙන තිබේ. මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ එරට මත් ද්‍රව්‍ය පාලක කාර්යාංශයේ නිලධාරියකු වූ සමීර් වන්කඩේට එරෙහිව යි.
මෙම පැමිණිල්ල මෙයට කලකට පෙර ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට එරෙහිව එල්ල වූ මත් ද්‍රව්‍ය චෝදනාව හා සම්බන්ධ එකකි. වන්කඩේ යනු 2021 වසරේ මෙම මත් ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධ විමර්ශණ භාරව සිටි නිලධාරියා යි. මෙම සිද්ධියට ආර්යන් සම්බන්ධ නොකර සිටීම සඳහා ඔහු ඉහත කී අල්ලස ඉල්ලා ඇති බවට මධ්‍යම විමර්ශණ කාර්යාංශය චෝදනා කරයි.
ආර්යන් සම්බන්ධ මෙම සිද්ධිය සිදු වූයේ 2021 ඔක්තෝබර් මාසයේ යි. මත් ද්‍රව්‍ය පාලක කාර්යාංශය මුම්බායි හි වරායක තිබූ සුඛෝපභෝගී මගී නෞකාවක් වටලා එහි සෝදිසි කිරීමක් කළ අතර එම නැවෙහි සාදයක් පැවැත්වෙමින් තිබූ බවක් ද සඳහන් විය. ආර්යන් ද ඊට සහභාගි වී සිටි බව පැවසිණි. මත් ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, භාවිත කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධ චෝදනා යටතේ ඔහු ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද්දේ එම වැටලීමෙන් පසුව යි.
වන්කඩේ ෂාරුක් පවුලෙන් ඉහත කී අල්ලස ඉල්ලා ඇත්තේ ඔහුගේ සහායකයන් දෙදෙනකු යොදා ගනිමින් බව ද මධ්‍යම විමර්ශණ කාර්යාංශය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මුලින් ඉන්දීය රුපියල් මිලියන 250 ක් ඉල්ලා පසුව එය මිලියන 180 ක් දක්වා අඩු කරන ලද බවක් ද සඳහන් ය. එයින් මිලියන 5 ක මුදලක් වන්කඩේගේ සහයකයන් බව පැවසෙන කේ.පී. ගෝසාවි සහ සැන්විල් ඩි සූසා යන දෙදෙනා අත්තිකාරමක් ආකාරයෙන් ලබාගෙන ඇති බව ද, පසුව එයින් කොටසක් ආපසු ගෙවා ඇති බව ද විමර්ශණ කාර්යාංශ පැමිණිල්ලේ සඳහන්ව ඇති බව වාර්තා වේ. මේ දෙදෙනා මත් ද්‍රව්‍ය පාලක කාර්යාංශයට සම්බන්ධ නැති පිටස්තර පුද්ගලයන් දෙදෙනෙකි.
මේ අල්ලස සම්බන්ධයෙන් ගෝසාවි යටතේ සේවය කළ ප්‍රභාකර් සේල් නැමැත්තකු ද මෙයට කලකට පෙර දිවුරුම් ප්‍රකාශයක් හරහා සඳහන් කර තිබිණි. ඉ. රුපියල් මිලියන 250 ක ගණුදෙනුවක් ගැන ගෝසාවි තවත් කිසිවකු සමග දුරකතනයෙන් කතා කරනු තමාට ඇසුණු බවක් ඔහු පවසා තිබූ බව සඳහන් විය. සේල් තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ 2021 ඔක්තෝබර් 3 වැනි දින පෙරවරුවේ ගෝසාවි සහ සූසා ෂාරුක්ගේ කළමනාකාරිනිය වන පූජා දද්ලානි මුණ ගැසුණු බවයි. එම හමුව සිදුව තිබුණේ දද්ලානිගේ මෝටර් රථය තුළ ය. ඔවුන් අතර කතාබහ විනාඩි 15 ක පමණ කාලයක් පැවති බව ඔහු පවසා තිබූ තවත් කාරණයකි. එම හමුවෙන් පසු එදින සවස ගෝසාවි තමාට කතා කර යම් ස්ථානයකට ගොස් මුදල් ලබාගන්නා ලෙස පැවසූ බව ද සේල්ගේ දිවුරුම් ප්‍රකාශයෙහි සඳහන්ව තිබිණි. තමා ගෝසාවිගේ මෝටර් රියෙන් එම ස්ථානයට ගිය විට සුදු පැහැති මෝටර් රියකින් පැමිණි කෙනෙකු මුදල් බෑග දෙකක් තමාට දුන් බව ද එහි සඳහන් විය. සේල් එම මුදල් නැවත ගෝසාවිට ගෙනැවිත් දී තිබූ අතර ගෝසාවි ඉන් කොටසක් සූසාට දෙනු පිණිස නැවත සේල්ට ලබා දී තිබිණි. සේල් එම මුදල් සූසාට දී තිබුණේ තරු පහේ හෝටලයක දී යි. කෙසේ හෝ වේවා, මේ මුදල් ගෙවීම සම්බන්ධයෙන් තවමත් ෂාරුක් පවුලේ අය නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැත.
ඉහත කී මත් ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශණය මුලින් භාරව සිටියේ වන්කඩේ වුවත් පසුව එම විමර්ශණය ඔහුගෙන් ඉවත් කරන ලදී. ඒ ඔහු එම විමර්ශණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් 2021 වසරේ නොවැම්බර් මාසයේ නවාබ් මලික් නැමැති දේශපාලනඥයෙකු යම් යම් චෝදනා එල්ල කිරීමත් සමග ය. කප්පම් ගැනීම් පිලිබඳව එහිදී ද වන්කඩේට එරෙහිව චෝදනා එල්ල විය. පසුව වන්කඩේ මත් ද්‍රව්‍ය පාලක කාර්යාංශයෙන් ද ඉවත් කර වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කරනු ලැබිණි.
තමාට එරෙහිව පසුගිය 15 වැනි දා මධ්‍යම විමර්ශණ කාර්යාංශය ගොනු කළ පැමිණිල්ලේ සඳහන් චෝදනා සමීර් වන්කඩේ ප්‍රතික්ෂේප කරයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මධ්‍යම විමර්ශණ කාර්යාංශය පසුගිය 18 වැනි දින ඔහු කැඳවා තිබිණි. ඒ අතර තමා අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා අධිකරණයෙන් අපේක්ෂිත ඇපයක් ලබා ගැනීමට වන්කඩේ කටයුතු කර තිබූ බව ද සඳහන් විය.
නිහාල් පීරිස්