ෂාරුක් එකවර චරිත දෙකක් රඟපාන සිනමාපටයක්

මේ වනවිට වාර්තා පිට වාර්තා පිහිටුවමින් අති සාර්ථක ආකාරයෙන් තිරගත වෙමින් ඇති ‘පතාන්’ චිත්‍රපටය නිසා ප්‍රේක්‍ෂකයන් අතර නැවතත් සුපිරි වීරයකු බවට පත්ව සිටින ෂාරුක් ඛාන් එකවර චරිත දෙකක් රඟපාන තවත් අපූරු සිනමාපටයක් නැරඹීමේ අවස්ථාව ද ඔහුගේ රසික රසිකාවියන්ට ළඟදීම උදා වීමට නියමිත ය. ඒ ‘ජවාන්’ නැමැති සිනමාපටය යි. ‘ජවාන්’ යන්නෙහි තේරුම සොල්දාදුවා යන්න ය.

‘පතාන්’ චිත්‍රපටයෙන් පසු ප්‍රදර්ශණය වීමට නියමිත ෂාරුක්ගේ ඊළඟ සිනමාපටය එය යි. දැනට පළ වී ඇති මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ ‘ජවාන්’ ලබන ජුනි මාසයේ තිරගත වනු ඇති බවකි. ‘පතාන්’ චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු ෂාරුක්ගේ රසිකයන් ‘ජවාන්’ ප්‍රදර්ශණය වනතුරු බලා සිටින්නේ මහත් නොඉවසිල්ලෙනි.

මෙම සිනමාපටයේ ෂාරුක් පියකු සහ පුතෙකු ලෙස චරිත දෙකක් නිරූපනය කරන බව සඳහන් වේ. චිත්‍රපටයේ කතා පුවත ගැන තවමත් වැඩි විස්තරයක් ප්‍රසිද්ධියට පත්ව නැත. ඊට පසුබිම් වන්නේ නොකළ වරදකට දඬුවම් විඳින්නට සිදුව ඇති අහිංසකයකු පිලිබඳ කතාවක් බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. එම සිදුවීම ඔහුගේ ජීවිතයට ඇති කරන බලපෑමත්, එම වරද නිවැරදි කිරීමට ඔහු ගන්නා උත්සාහයත්, තමාට මෙම අසාධාරණය සිදු කළ පුද්ගලයන් පරාජය කිරීමට ඔහු පියවර ගන්නා ආකාරයත් ‘ජවාන්’ තුළින් නිරූපනය වන බව පැවසේ.

‘ජවාන්’ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපනය කරන්නේ ද ඉතාම ජනප්‍රිය නිළියකි. ඒ, දකුණු ඉන්දියානු සිනමාවේ දක්‍ෂතම නිළියක වන නයන්තාරා ය. ඇය දෙමළ චිත්‍රපටවල මෙන්ම තෙලිගු සහ මලයාලම් චිත්‍රපටවල ද රඟපාන නිළියකි. එමෙන්ම තවත් සුපිරි නළුවකු වන විජේ සේතුපති ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරයි. ඒ අතර දීපිකා පාදුකෝන් ද මෙම සිනමාපටයේ කෙටි චරිතයක් නිරූපනය කරන බව සඳහන් වේ. ‘පතාන්’ චිත්‍රපටයේ ජනප්‍රියත්වයට ද ෂාරුක් සහ දීපිකා සුසංයෝගය එක් හේතුවක් විය. ‘ජවාන්’ හි ද දීපිකා රඟපෑම චිත්‍රපටයට වාසිදායක තත්ත්වයක් ඇති කරනු නිසැක ය.

මෙයට දින කිහිපයකට පෙර ‘ජවාන්’ සම්බන්ධයෙන් තවත් අපූරු ආරංචියක් මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි. එනම් මේ කාලයේ ජනප්‍රියම තෙලිගු නළුවකු වන අල්ලු අර්ජුන් ද මෙහි රගපෑමට ඉඩ ඇති බවයි. 2021 වසරේ තිරගත වූ Pushpa: The Rise නැමැති චිත්‍රපටයෙන් ද අල්ලු අර්ජුන් සුවිසල් ජනප්‍රියත්වයක් හිමි කරගත්තේය. ඔහු ‘ජවාන්’ හි රඟපෑවොත් තෙලිගු සිනමා ප්‍රේක්‍ෂකයන් සිනමාපටය වෙත ආකර්ශණය කර ගැනීමට එයින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත.

‘ජවාන්’ ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබූ තවත් ආරංචියකින් පැවසුණේ එය නයන්තාරා රඟපාන අවසන් චිත්‍රපට කිහිපයෙන් එකක් වීමට ද ඉඩ ඇති බවයි. ඇය ළඟදීම සිනමා රංගනයෙන් සමු ගැනීමට සූදානම් වන බවක් ද මෙම ආරංචි අතර විය. නයන්තාරා පසුගිය වසරේ යුග දිවියට ඇතුළත් වූ අතර මේ වනවිට නිවුන් දරු දෙදෙනකුගේ මවකි. ඇය රඟපෑමෙන් ඉවත් වීමට යන්නේ දරු දෙදෙනා වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට අවශ්‍ය නිසා බව ද පැවසේ. කෙසේ වෙතත් දකුණු ඉන්දියානු නිළියන් අතර ජනප්‍රියම සහ වැඩිම මුදලක් අය කරන නිළියක වන ඇය රංගනයෙන් ඉවත් වුවහොත් එය එම කලාපයේ සිනමා ප්‍රේක්‍ෂකයන් තුළ විශාල කණගාටුවක් ඇති කරන කාරණයක් වනු නිසැක ය.

‘ජවාන්’ නයන්තාරාගේ රංගන දිවිය තුළ විශේෂත්වයක් ගන්නා සිනමා නිර්මාණයක් බව ද මෙහි දී සඳහන් කළ යුතු වේ. මන්ද යත් එය ඇය රඟපාන පළමු හින්දි චිත්‍රපටය වන බැවිනි. මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කරන ඇට්ලි කුමාර් ද මෙයට පෙර හින්දි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කර නැත. ඒ නිසා ‘ජවාන්’ ඔහුට ද විශේෂ චිත්‍රපටයක් වේ.

ජුනි මාසයේ ‘ජවාන්’ තිරගත වුවහොත් එය මෙම වසර තුළ තිරගත වන ෂාරුක්ගේ දෙවැනි චිත්‍රපටය වනු ඇත. ‘පතාන්’ ප්‍රදර්ශණය ආරම්භ කළේ ජනවාරි මාසයේ යි. මෙම චිත්‍රපට දෙකට අමතරව ෂාරුක්ගේ තවත් චිත්‍රපටයක් ද මෙම වසර තුළ තිරගත වීමට නියමිතව තිබේ. ඒ රාජ්කුමාර් හිරානි අධ්‍යක්‍ෂණය කරන ‘දුන්කි’ චිත්‍රපටය යි. එය ප්‍රදර්ශණය ආරම්භ කරනු ඇත්තේ දෙසැම්බර් මාසයේ ය.

නිහාල් පීරිස්

රසගඟුල