සංස්කෘත බසින් පිච්ච මලට කියන්නේ ගණිකා කියලා – “අපභ්‍රංස” නම් තබා දරුවන් අමාරුවේ දාන්න එපා

මීට දශක කිහිපයකට පෙර එතරම් සුවිශේෂ කටයුත්තක්ව නො තිබූ දරුවන්ට නම් තැබීම අද වන විට සුවිශේෂීතම කාරියක් සේ බොහෝ දෙනෙක් සිතති. විශේෂයෙන්ම මේ තත්වය පැන නැගී ඇත්තේ නූතන සමාජයේ මධ්‍යම පන්තිය නමින් හැඳින්වෙන සමාජමය පැළැන්තිය මෑත භාගයේ සීග්‍ර ලෙස පුළුල් වීම නිසා ය.අප රටේ දරුවන්ට තැබෙන නම් මෑත කාලීනව කෙමෙන් විකාශනය වූ අන්දම අතීතයේ එක් එක් වකවානුවල දරුවන්ට තැබුණු නම්වලින් තරමක් අවබෝධ කරගත හැකිය. ඒ සම්බන්ධයෙන් ආසන්නම නිදසුන වනුයේ විසිවැනි සියවසේ මුල් කාර්තුවේ ජනප්‍රියත්වයට පත් ‘දාස’ ‘සේන’ ‘පාල’ ආදී වශයෙන් ප්‍රචලිත වුණු නම් එම සියවසේ පසුකාලීනව නිමල්, විමල්, සුනිල්, සරත්, ජගත් ආදී වශයෙන් නවීකරණයට ලක් වීම ය.ඊට සාපේක්ෂව කාන්තා නම් ද වතී, ලතා ආදියෙන් මිදී සුසිලා,සුමනා ආදී වශයෙන් නවීකරණය වූ බව ද රහසක් නොවේ.

නමුදු ඉතා අකැමැත්තෙන් වුව කිව යුත්තේ අද අප සමාජයේ දරුවන්ට තැබෙන බොහෝ නම් කට පාඩම් කරගෙනවත් මතක තබා ගැනීමට අපහසු තත්වයක පවතින බව ය. අපට ඒ බව ප්‍රායෝගිකව සනාථ කරගත හැක්කේ අපට ලැබෙන ජන්ම පත්‍රවල සඳහන් දරුවන්ගේ නම් පිළිබඳ විමසා බැලෙන විට දී ය. එවිට එම දෙමාපියන් පවසනුයේ යම් යම් විශේෂිත ප්‍රකට පුද්ගලයන් ලවා රුපියල් පන්දහ, දස දහස ආදී වශයෙන් මුදල් වැය කොට දරුවාගේ ජන්ම පත්‍රය පදනම් කොට ඔවුනට ඒ නම තබා ඇති බවකි.

පසුගිය දිනයෙක මා හමුවට “සිමුදු” යන නමකින් හැඳින්වෙන දරුවකුගේ ජන්ම පත්‍රයක් යොමු විය.එහෙත්, ඒ නමේ අරුත මට වටහා ගත නොහැකි වූ බැවින් මම ඒ පිළිබඳව ඒ දරුවා ගේ පියා ගෙන් අසා සිටියෙමි.එවිට ඔහු කීයේ “සි” යන්නෙන් සිතුවිලි ද “මුදු” යන්නෙන් මෘදු යන්න ද හැඟවෙන බැවින් එම නම තුළ මෘදු සිතුවිලි ඇත්තිය යන අරුත සැඟව ඇති බවකි.මේ අතර ජ්‍යොතිර්වේදය, ශබ්ද ශාස්ත්‍රය, ශබ්ද රසය සහ අර්ථ රසය යන කරුණු හතරම සම්පූර්ණ වන බව පවසමින් එක් සිඟිති දැරියකට යොදා තිබූ අපූරු නමක් මට පසුගිය දිනයෙක හමු විය. එනම් ‘ඉජනී’ යනුවෙනි. එහෙත් බැලූ බැල්මට ඉන් පැහැදිලි අදහසක් හමු නොවන බැවින් එම ‘ඉජනී’ යන නමේ අරුත කුමක් දැයි ඒ දැරියගේ පියාගෙන් අසා සිටියෙමි. එවිට ඔහු කියා සිටියේ ‘ඉජ’ යනුවෙන් සමෘද්ධිය හා ‘නී’ යනුවෙන් කාන්තාව හැඟවෙන බැවින් ඒ නමේ අරුත ‘සමෘද්ධිමත් කාන්තාව’ සේ ගත හැකි බවය. එහෙත් මේ වන විට භාවිතයෙන් මුළුමනින්ම ඉවත්ව ඇති එබඳු පැරණි සිංහල වදන් බද්ධ කිරීමෙන් තැනෙන වර්තමානයේ කිසිදු අරුතක් පළ නොවන එබඳු නම් යෙදීම සම්බන්ධයෙන් දෙමාපියන් මීට වඩා විචාරශීලි විය යුතු බව අපගේ පෞද්ගලික මතයයි. ඒ අනුව මෙබඳු නම් දෙමුහුන් හෙවත් ඉංග්‍රීසියෙන් Highbrid නම් යනුවෙන් නම් කළ ද වරදක් නැත.

දරුවකුට නම් තැබීමේ මූලික අරමුණ වනුයේ ඒ දරුවා සෙසු දරුවන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීම හෙවත් ඒ දරුවාගේ අනන්‍යතාව ස්ථාපිත කර ගැනීම ය. එහෙත් අද වන විට ඒ තත්වය ඉක්මවා ගොස් බහුවිධ අවශ්‍යතා මත දරුවන්ට නම් තැබීම සිදු කරන බව පෙනේ. ඒ අරමුණු අතර දරුවාගේ ආයුෂ, වර්ණය හෙවත් කීර්තිය, සැපය, බලය සහ ප්‍රඥාව වර්ධනය වීම මුල් තැනක් ගන්නා බව පෙනී යයි.

දරුවන්ට නම් තැබීම පුරාණ භාරතීය ගෘහ සූත්‍රවලට අනුව මංගල්‍ය අවස්ථාවකි. පැරණි භාරතීය වෛදික ග්‍රන්ථයක් වන ශන්‍යථ බ්‍රාහ්මණයෙහි සඳහන් අන්දමට දරුවකු සඳහා සුදුසු නමක් තැබී‍මෙන් ඔහුගේ උවදුරු දුරු වීම පිණිස ප්‍රබල පිටිවහලක් ලැබේ. නමුදු පුරාණ භාරතීය ගෘහ සූත්‍රයන්හි සඳහන් අන්දමට මෙම දරුවන්ට නම් තැබීම හෙවත් නාමකරණය ද පුළුල් පරාසයක් දක්වා පැතිර යන විෂයයකි.

පැරණි භාරතීය ගෘහ සූත්‍ර අනුව දරුවකු සඳහා තැබිය යුතු නම් සතරක් පිළිබඳ සඳහන් වෙයි. එනම් නක්ෂත්‍ර නාමය, රහස්‍ය නාමය, භාවිත නාමය සහ යාඥා නාමය යනුවෙනි. මෙහි නක්ෂත්‍ර නාමය අනුව ජන්ම පත්‍ර‍යේ එන ජන්ම නැකත, ලග්නය ආදිය පදනම්ව තබන නමකි. රහස්‍ය නාමය යනු කිසි විටෙකත් භාවිතයට නොගෙන සංරක්ෂණය කර තබන නමක් වන අතර භාවිත නාමය යනු සමාජයේ ප්‍රකට කරවන නමය. මෙහි යාඥා නාමය අනුව යාග හෝම ආදී ආධ්‍යාත්මික කටයුතුවල දී යෙදෙන නම වන අතර එය ආත්ම නාමය වශයෙන් ද ඇතැම් තැනක සඳහන් වේ. යමකුගේ ආධ්‍යාත්මික ජීවිතය හා මරණින් මතු ජීවිතය ආදියේ දී වඩාත් නිකැළල් පවිත්‍ර නාමයක් අවශ්‍ය බැවින් එම යාඥා නාමය ද ඉතා වැදගත් බව පැරණි භාරතීය ගෘහ සූත්‍රයන්හි දැක්වෙයි.

මෙම නාමකරණය හා සබැඳි බොහෝ දෙනකු නොදත් ඉතා වැදගත් කරුණක් ද තිබේ. එනම් දරුවකු සම්බන්ධයෙන් සාධනීය හෝ නිශේධනීය වශයෙන් බලපානුයේ දරුවා සම්බන්ධ භාවිත නාමය මිස උප්පැන්න සහතිකයේ සඳහන් නම නොවන බව ය. මෙය භාරතීය නාමකරණයේ දී ද අතිශය වැදගත් සේ සැලකෙන්නකි. අප එසේ පවසනුයේ අද බොහෝ දෙමාපියන් තම දරුවන්ට එක්වරම උච්චාරණයට අපහසු දීර්ඝ නම් යොදන බැවිනි. අද අප සමාජයේ ‘ලකී’ යන නම සහිත බොහෝ දෙනෙක් සිටිති. එහෙත් බොහෝ විට ඔවුන්ගේ උප්පැන්න සහතිකවල දැකිය හැක්කේ ‘ලක්ෂ්මන්’ යන නාමයයි. මේ අතර එක් සන්නිවේදන ආයතනයක ‘පෙත්තා’ යනුවෙන් මිතුරන් අතර ප්‍රකට තරුණයෙක් සිටියි. එහෙත් ඔහුගේ මුල් නම ‘ප්‍රීතික්’ බව මට පසුව දැනගත හැකි විය. සිංහල භාෂාවේ ප්‍රීතික යනුවෙන් හැඳින්වෙන නම හින්දි ව්‍යවහාරයට අනුව ප්‍රීතික් නම් වෙයි. සිංහලයෙන් සේපාල යනුවෙන් හැඳින්වෙන නම හින්දි භාෂාවේ ව්‍යවහාර වනුයේ සේපාල් යනුවෙනි.

දරුවන්ට නම් තැබීමේ දී කිසිදු මතවාදයකට ගැති නොවී සියලු කරුණු පිළිබඳ සම සේ සිතා බලා කළ යුත්තක් බව අපගේ වැටහීම ය. මන්ද යත් අප දරුවාට තබන නම ඔහුගේ මුළු ජීවිත කාලයටම බලපාන්නක් වන බැවිනි. මීට කලෙකට ඉහත මේ සම්බන්ධයෙන් මා හා කතාබහකට එළැඹි පියකු කියා සිටියේ තම දියණියට සංස්කෘත භාෂා ඌරුවකට අනුව නමක් තැබිය යුතු බවකි. එහෙත්, එසේ දරුවන්ට නම් තැබීමේ දී එක් භාෂාවකට නතු වීම පමණක් නොසෑහෙන බව මම ඔහුට කීවෙමි.

ඉංග්‍රීසි භාෂාවෙන් පිච්ච මල හැඟවෙන Jasmine යන්නෙන් බටහිර නම් කොතෙකුත් තිබේ. එහෙත් සිංහලයෙන් සමන්, මාලතී, , සුමන ආදී නම් ද පිච්ච මල යන අරුත ගෙනෙයි. නමුදු පිච්ච මල හැඟවෙන සංස්කෘත වදන ඔබ දන්නවාද? එනම් ‘ගණිකා’ යන්න ය. ඒ අනුව ඔබ කිසි විටෙකත් හුදු සංස්කෘත ගැන පමණක් සිතා එවැනි නමක් නම් දරුවා නොතබනු නියත ය.

හේම ශ්‍රී අමරසිංහ

ඉරා අදුරුපට