සචින් තෙන්දුල්කාර්ගේ පුතා අර්ජුන් පළමු වරට අයි.පී.එල් තරගයකට එක් වෙයි

සචින් තෙන්දුල්කාර්ලා දෙදෙනෙක් සිටින බව ඔබ දැන සිටියා ද? බොහෝ දෙනෙකු ඒ ගැන නොදන්නා බවට සැකයක් නැත. එක්කෙනෙක් සචින් රමේෂ් තෙන්දුල්කාර් ය. අනෙකා අර්ජුන් සචින් තෙන්දුල්කාර් ය. සචින් රමේෂ් තෙන්දුල්කාර් යනු තාත්තා යි. අර්ජුන් සචින් තෙන්දුල්කාර් යනු පුතා යි. මේ දෙදෙනා ගැන මේ වෙලාවේ සිහිපත් කළේ ඔවුන් ගැන මේ දිනවල මාධ්‍ය තූළ විශාල අවධානයක් යොමු වන නිසා ය. මේ පිය පුතු දෙපල ගැන ඒ ආකාරයෙන් කතා බහක් ඇති වූයේ පුතා සම්බන්ධ කාරණයක් හේතුවෙනි. එනම් ඔහු පළමු වතාවට ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලියට එක් වීම යි.

(මේ ලිපියේ මින් ඉදිරියට අපි පියාට සචින් කියමු. පුතාට අර්ජුන් කියමු).

ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් වන සචින්ගේ ජනප්‍රියත්වය ගැන සලකා බලන විට ඔහුගේ පුතා අයි.පී.එල්. තරගාවලියට එක් වීම මාධ්‍යවලට විශාල මාතෘකාවක් වීම ගැන පුදුම විය යුතු නොවේ. අර්ජුන් මෙම තරගාවලයේ දී ක්‍රීඩා කරන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට යි. කලකට පෙර ඔහුගේ පියා ක්‍රීඩා කළේ ද එම කණ්ඩායමටම වීම විශේෂත්වයකි. මේ අනුව මෙම පියාත් පුතාත් අයි.පී.එල් ඉතිහාසය තුළ වාර්තාවක් ද පිහිටුවා තිබේ. එනම් මෙම තරගාවලිය තුළ ක්‍රීඩා කළ පළමු පිය පුතු දෙපළ ලෙසිනි. සචින් අයි.පී.එල් තරගවලට ක්‍රීඩා කළේ 2008 සහ 2013 අතර කාලයේ ය.

අර්ජුන් සහභාගි වූ පළමු අයි.පී.එල්. තරගය පැවැත්වුණේ පසුගිය 16 වැනිදා යි. එහි දී මුම්බායි ඉන්ඩියන්ස් පිල ක්‍රීඩා කළේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ය. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් අතර සුපිරි නළු ෂාරුක් ඛාන් ද කෙනෙකි. කෙසේ හෝ වේවා, එම තරගයෙන් කඩුළු පහක ජයක් හිමි කර ගැනීමට අර්ජුන්ගේ කණ්ඩායමට හැකි විය. එය අර්ජුන්ට අපූරු මතක සටහනක් වනවාට සැක නැත.

තාත්තා සුපිරි පිතිකරුවකු වුව ද අර්ජුන් වැඩි දක්‍ෂතාවක් දක්වන්නේ පන්දු යැවීමට යි. ඔහු වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩකයෙකි. කෙසේ නමුත් ඔහුගේ පළමු තරගයේදී එතරම් දක්‍ෂතාවක් දැක්වීමට අර්ජුන්ට හැකි වූයේ නැත. ඔහු තම පිළේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ ද යවන්නට ලැබුණේ ඕවර දෙකක් පමණි. ඒ ඕවර දෙකේ දී ඔහු ලකුණු 17 ක් ලබා දුන්නේය. එම ඕවර දෙකෙන් පසු අර්ජුන් පන්දු යැවීම සඳහා යොදා ගැනුණේ නැත.

ඔහු ඉන්දියාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකළත් ක්‍රීඩා සමාජ අතර පළමු පෙළ තරගවලට ක්‍රීඩා කරයි. නමුත් ඔහුගේ පියා ඒ කිසිදු තරගයක් නරඹන්නට ගොස් නැති බව සඳහන් වේ. 16 වැනිදා පැවැති අයි.පී.එල් තරගයෙන් පසු මාධ්‍ය සමග අදහස් දක්වමින් මේ බව පවසා තිබුණේ සචින්ම ය. ඔහු තම පුතු සහභාගි වන තරග නරඹන්නට නොයන්නේ එයින් අර්ජුන්ට අමතර පීඩනයක් එල්ල වන නිසා බව පෙනේ. කොටින්ම එදින අයි.පී.එල් තරගය පවා සචින් නරඹා තිබුණේ ක්‍රීඩකයන්ගේ කාමරය (Dressing Room) තුළ හැංගිලා ය. ක්‍රීඩාංගනයේ ඇති විශාල තිරය මත තමාගේ රුව දිස් වුවහොත් එය පවා අර්ජුන්ට පීඩනයක් වනු ඇතැයි සචින් කල්පනා කළ බැවිනි.

මෙම තරගය නැරඹීම සඳහා සචින්ගේ දියණිය සාරා මෙන්ම ඔහුගේ බිරිඳ අංජලී ද පැමිණ සිටියෝය. එය තෙන්දුල්කාර් පවුලේ කාටත් ඉතා සතුටුදායක දවසක් වී තිබිණි. තරගයෙන් පසු සචින් තම පුතු ගැන ට්විටර් සටහනක් ද පළ කර තිබෙනු දැකිය හැකි විය. එහි සඳහන් වූයේ මෙවැන්නකි:

‘අර්ජුන්, ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට ඔබ යන ගමනේ අද ඔබ තවත් වැදගත් පියවරක් තැබුවා. ඔබේ පියා හැටියටත්, ඔබට සහ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලෙස ආදරය කරන කෙනෙකු හැටියටත් මා දන්නවා ඔබ මෙම ක්‍රීඩාවට නිසි ගෞරවයෙන් යුතුව සලකාවි කියලා. ඒ වගේම ක්‍රීඩාවත් ඔබට පෙරලා ආදරය දක්වාවි කියලා. මේ තැනට එන්න ඔබ විශාල කැපවීමකින් මහන්සි වී කටයුතු කළා. ඉදිරියටත් ඔබ එසේ කරනු ඇති බව මා දන්නවා. මෙය සුන්දර ගමනක ආරම්භයක්. මා ඔබට සුබ පතනවා’.

පසුගිය වසරේ අයි.පී.එල් තරගාවලියේදී ද අර්ජුන් මුම්බායි ඉන්ඩියන්ස් පිලේ සංචිතයට ඇතුළත්ව සිටියේය. නමුත් එවර ඔහුට එකම තරගයකටවත් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ නැත.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්