කරණීය මෙත්ත සූත්‍රය දිනපතා සජ්ජායනා කිරීමෙන් සහ එය යන්ත්‍රයක් වශයෙන් පැළඳ ගැනීමෙන් අමනුෂ්‍ය උවදුරු මැඬලිය හැකි බවට පොදු ජන විශ්වාසයක් තිබේ.ඊට පදනම් වනුයේ එම සූත්‍ර සාරය නොව නිධාන කතාව බව නිසැක ය.එය සැකෙවින් මෙලෙසිනි. බුදුන් දවස පන්සිය නමක් භික්‍ෂූන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටීමට සුදුසු තැනක් බුදුරදුන්ගෙන් විමසා සිටියහ. එවිට උන්වහන්සේ බවුන් වැඩීමට සුදුසු අරඤඅඤ ගතෝවා, (ආරාම තූළ) රුක්‌ක මූල ගතෝවා, (රුක් සෙවනේ) සුඤ්ඤාගාර ගතෝවා (ජන ශුන්‍ය) යන ස්‌ථානවලින් එක් ස්‌ථානයක් තෝරා ගන්නා ලෙස උන් වහන්සේලාට උපදෙස් දුන්හ.ඒ අනුව උන්වහන්සේලා එක් වන ගත ගමකට වැඩම කළ අතර එහි ගැමියෝ උන්වහන්සේලාගේ අදහස මුදුන් පමුණුවා ගනු පිණිස ගම අද්දර ඇති වන පෙතක් ඊට සුදුසු බව දන්වා සිටියහ. මේ භික්ෂූන් වහන්සේලාත් ඒ වන පියසට වැඩම කර බවුන් වැඩීමට පටන් ගත්හ.
මේ වන ලැහැබ වාස භවනය කර ගත් රුක්ෂ දේවතාවෝ මේ සිල්වත් භික්ෂූන් වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬු සිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා වනයට වැඩම කිරීමෙන් පසුත් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනී ගියේ මේ භික්ෂු පිරිස දිගු කලක් වැඩ වෙසෙන බව ය.එබැවින් තම වන පෙත නැවත හිමි කර ගැනීම පිණිස භික්ෂූන් වහන්සේලා බියගන්වා එලවාදැමීමට එම රුක් දෙවිවරු නොයෙකුත් උපක්‍රම යෙදූහ. ඔවුන් විසින් අමනුෂ්‍ය රූප, මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වූ අතර ඒ ස්වාමීන්වහන්සේලාට සිත එකඟ කරගෙන බවුන් වැඩීමට ඉන් බාධා පැමිණුනි.ඒ ඔස්සේ එතැන තමන්ට වැඩ විසීමට සුදුසු තැනක් නොවන බව තේරුම් ගත් උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.
“ස්වාමීනි,අපට මේ මේ විදිහේ උපද්‍රව වලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.ඒ නිසා එතැන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ .”භික්ෂූන් බුදු හිමියන්ට කීහ.
“නැහැ මහණෙනි, එතැනමයි සුදුසු.නමුත් මේ වතාවේ නුඹලා බිය නසන ආයුධයක් අරගෙන යා යුතුයි”බුදුහු වදාළහ.
“ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”බුදුන්ගේ එම පිළිතුරින් කුතුහලයට පත් භික්ෂූන් වහන්සේලා අසා සිටියහ.
“මේ ආයුධය මෙත්තා සූත්‍රය යි.”බුදුන් වහන්සේ පිළිතුරු දුන්හ.
අනතුරුව බුදුන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වෙනත් ස්‌ථානයකට නොගොස් පෙරදී බාධා ඇතිවූ ස්‌ථානයටම ගොස් කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට නැවත භාවනාව ආරම්භ කරන ලෙස භික්ෂූන්ට උපදෙස් දුන්හ.එහි ගිය භික්‍ෂූන් වහන්සේලා මෙත්ත සූත්‍රය සජ්ජායනා කොට භාවනාවට සැරසෙත්ම ප්‍රමෝදයට පත් වෘක්‍ෂ දෙවි දේවතාවෝ පැමිණ සැම කල්හිම මේ ස්‌ථානයේ වාසය කරමින් සිල්වත් ජීවිතයක් ගතකරන ලෙස ආරාධනා කළ බව කරණීය මෙත්ත සූත්‍ර නිධාන කතාවේ සඳහන් ය.එම නිධාන කතාව එසේ වුව ද එම සූත්‍ර සාරය මඟින් පැවසෙනුයේ ඊට වඩා අතිශය සාධනීය සදාචාරාත්මක පණිවිඩයකි.
සරල සිංහල අරුත් ද සහිත කරණීය මෙත්ත සූත්‍රය මෙලෙසිනි.
1.කරණීය මත්‍ථ කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි
අරුත
1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.
2.සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො
අරුත
2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.
3.නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
අරුත
3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.
4.යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා
අරුත
4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?
5.දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
අරුත
5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?
6.නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය
අරුත
6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.
7.මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං
අරුත
7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.
8.මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං
අරුත
8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.
9.තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු
අරුත
9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.
10.දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති
අරුත
10. මිථ්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තු කාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය. යක්‍ෂ, ප්‍රේත අමනුෂ්‍ය බය දුරලීම පිණිස දේශනා කරන ලද බවක් නිදාන කතාව මඟින් පැවසෙන මෙම සූත්‍රය කෙලෙස් නිසා මිනිසා පරිපීඩනයට පත් වන අන්දමත් ඒ කෙලෙස් දුරු කර ගැනීමෙන් බුදු දහමේ එන පරම විමුක්තිය හෙවත් නිවන ලද හැකි බවත් දාර්ශනිකව ප්‍රකාශ වෙයි.ඒ අනුව එම නිධාන කතාව පසෙක තිබිය දී එම සූත්‍ර සාරය විමසන අපට වැටහී යනුයේ එම අමනුෂ්‍ය බය අනු කෙලෙස් බවය. නමුදු වර්තමානයේ බොහෝ දෙනා එය සඡ්ජායනා සූත්‍රයක් ලෙස භාවිත කරති.එහෙත් මෙහි සාරය විමසා බැලීමේ දී මනාව පැහැදිලි වන දෙයක් තිබේ.එනම් මෙහි ජීවිතයට එක් කර ගත යුතු ගුණ ධර්ම සමුදායක් ඇති බවකි.
කරණීය නම් කළ යුතු වූ යන්නයි. මෙත්ත නම් මෛත්‍රියයි. මෛත්‍රිය දැක්වීම පදනම් කර ගත් මෙම සූත්‍රයේ පුද්ගලයකු සතුව තිබිය යුතු අත්ථ කුසල ධර්ම දාහතරක් පිළිබඳව සඳහන් ය.ඒවායින් දිවි මඟ සුපෝෂණය කර ගත් පසුව මිසදිටු බවින් තොරව බෞද්ධ ආර්ය මාර්ගයේ උපරිම තලයට පැමිණිය හැකි බව එහි පැහැදිලි ලෙසම දක්වා තිබීමෙන් එය සජ්ජායනයෙන් පමණක් නිසි ඵල ලද නොහැකි ජීවිතයට ආදේශ කර ගැනීමෙන්ම ප්‍රතිඵල ලද හැකි උතුම් බුද්ධ භාෂිතයක් බව පෙනෙයි.
කදුරුපොකුණේ සුමංගල හිමි