සත්ව හිංසනය ඉස්ලාම් දහමට පටහැනි ය

saththwa2

මනුෂ්‍යයන්ගේ ආහාරය වෙනුවෙන් දිනපතා සත්තු ලක්ෂ ගණනින් සිය ජීවිත පූජා කරති. මස් පිණිස සතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් දක්වන්නේ මුස්ලිම් වරුන් ය. ඔවුන්ගේ “කුර්බාන්” නම් වූ ගව ඝාතන චාරිත්‍රයක් ද තිබේ. මේ ලිපියෙන් අප විමසා බලන්නට උත්සාහ කරන්නේ සත්ව ඝාතනය ඉස්ලාම් ආගම තුළ අනුමත වේ ද යන්න ය.

ඉස්ලාම් ආගමෙහි ආගමික නායකවරයා ලෙස සලකන්නේ නබිතුමා ය. එම ආගමට අනුව නබිත්වය යනු දෙවියන්ගේ දූත වරයකු ලෙස කිරුළු පැළඳීම ය. එය ආගමික ප්‍රචාරය සඳහා දෙවියන්ගෙන් ලැබෙන වරමකි. ඒ අනුව නබිනායක තුමා වසර 23 ක් දෙවියන්ගේ පණිවිඩ දේශනා කළ බව පැවසේ.

බුද්ධ කාලයේ රහතන් වහන්සේලා සිටි අයුරින්, නබි නායක තුමාගේ දේශනා තදින්ම අනුගමනය කරමින්, එම දේශනා ඒ අයුරින්ම මනුෂ්‍යයන් හට ඉදිරිපත් කළ අය සිටියහ. එම පිරිස හඳුන්වන්නේ සහාබා වරුන් ලෙස ය.

ඉබ්‍රාහීම් අලෙයි සලාම් තුමා ද එවැනි සහාබා වරයෙකි. එතුමා සහාබා වරයකු වීමට පෙර සාමාන්‍ය ජීවිතයක් ගත කළ අයෙකි. විවාහ වී වසර ගණනාවක් ගතවී තිබුණත් ඉබ්‍රාහිම් තුමාගේ බිරිඳ ගැබ් ගත්තේ නැත. මේ පිළිබඳව ඒ දෙදෙනාම සිටියේ කනස්සල්ලෙනි.

මේ අතර ඉබ්‍රාහිම් තුමාට නබි නායක තුමන්ගේ දේශන වලට සවන් දෙන්නට අවස්ථාව ලැබිණි. ඒ අසා මහත්සේ පැහැදීමට පත් ඉබ්‍රාහිම් තුමා ඉස්ලාම් ආගම වැළඳ ගත්තේය. ඉන්පසු දැඩි ඉස්ලාම් භක්තිකයකු බවට පත් වූ ඉබ්‍රාහිම් තුමා නබි නායකතුමන් හා සමීපව, ළෙන්ගතුව කටයුතු කරමින් එම දේශනා මනාව අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සහාබා වරයකු වශයෙන් නම් කරන ලද අතර පසුව අලෙයි සලාම් යන ගෞරව නාමයෙන් පුදනු ලැබීය. නබිනායක තුමාගේ සහාබා වරුන් සියලු දෙනාම මෙම ගෞරව නාමයෙන් පුදනු ලැබූවෝ වෙති. එම ගෞරව නාමය ලත් සියලු දෙනාගේම නම අගට අලෙයි සලාම් යන්න ද නොවැරදීම භාවිතා කළ යුතු වෙයි.

ඉස්ලාම් ආගම වැළඳගත් ඉබ්‍රාහීම් අලෙයි සලාම් තුමා ඉන්පසු දිගින් දිගටම දෙවියන්ට යාච්ඤා කරමින් තමන්ට දරුවකු ලබා දෙන ලෙස ඉල්ලා ඇත. වසර පහළොවකට පමණ පසු එතුමාගේ බිරිඳ ගැබ් ගන්නේ ඒ අනුව ය.

නිසි කල්හි දී එම මාතාව නිරෝගී දරුවකු ප්‍රසූත කළා ය. මේ අතර ඉබ්‍රාහීම් අලෙයි සලාම් තුමාගේ දෙවියන් කෙරෙහි වූ විශ්වාසය පරීක්ෂා කිරීමට දෙවියන් වහන්සේට අවශ්‍ය විණි. එවකට ඉබ්‍රාහීම් අලෙයි සලාම් තුමාගේ දරුවා වයස මාස පහක් වූ බිළිඳෙකි. දෙවියන් වහන්සේ සිය දූතවරයකු ලවා ඉබ්‍රාහිම් අලෙයි සලාම් තුමාට පණිවිඩයක් එවමින් යම් ස්ථානයක් දක්වා, එම ස්ථානයට දරුවා රැගෙන විත් ගෙල කපා මරා දෙවියන්ට පූජා චාරිත්‍ර ඉටුකරන ලෙස දන්වා සිටියේය.

වසර පහළොවක පමණ කාලයක් දරුවකු නැතිව හිඳ අවසානයේ ලබාගත් දරුවා ඉබ්‍රාහිම් අලෙයි සලාම් තුමාටත් එම බිරිඳටත් මහා මහා සම්පතක් වීම පිළිබඳව සැකයක් නැත. නමුත් එතුමා තුළ දෙවියන් වහන්සේ කෙරෙහි වූ භක්තිමත් බව සහ විශ්වාසය දරු සෙනෙහස පවා අභිබවා යන සුළු විය. කඩුවත්, දරුවාත් රැගෙන නියමිත ස්ථානයට ගිය ඉබ්‍රාහීම් අලෙයි සලාම් තුමා දරුවා ගේ ගෙල වෙන් කිරීම සඳහා කඩුව අමෝරාගෙන අත ඉහළට එසවූයේය. පුදුමයකි. ඉහළට එසවූ අත පහළට හෙළන්නට නොහැකි විය.

” මට නුඹේ දරුවාව මරා දමන්නට නොවෙයි වුවමනා වුණේ. දෙවියන් කෙරෙහි වූ නුඹගේ විශ්වාසය පරික්ෂා කරන්නයි”
එසේ පැවසූ දෙවියන් වහන්සේ එම ස්ථානයේ එළුවකු මැවීය.

“දරුවා මරන්න එපා. මේ එළුවා කපා පූජාව දෙන්න” යනුවෙන් ඉන්පසු දෙවියන් වහන්සේ ඉබ්‍රාහීම් අලෙයි සලාම් තුමා හට නියම කළහ.
ඉස්ලාම් ආගමෙහි එන කුර්බාන් නම් වූ පූජා චාරිත්‍රයේ ආරම්භය එයයි. අදටත් හජ් වන්දනාවේ යෙදෙන මුස්ලිම් බැතිමත්හු එම වන්දනාවේ අවසාන දිනයේදී මෙම පූජා චාරිත්‍රය ඉටු කරති. එහිදී එළුවන් මෙන්ම ගවයන් ද මෙම පූජා චාරිත්‍රය සිදු කිරීම සඳහා ඝාතනය කෙරේ. මෙම කුර්බාන් පූජා චාරිත්‍රය සිදු කරන්නේ හජ් උත්සවයේ දී පමණි.

ඉස්ලාම් ආගමේ සඳහන් වන අන්දමට දෙවියන් වහන්සේ හරකා සහ එළුවා මවන ලද්දේ මිනිසාගේ ආහාරය පිණිස ය. එසේ වුවද හරකෙකු මස් පිණිස ඝාතනය කිරීමේ දී ඒ සඳහා බලපාන කොන්දේසි මාලාවක් ද ඉස්ලාම් ආගමෙහි දක්වා ඇත.

ගැබිනි එළදෙනුන්, කිරි දෙන එළදෙනුන් ඇතුළු සියලුම එළදෙනුන් ඝාතනය කිරීම මේ අනුව තහනම් වේ. එසේම වසු පැටවුන්, රෝගීව සිටින සතුන්, ශාරීරිකව තුවාල වූ සතුන් ද ඝාතනය නොකළ යුතුය. මෙම මේ එම කොන්දේසි අතරින් ප්‍රධාන කීපයක් පමණි. නමුත් වර්තමානය වන විට මෙම කොන්දේසි පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවක් පෙනේ.

මෙසේ සතකු ඝාතනය කරන්නට පෙර ආගමික ගාථාවන් කිහිපයක් එම ඝාතකයා විසින් කියනු ලබයි. එහි සඳහන් වන අන්දමට සතාට වධහිංසා දී ඝාතනය කිරීම තහනම් වේ. සියලු සත්ව මාංශ හලාල් වන්නේ එම නීති රීති වලට අනුකූලව සතුන් ඝාතනය කළහොත් පමණි. හලාල් ක්‍රමය අනුගමනය නොකර මරණ සතුන්ගේ මාංශ අනුභව කිරීම ඉස්ලාම් ආගමට අනුව සපුරාම තහනම් ය. මුස්ලිම් උලමාවරුන්ගේ සංගමය විසින් පරීක්ෂා කර බලා එම නීති රීති අනුගමනය කරමින් මස් පිණිස සතුන් ඝාතනය කරන්නේ නම් පමණක් හලාල් සහතිකය නිකුත් කෙරේ. හලාල් සහතිකය නැති මාංශ සාමාන්‍යයෙන් මුස්ලිම්වරුන් අනුභවයට ගන්නේ නැත.

සුනඛයන් මුස්ලිම්වරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ඇයි?

සාමාන්‍යයෙන් මුස්ලිම්වරුන් තම නිවෙස්වල සුනඛයන් ඇති දැඩි කරන්නේ නැත. සුනඛයන්ගේ කෙළවල තිබෙන එක්තරා බැක්ටීරියා වර්ගයක් නිසා සුනඛයකු ලෙව කෑ විට ඕනෑම අමනුෂ්‍ය බලවේගයක් සිරුර තුළට යා හැකි බවට විශ්වාසයක් තිබේ.
එසේම සුනඛයා ගේ ඇස්වල කබ පිරුණු විට ඕනෑම අමනුෂ්‍ය බලවේගයක් දැකගැනීමේ හැකියාව සුනඛයාට ඇති බවට ද විශ්වාසයක් ඇත. මේ නිසා යම් අයුරකින් සුනඛයාගේ කෙළ සමෙහි ස්පර්ශ වුවහොත් මුස්ලිම්වරුන් ඉස්ලාම් ආගමෙහි එන එක් ගාථාවක් හත් වතාවක් කියා එම ස්ථානය සෝදා හැරිය යුතු ය.

නමුත් සුනඛයන්ට පහර දෙන්නට, අඩන්තේට්ටම් කරන්නට කිසි විටෙකත් ඉස්ලාම් ආගමෙහි අවසර දී නැත.එය විශේෂයෙන් කිව යුත්තකි.
නබිතුමාගේ දේශනාවන් දක්වන හදීස්වල එක් ස්ථානයක මෙවැනි සඳහනක් තිබේ.

එක්තරා ගණිකාවක් කාන්තාරයක් මැදින් ගමන් කරද්දී කුසගින්න සහ පිපාසය නිසා අධික ලෙස පීඩා විඳිමින් වේදනාවෙන් දඟලන සුනඛයකු දැක ඇත . එම සතා කෙරෙහි මහත් අනුකම්පා උපදවා ගත් එම කාන්තාව සතාට වතුර දී උගේ පිපාසය සංසිඳවූවා ය. මෙම පින් බලය හේතුවෙන් ඇගේ සියලු පව්වලට සමාව දී ඇය මරණින් මතු දෙවියන් විසින් ස්වර්ගයට කැඳවා ගත් බව එහි වැඩිදුරටත් සඳහන් වේ. එබැවින් සුනඛයන් ළඟට ගැනීම ඉස්ලාම් ආගමෙහි තහනම් වුවත්, දුරින් හිඳ සුනඛයන්ට කෑම බීම ආදිය දීම සහ කරුණාව දැක්වීම ඉස්ලාම් ආගම ට සම්පූර්ණයෙන්ම එකඟ ය. මේ බව නොදැන ඇතැම් මුස්ලිම්වරු සුනඛයන් ට පහරදී එළවා දැමීම ආදිය කරති. මෙය පාප ක්‍රියාවකි.
ඉස්ලාම් ආගමෙහි බළලුන්ට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. ඒ අනුව බළලුන්ට හිරිහැර කිරීම, හානියක් කිරීම ඉස්ලාම් ආගමට අනුව සම්පූර්ණයෙන්ම තහනම් ය.

යම් නිවසක බළලෙකු ඇති දැඩි කරයි ද එම නිවෙසට දේවතාවන් ඇතුල්වෙන බව ඉස්ලාම් ආගමෙහි සඳහන් වේ. බළලාගේ කෙළ ශරීරයේ ස්පර්ශ වීම අමනුෂ්‍ය බලවේග වලට එම ශරීරයට ඇතුල්වීම වළක්වාලයි. ඒ අනුව බළලාගේ තිබෙන්නේ සුනඛයාගේ ප්‍රතිවිරුද්ධ පැත්ත ය. බළලුන් ඇතිදැඩි කිරීම ඉස්ලාම් ආගමෙන් අනුමත කෙරේ. බළලුන් ට වද හිංසා කිරීම තහනම් ය. බළලුන් අප ළඟ දැවටීම තුළින් අපට ආරක්ෂාවක් සැලසෙන බව කුරානයෙහි සඳහන් වේ. බළලුන් අප ළඟ දැවටෙමින් පුරු පුරු හඬ නගන විට එම සතාගෙන් තරංගයක් පරිසරයට එක් වෙයි. එම තරංග සිරුරට ඇතුළු වීම තුළින් විශාද රෝගය තිබේ නම් එය සුවපත් වීම, අප තුළ තිබෙන සෘණාත්මක සිතිවිලි ඉවත් වී ධනාත්මක සිතිවිලි ඇතිවීම සහ අපගේ රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් වීම වැනි අපට හිතකර බොහෝ ප්‍රතිලාභ හිමි වෙයි.මීට වසර එක්දහස් පන්සියයකට පෙර නබිතුමා විසින් ප්‍රකාශ කරන ලද මේ දේවල් නවීන විද්‍යාවෙන් ද සනාථ වී තිබේ. බළලුන්ට නබිතුමා කෙතරම් සැලකිල්ලක් දක්වා තිබේ ද? යන්න තහවුරු කරගත හැකි සාක්ෂියක් මෙසේය. නබිතුමාගේ නිවසේ ඇති දැඩි වන බළලා වරක් එතුමා ගේ කමිසයක එක අතක් උඩ නිදාගෙන හිඳ තිබේ. සතාගේ නින්දට බාධාවක් නොවන අයුරින් එම කමිසය එතැනින් ඉවත් කර ගැනීමට නොහැකිව නබි නායක තුමා කර ඇත්තේ එම අත කපා කමිසය ඉවතට ගැනීම ය. නබි නායක තුමා මෙලොව පහළ වී දේශනා කරන්නටත් පෙර සිට ම බළලාට ඇතැම් ආගම්වල ඉතා ඉහළ සැලකුම් හිමිව තිබේ. එය වසර තුන්දහසකට පෙර ඊජිප්තුවේ සෑම නිවසකම බළලකු ඇති කිරීමට රජතුමා විසින් නියම කර ඇති අතර යම් කිසිවෙක් බළලකු මරා දැමුවහොත් එම පුද්ගලයාට හිමි වූයේ මරණ දඬුවමයි.

මෙලෙස සතුන් ට සැලකීමෙන් ඇති වන යහපත් ප්‍රතිවිපාක නබි තුමා සිය දේශනාවල පැහැදිලිව දක්වා ඇත. ඒ නිසා සතුන්ට සලකන ආකාරය සහ තිරිසන් සතුන් සම්බන්ධයෙන් මිනිසුන් තුළ පවතින ආකල්ප වෙනස් කළ යුතු ය. මිනිසුන් හා සම අයිතියක් සතුන්ට ද තිබේ. එය අලියෙකුට මෙන්ම කූඹියාට ද සමාන වූ අයිතිවාසිකමකි. වධ හිංසාවට ලක් කිරීමේදී ආත්මයට දැනෙන වේදනාව මිනිසාට මෙන්ම තිරිසන් සතාට ද පොදු ය. මදුරුවාට කූඹියාට පවා එය එලෙසින්ම පොදු බව අමතක කළ යුතු නොවේ. ඒ නිසා උසස් මනැසක් ඇති මිනිසාට, තිරිසන් සතුන් ව රැක බලා ගැනීමේ පරම අයිතියක් තිබේ. මිනිසුන්ට කතා කරන්නට පුළුවන. කුසගින්න ඇති වූවිට කෑමට යමක් තමන් සතුව නොමැති නම් තව කෙනෙකුගෙන් ඉල්ලා ගැනීමට පුළුවන. සතුන්ට එවැනි හැකියාවක් නැත. නමුත් කුසගින්නේ වේදනාව මිනිසාට සේම කූඹියාට ද පොදු ය. ඒ නිසා මිනිසුන් සතුන්ට සලකන ආකාරය වෙනස් කළ යුතු වෙි. අසරණ සතුන්ට සැලකීම තුළින් ඇතිවන පිනෙහි බලයෙන්, පාපයේ බලය අඩු වී යයි. සතුන්ට සලකන මිනිසුන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිතැතින්ම හිමි වෙයි. මේ බව නබි තුමා සිය දේශනාවලදී පැහැදිලිවම දක්වා ඇති බව හදීස්වල සඳහන් ය.

සාමාන්‍යයෙන් කුරානයෙහි සඳහන් වන්නේ ආගමික නීති රීති, නබිතුමා ජීවත් වූ ආකාරය, ලෝකයේ මනුෂ්‍යයන් ජීවත් විය යුතු ආකාරය , දෙවියන් වහන්සේව වන්දනය කළ යුතු ආකාරය වැනි දෑ ය. නබිතුමාගේ අත්දැකීම්, විවිධ සිදුවීම්, දෙවියන් මගින් ලැබෙන පණිවිඩ, නබිතුමා ජීවත් වූ ආකාරය ආදී අනෙකුත් සියලු දෑ අඩංගු වන්නේ හදීස් වල ය. ඒ අනුව කුරානයේ සඳහන් වන ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් විස්තර හදීස්වල අඩංගු වේ. ඒවායෙහි විස්තර වන ආකාරයට සතුන්ට සැලකීම ඉස්ලාම් ආගමෙහි ඉතා ඉහළින් අගය කර ඇත.

රිම්ශාන් ශහීඩ්

එතෙර - මෙතෙර