මනසින් උසස් යන අරුතින් අපට මිනිසා යන වදන හිමිවී තිබුණත්, මිනිසුන් වෙසින් සිටින නොමිනිසුන් ඕනෑ තරම් මෙම සමාජය තුළ දැකගත හැකිය. මිනිසුන් එලෙස තිරිසනුන් ලෙස හැසිරෙන විට, මිනිසුන් ලෙසින් හැසිරෙන තිරිසනුන් සිටියත් මාධ්‍ය මගින් ඒවා අනාවරණය වන්නේ ඉතා කලාතුරකිනි. නමුත් එවැනි උතුම් ගතිගුණ ඇති තිරිසන් සත්තු අතීතයේ ද සිටියහ. අද ද සිටින අතර හෙට ද එහි වෙනසක් නොමැති වනු ඇත. 1950 දශකයේ දී තම රංචුව වෙනුවෙන් දිවි පිදූ පනාමුරේ හස්තියා මෙයට එක් නිදසුනක් පමණි. එසේම තම හාම්පුතාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිතය පූජා කළ, හාම්පුතා හදිසි අනතුරුවලින් බේරාගත්, හාම්පුතාට අනතුරක් සිදු වූ විට ක්ෂණිකව එය පවුලේ අයට දැන්වූ, හාම්පුතා නිවසට එනතුරු මිය යන තෙක් ම එකම තැනකට වී බලා සිටි සුනඛයන් පිළිබඳ කතා ද ලෝකය පුරා පවතී.
සතුන්ට මෙවැනි උතුම් ගතිගුණ පිහිටන්නේ ඔවුන් අප සිතනවාට වඩා ඉහළ බුද්ධි මට්ටමක සිටින නිසා ය. මේ ගැන ඇතැමුන් නොසිතන නිසා හෝ එවන් පුද්ගලයන් තුළ තිබෙන තිරිසන් ගතිගුණ නිසා හෝ ඔවුන් අතින් සතුන්ට හිංසා පීඩා සිදුවේ. අතීතයේ සතුන් කෙරෙහි එතරම් සංවේදී නොවූ බටහිර ජාතීහු වර්තමානය වන විට ආසියානුවන් වන අපටත් වඩා හොඳින් සතුන් ගැන සිතන්නට පෙළඹී සිටිති. එනිසාම සතුන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය පිළිබඳ අණ පනත් ඔවුන් අකුරටම ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ. වර්තමානය වන විට එබඳු රටවල තිබෙන නීති රීති වලට අනුව කිසියම් පුද්ගලයෙක් තමන්ගේ නිවසේ ඇති කරන සුනඛයාට අකාරුණික ලෙස සැලකුවහොත් ඔහුට විශාල දඩ මුදලක් පවා ගෙවීමට සිදු වනු ඇත. නමුත් අවිහිංසාව මුල්කරගත් දහමක් අදහන බෞද්ධ අපේ රටේ තවමත් එවැනි රටවල පවතින සත්ව හිමිකම්වලින් දහයෙන් පංගුවක්වත් ක්‍රියාත්මක නොවීම කණගාටුවට සේම ලජ්ජාවට ද කරුණකි.
සතුන්ගේ මානසිකත්වය පිළිබඳව බෞද්ධ ජාතක කථා තුළින් පවා විස්තර වුවද මේ පිළිබඳව පර්යේෂකයන් දිගින් දිගටම සෙවීමට පටන් ගත්තේ චාල්ස් ඩාවින්ගේ විද්‍යාත්මක පර්යේෂණවලින් පසුව ය. සතුන්ගේ හැසිරීම් රටා සහ සංජානනය පිළිබඳව විශේෂයෙන් පර්යේෂණ කළ ඇමරිකානු සත්ව විද්‍යාඥවරියක, විශ්වවිද්‍යාල මහාචාර්යවරියක ද වන අයර්න් මැක්සින් පෙපර්බර්ග් ගේ( Irene Maxine Pepperberg ) විද්‍යාත්මක පර්යේෂණය මේ සම්බන්ධයෙන් අනාවරණය කරගත් විචිත්‍රවත් තොරතුරු රාශියකින් යුතුය.
ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වූ අයර්න් පෙපර්බර්ග් මිනිසුන්ට වගේම සිතන්නට සතුන්ටත් හැකි බව සිය පර්යේෂණ මගින් ඔප්පු කිරීමට සමත් වූවාය. ඇගේ කතාව මුල දී බොහෝ දෙනෙක් විශ්වාස කිරීමට පවා මැලි වුණි.
අයර්න් සිය පර්යේෂණය සඳහා අප්‍රිකානු අලු ගිරවෙකු සුරතලයට ඇති කරන්නට පටන් ගත්තාය. ගිරවාට ඇලෙක්ස් යනුවෙන් නමක්ද තැබිණි. තම පර්යේෂණාගාරයට ඇලෙක්ස්ව රැගෙන ගිය අයර්න් ඉංග්‍රීසි භාෂාවේ විවිධ ශබ්ද නගන හැටි ගිරවාට ටිකෙන් ටික පුරුදු කළාය. ගිරවාට කතා කරන්නට හැකි වුණොත් එම සතා මේ ලෝකයේ අත්දකින දේවල් ගැන සිතන අන්දම තමාට විස්තර කරාවි යන විශ්වාසයක් අයර්න් ට තිබිණි.
මඳ කලකින්ම ඇලෙක්ස් ඉතා හොඳින් ඉංග්‍රීසි වචන කතා කරන්නට විය. අයර්න් ගේ මෙම උත්සාහය පලකට නැති දෙයක් ලෙස බොහෝ දෙනෙක් පැවසුවද ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකළ ඇය ඇලෙක්ස්ට තව ගිරව් යහළුවන් දෙදෙනෙකු ගෙනැවිත් දුන්නේ තම පර්යේෂණයේ තවත් එක් අදියරක් ලෙසිනි.
දිනක් අයර්න්, ඇලෙක්ස් සමග වේදිකා නාට්‍යයක් නරඹන්නට ගියාය. හොඳින් ඉංග්‍රීසි වචන කතා කිරීමට හුරු වී සිටි ඇලෙක්ස් , අයර්න් සමග හිඳිමින් නාට්‍යය නැරඹුවේය. එය අවසානයේ අයර්න් සමඟ නැවත ගෙදර පැමිණි ඇලෙක්ස් එම වේදිකා නාට්‍යයේ තමාගේ මතකයේ රැඳුණු කොටස් අනෙක් ගිරව් යහළුවන් දෙදෙනාට රඟපා පෙන්වීය.
ගිරවකු වැනි කුඩා සතෙකුට එවැනි දෙයක් මතකයේ තබාගෙන එය ප්‍රතිනිර්මාණය කර පෙන්වීමට විශේෂ බුද්ධියක් තිබිය යුතුය. අප මිනිසුන්ගේ බුද්ධි ඵලය (IQ) පිළිබඳව කතා කළත් සතුන්ගේ එවැනි දේවල් පිළිබඳව කතා කරන්නේ නැත.නමුත් නවීන පර්යේෂණ මගින් හෙළි වී තිබෙන්නේ සෑම සතෙකුටම කිසියම් ප්‍රමාණයක බුද්ධි ඵලයක් තිබෙන බවය. ඔබ ඇතිදැඩි කරන සුරතල් සුනඛයා පමණක් නොව, මහමග සිටින සුනඛයකු වුව කෑම වේලක් දෙනවිට කෘතඥතා පූර්වකව ඔබ දෙස බලමින් වලිගය වනන්නේ උගේ ජානමය පුරුද්ද නිසා නොවේ. තමාට ආදරය කරන්නේ කවුද යන හැඟීමක් ඕනෑම සුනඛයකු තුළ පවතී. ඒ වෙනුවෙන් එම සතුන් කෘතඥතාවය පළ කරන්නේ ඔවුන් තුළ යම්කිසි අවබෝධයක්, බුද්ධි මට්ටමක් පමණක් නොව කෘතවේදීත්වය නම් උතුම් හැඟීම පිළිබඳ අවබෝධයක් ද තිබෙන නිසාය.
එනිසා තිරිසන් සතුන් යනු කෑම බීම පමණක් ගැන සිතන හිතක් පපුවක් නැති ප්‍රාණීන් පිරිසක් යනුවෙන් කිසිවකු සිතන්නේ නම් ඒ අදහස වහා වෙනස් කරගත යුතු බව විශේෂයෙන් සඳහන් කරමු.
ඉන්දු පෙරේරා