සතුන් ගේ ශරීර කොටස් ආහාරයට නොගෙන නිරෝගීව ඉන්න කායික ශක්තිය උපදවා ගන්න බැහැ කියන එක බොරුවක් බව තහවුරු කරන්න මාවම උදාහරණයකට ගන්න පුළුවන්! – ප්‍රවීණ රංගවේදී බුද්ධදාස විතානාරච්චි

buddhadasa

බුද්ධදාස විතානාරච්චි අපට සිටින ඉතාමත්ම දක්ෂ චරිතාංග නළුවෙකි. සිය රංගන හැකියාවන් උදෙසා සම්මානවලින් ද පිදුම් ලැබූ ඔහු , මේ වන විට ජීවත් වන්නේ සිය බිරිඳ සමග ඕස්ට්‍රේලියාවේ ය. ඒ ඔවුන්ගේ දරුවන් තිදෙනාම ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින නිසා ය.
මේ කතා කරන්නට යන්නේ බුද්ධදාස විතානාරච්චි නම් දක්ෂ, ජනප්‍රිය, චරිතාංග නළුවා පිළිබඳව හෝ ඕස්ට්‍රේලියාවේ ඔහු දැන් ගත කරන ජීවිතය පිළිබඳව නොවේ. මෙතෙක් බොහෝ විට ඔහු හා සාකච්ඡාවට ලක් කර නොමැති සත්ව අවිහිංසාව පිළිබඳ ව ඔහු දරන මතවාදයන් ගැනයි.

සත්ව අවිහිංසාව අගයන සමහරුන් එසේ කරන්නේ පන්සිල් පද වල පළමු සිල්පදය එය වන නිසා ය. තවදුරටත් පැවසුවහොත් බුදුදහමේ එය අකුසලයක් සහ පවක් ලෙස විස්තර වන නිසා ය. තවත් සමහරුන් අවිහිංසාවාදීන් වී සිටින්නේ රටට පෙනෙන්නටය . මෙමඟින් සතුන්ගේ ජීවිත ආරක්ෂා වේ නම් එය වෙනම කාරණයකි. නමුත් ඔවුන්ගේ ඒ ප්‍රතිපත්තිය යම් යම් හේතුන් උඩ බිඳෙන අවස්ථාද නොතිබේ යැයි කිව නොහැකිය. එසේ වුවද අවිහිංසාව යන්න බුද්ධියට අනුව විග්‍රහ කර ගනිමින් එහි හරය අවබෝධ කරගත් පුද්ගලයා වෙතින් කිසිදු හිංසාවක් සිදු වන්නේ නැත.

බුද්ධදාස විතානාරච්චි නිර්මාංශාහාරිකයෙකි.

“ඒකට විශේෂ හේතුවක් බලපෑවාද ? එහෙම නැත්නම් ඔබේ දෙමව්පියනුත් මස් මාංශ ප්‍රතික්ෂේප කළ අය ද?”
මම ඔහුගෙන් විමසුවෙමි.
” මගේ මව මස් පරිභෝජනයෙන් සම්පූර්ණයෙන්ම තොරයි. අපේ ගෙදරට මාළු කරවල වගේ දේවල් නම් ගෙනාවා තමයි. නමුත් හරක් මස් නම් කවදාවත් ගෙනාවේ නෑ. අඩුම තරමෙන් මගුල් ගෙදරකටවත් හරක් මස් නොගෙන ඉන්න මගේ දෙමව්පියන් ප්‍රවේශම් වුණා. නමුත් මම ඒ කාලේ නිර්මාංශාහාරිකයෙක් නොවෙයි”
නංගිලා දෙදෙනෙකුට සහ මල්ලිලා තිදෙනෙකුට අයියා වූ බුද්ධදාස විතානාරච්චි පවුලේ වැඩිමහල් දරුවා ය. කෑගල්ලේ දැදිගම කොට්ඨාශයේ අල්පිටිය සිය දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් සමඟ ඔහු හැදී වැඩුණු ගම . අධ්‍යාපන කටයුතු කළේ කෑගල්ලේ ශාන්ත මේරි විද්‍යාලයෙනි. පාසලට යාමේ පහසුව තකා ඔහු කෑගල්ලේ නිවසක නතර කරන්නට දෙමාපියෝ කටයුතු යෙදූහ.
” මම මස් මාංශවලට කොහොමටවත් ප්‍රිය නොකළත් මගේ නවාතැන් ජීවිතයේදී මට දෙන දෙයක් කනවා මිසක කෑම තෝරලා බේරලා කන්න හැකියාවක් තිබුණෙ නෑ ”
නේවාසික ජීවිතයෙන් කලකට පසු ඔහු මස් මාංශ අනුභවය සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇත. ඒ සඳහා විශේෂයෙන් බලපෑ තවත් හේතුවක් තිබිණි.

එකල ඔහුගේ හිතවතෙකු හදිසියේ මිය ගොස් තිබේ. මල් ශාලාවෙහි එම හිතවතා ව එම්බාම් කරන ආකාරය ඔහුට සියැසින් දැක ගන්නට අවස්ථාව ලැබී තිබිණි. සමෙන් වැසී ඇති මෙම ශරීරය ඇතුළත තිබෙන ඉන්ද්‍රියයන් ගේ ඇතැම් කොටස්, බඩවැල් ආදිය කපා වෙනම ගොඩ ගසද්දී සතුන්ගේ තිබෙන්නේත් මෙවැනිම ශරීර කොටස් නොවේදැයි ඔහුට කල්පනා විය. එසේම තවත් අවස්ථා දෙකකදී මිනිසකු මෙන්ම හරකෙකු ද දුම්රියේ හැපී සිරුරු කෑලිවලට කැපී සුනු විසුනු වී යන ආකාරය ද ඔහු දැක තිබිණි.

මෙවැනි බිහිසුණු සිදුවීම් සියැසින් දැකීම තුළින් ඇති වූ කම්පනය මත සතුන්ගේ හෝ මිනිසුන්ගේ වුවද ලෙයින් මසින් සැදුන මේ ශරීරය පිළිබඳව ඔහුට දැනුනු එකම හැඟීම වූයේ මෙය පිළිකුල් භාවනාව වැඩීමට උචිත කමටහනක් මිස අන් කිසිවක් නොවේය යන්න ය. එසේම ඊ. ඩබ්ලිව්. අදිකාරම් මැතිඳුන්ගේ නිර්මාංශ ආහාර පොතපත කියවීමෙන් ද ඔහු තවදුරටත් මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා ගත්තේය.
අනෙක් අතට බලන විට මිනිසුන් සේම සියලු තිරිසන් සතුන් ද සොබාදහම විසින් මේ මහපොළොවට දුන් දායාදයන් ය. මනුෂ්‍යයෙකුගේ ශරීරයේ තිබෙන බාහිර අංග සේම එම ඉන්ද්‍රියයන්ම ඔවුන් තුළත් ඇත. අපට දැනෙන බඩගින්න, පිපාසය, නිදිමත ඔවුන්ටත් එලෙසින් ම පොදු ය. අනෙක් අතට භාවමය පැත්ත ගැන බලන කල ආදරය, දරු සෙනෙහස, දුක, වේදනාව, ලිංගික ආශාව, මරණයට ඇති බිය, රංචුව පිළිබඳ හැඟීම එනම් අප මෙන්ම තමන්ගේ ඥාතීන් හිතවතුන් කෙරෙහි තිබෙන ඇල්ම යන මේ සියලු හැඟීම් සතුන් තුළත් තිබේ. එසේ නම් අපගේ ආහාරය උදෙසා ඔවුන්ගේ ජීවිත උදුරා ගැනීමට අපට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්දැයි ඔහු කල්පනා කළේය.

එසේම තවත් අමතක නොකළ යුතු දෙයක් තිබේ. සතෙක් මරණ විට උගේ වකුගඩු අක්‍රිය වෙයි. එවිට සතාගේ රුධිරයෙහි යූරික් ඇසිඩ් වැඩි වන අතර ඒවා උගේ මස්වල තැන්පත් වෙයි. මස් ආහාරයට ගන්නා මිනිසුන් ගේ ශරීරයේ ද ඒවා තැන්පත් වීම සිදුවනු ඇත. මස් වැඩිපුර අනුභව කරන අයගේ දහඩිය, මුත්‍රා සේම මල ද දැඩි දුර්ගන්ධයකින් යුතුය. එසේම ඔවුන් කතා කරන විට මුවින් ද දුගඳක් හමයි. ඒ මෙවැනි හේතූන් නිසා ය.නමුත් මිනිසුන් යනු සර්වභක්ෂක සත්වයන් වන බැවින් මස් මාංශ නොගෙන සිටීම තුළින් පෝෂණය සම්බන්ධ ගැටලු පැන නැගිය හැකි යැයි ඇතැම්හු විශ්වාස කරති. මා එම පැනය නැගූ විට ඔහු දුන්නේ මෙබඳු පිළිතුරකි.

” මස් මාංශ කියන්නේ විෂ සහිත දෙයක්. ඕනෑම සතෙකු මරණ විට ඒ සතා කායිකවත් මානසිකවත් දැඩි වේදනාවකින් දඟලනවා උගේ ජීවිතය බේරාගන්න. ඒක තිරිසන් සතුන්ට වගේම මනුෂ්‍යයකුටත් පොදු දෙයක්. කොටින්ම සියදිවි නසාගන්නට යන මනුෂ්‍යයකු වුවත් තමන් ගේ දිවි තොර වෙන්නට එන බව දැනුනම අන්තිම මොහොතේ දඟලනවා මරණයෙන් බේරෙන්න. ඉතින් මිනිසුන් විසින් මරා දමනු ලබන මේ අසරණ සතෙකුට දැනෙන වේදනාව ගැන කවර කතාද? ඒ මොහොතේ දී ඒ සතා තුළ ඇති වන දැඩි වේදනාව, දුක සහ තරහ වැනි අහිතකර මනෝභාවයන්ගෙන් සිත දූෂ්‍ය වන විට සතාගේ රුධිරයද විෂ සහිත වෙනවා. මිනිසුන් එක එක ආකාරයට සකස් කර ආහාරයට ගන්නේ මෙවැනි විෂයි. මස් මාංශ වලින් මිනිසුන්ගේ ශරීර ශක්තිය සහ ඉන්ද්‍රියයන් සඳහා වන පෝෂණය වැඩි වෙනවා කියන එක මේ අනුව පිළිගන්න පුළුවන්ද ? මේ වගේ විෂ දේවල් ආහාරයට නොගත්තට අපට ආහාරය සඳහා ගන්නට ඇට වර්ග, මල් වර්ග, වැල් වර්ග, අල වර්ග, කොළ වර්ග, කරල් වර්ග කොතරම් තිබෙනවාද ? ඔබ දන්නවාද කඩල, පරිප්පු, මුං ඇට වැනි වියලි බෝග කුලයට අයත් ඇට වර්ග එක්දාස් දෙසීයක් අපට ආහාරය සඳහා තිබෙන බව ” ඔහු පැවසීය. මට අවසන් වශයෙන් බුද්ධදාස විතානාරච්චි වෙතින් විමසන්නට තිබුණේ තව එකම එක පැනයකි.

” ඔබට ඔබේ නිරෝගීකම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?”

” සත්තකින්ම ඔව්” එසේ පැවසූ ඔහු දීර්ඝ විස්තරයක් කළේය.

“මම නිර්මාංශ ආහාර ගන්නා කෙනෙක් වගේම මත්පැන් සහ දුම්පානයෙන් සහමුලින්ම තොර යි.
මට වර්තමානයේ විශේෂයෙන් වැඩිහිටි වයස්වල අයගේ බහුලව දක්නට ලැබෙන අධි රුධිර පීඩනය, කොලොස්ටරෝල්, දියවැඩියාව ආදී කිසිදු රෝගයක් නෑ. මම පැරසිටමෝල් පෙත්තක්වත් මතක ඇති කාලෙකින් අරගෙන නෑ. මගේ වයස අවුරුදු හැත්තෑ හයක්. නමුත් මට තරුණයකුට වගේම දුවපැන ඇවිදල ඕනෑම වැඩක් කරන්න පුළුවන් ශක්තිමත් ශරීරයක් තිබෙනවා.ඒ අනුව සතුන් ගේ ශරීර කොටස් ආහාරයට නොගෙන නිරෝගීව ඉන්න කායික ශක්තිය උපදවා ගන්න බැහැ කියන එක බොරුවක් බව තහවුරු කරන්න මාවම උදාහරණයකට ගන්න පුළුවන් නේ.අනික මගෙ බිරිඳ හේමමාලා පුතා සිද්ධාර්ථ  දෙන්නම සම්පූර්ණ  නිර්මාංශිකයි.පුතා කවදාවත්ම මස් කාලා නෑ.මම චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගන්නවා, පිළිපදිනවා, ඒවා අනුව ජීවත් වෙනවා. නමුත් මම විඥානවාදියෙක් නොවෙයි. බුදු දහමේ හරය අවබෝධ කරගෙන මම ඒ අනුව ජීවත් වෙන කෙනෙක්. මේ නිසා මගේ සිතත් නිරෝගීයි. ශරීරයත් නිරෝගීයි. ඉතාම සැහැල්ලු මනසකින් මම ජීවත් වෙනවා.”

ඉන්දු පෙරේරා

 

 gossip news

සතුන්ටත් හිමි අපේ ලෝකය