සඳ මත ගොඩ බැස ඉතිහාසගත වූ ඉන්දියාව හිරු ගවේෂණයටත් යානාවක් යවයි

lanka c news sinhala

ඉන්දියාව මේ දිනවල අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වන රට බවට පත්ව තිබේ. සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපය මත යානයක් ගොඩ බැස්ස වූ පළමු රට බවට පත් වෙමින් ඉතිහාසගත වූ ඔවුන් එයින් දින කිහිපයකට පසු දැන් තවත් ජයග්‍රාහී පියවරක් තබා ඇත. එනම් සූර්යයා ඉලක්ක කර තවත් යානයක් අභ්‍යවකාශගත කිරීම යි. මෙය විශේෂත්වයක් ගන්නේ සූර්යයා පිලිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාව යැවූ පළමු යානය මෙය වීම නිසා ය.

ආදිත්‍ය-එල් 1 (Aditya- L1) යනුවෙන් නම් කර ඇති මෙම යානය අන්ද්‍රා ප්‍රදේශ් හි ශ්‍රීහරිකොතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරුණේ සෙනසුරාදා පෙරවරු 11.50 ට ය. ආදිත්‍ය යනු හින්දු සංස්කෘතිය තුළ හිරු දෙවියන්ට කියන තවත් නමකි. මෙම යානය සූර්යයා පිලිබඳව සිය අධ්‍යයනයන් සිදු කිරීමට නියමිතව ඇත්තේ පෘථිවියේ සිට කි.මී. මිලියන 1.5 ක් පමණ දුරින් පිහිටි කලාපයක රැඳී සිටිමිනි. එම ස්ථානය හැඳින්වෙන්නේ Lagrange Point 1 යන නමිනි. එය සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය සහ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය එකිනෙකින් අහෝසි වී යන කලාපයක පිහිටියකි. ඒ නිසා ආදිත්‍ය-එල් 1 යානයට එවැනි ගුරුත්වාකර්ශණයක බලපෑමෙන් තොරව පාවෙමින් සිටින්නට හැකියාව ලැබෙන බව සඳහන් වේ. ආදිත්‍ය-එල් 1 යන නමෙහි එල් 1 (L 1) යන්නෙන් හැඟවෙන්නේ Lagrange Point 1 යන්නයි.

ඉහත කී L 1 නැමැති ස්ථානයට ළඟා වීමට මෙම යානයට මාස හතරකට ආසන්න කාලයක් ගතවනු ඇති බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි. යානය L 1 නැමැති ස්ථානය කරා ගමන් ආරම්භ කරනු ඇත්තේ පෘථිවිය වටා වාර කිහිපයක් ගමන් කිරීමෙන් පසුව ය. මේ අනුව එය L 1 වෙත ළඟා වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මාසයේ යි. එයින් පසුව එහි ඇති උපකරණ නිසි ආකාරයෙන් ක්‍රියා කරනවාද යන්න පරීක්‍ෂා කර බැලීම සඳහා තවත් සති කිහිපයක් ගත වනු ඇති බව සඳහන් වේ. යානය හිරු අධ්‍යයනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ඇත්තේ එයින් පසුවය. ඒ වෙද්දී පෙබරවාරි මාසය පමණ වනු ඇති බව ඉන්දීය විද්‍යාඥයෝ සඳහන් කරති. දිනකට ඡායාරූප 1,440 ක් පමණ පෘථිවියට එවීමට ආදිත්‍ය-එල් 1 යානයට හැකියාව තිබේ.

lanka c news sinhala

ඉන්දීය මාධ්‍ය තුළ පළවන තොරතුරුවලට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් බිලියන 3.78 (ඇමරිකානු ඩොලර් මිලියන 46) කි. එය ලංකා රුපියල්වලින් බිලියන 15 කට ආසන්න වේ.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසන ආකාරයට ආදිත්‍ය-එල් 1 තුළ විද්‍යාත්මක උපකරණ 7 ක් අන්තර්ගත ය. සූර්යයාගේ වායුගෝලයේ පිටතම ස්ථරය වන කොරෝනාව- (Corona) , සුර්යයාගේ මතුපිට තලය වන ප්‍රභාගෝලය (Photosphere) මෙන්ම මෙම ස්ථර දෙක අතර ඇති වර්ණගෝලය (Chromosphere) නමින් හැඳින්වෙන තුනී ස්ථරය නිරීක්‍ෂණය කිරීම මෙම උපකරණවලට පැවරී ඇති රාජකාරිය යි. ඒ ඔස්සේ සූර්ය සුළං, සූර්ය ගිනි දළු ආදියේ ක්‍රියාකාරිත්වය ද, ඒවා පෘථිවියට බලපාන ආකාරය ද වැඩි දුරටත් අවබෝධ කර ගැනීමට විද්‍යාඥයෝ අපේක්‍ෂා කරති. එමෙන්ම අභ්‍යවකාශ කාලගුණය (Space Weather) ට සූර්යයා බලපාන ආකාරය ද මේ ඔස්සේ තේරුම් ගැනීමට බලාපොරොත්තු වේ.

‘පෘථිවිය වටා ගමන් කරමින් තිබෙන චන්දි්‍රකාවල ක්‍රියාකාරිත්වයට මෙම අභ්‍යවකාශ කාලගුණය විශාල වශයෙන් බලපානවා’ ඉන්දීය විද්‍යාඥයකු වන මයිල්ස්වාමි අන්නදුරෙයි පවසයි. ‘මෙම චන්දි්‍රකාවල ඇති ඉලෙක්ට්‍රොනික පද්ධතිවලට සූර්ය සුළං, සූර්ය කුණාටු විශාල බලපෑමක් කරනවා. එමෙන්ම පෘථිවියේ ඇති විදුලි සම්ප්‍රේෂණ පද්ධති වැනි ඒවා පවා අඩාල කරන්නට ඒවාට පිලිවන්. නමුත් අපි මෙම අභ්‍යවකාශ කාලගුණය ගැන තවමත් දන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි’ ඔහු තවදුරටත් සඳහන් කරයි. ආදිත්‍ය-එල් 1 වැනි යානා හරහා කරන අධ්‍යයනයන් වැදගත් වන්නේ මෙම පසුබිම තුළය.

ඉන්දියාව විසින් යවන ලද චන්දි්‍රකා 50 කට ආසන්න සංඛ්‍යවක් මේ වනවිට පෘථිවිය වටා ගමන් කරමින් තිබේ. මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන්ම සන්නිවේදන කටයුතු, පෘථිවියේ කාලගුණය ගැන තොරතුරු රැස් කිරීම, නියග වැනි ස්වාභාවික විපත් ගැන අනාවැකි පළ කිරීම ආදී කටයුතු සඳහා යොදා ගන්නා ඒවාය. මෙම චන්ද්‍රිකා ආරක්‍ෂා කර ගැනීමේ දී, ඒවායේ ක්‍රියාකාරිත්වය සුරක්‍ෂිත කිරීමේ දී ඉහත කී සූර්ය සුළං, සූර්ය කුණාටු ආදියෙන් ඒවාට විය හැකි බලපෑම ගැන වඩා හොඳින් දැන සිටීම වැදගත් වේ. ආදිත්‍ය-එල් 1 වැනි මෙහෙයුම් ප්‍රයෝජනවත් වන්නේ මේ හේතුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යවකාශ කටයුතු පිලිබඳ කාර්යාලය පවසන ආකාරයට මේ වනවිට විවිධ රටවල් විසින් යවන ලද චන්ද්‍රිකා 7,800 ක් පමණ පෘථිවියට ඉහළින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

‘මෙම සූර්ය කුණාටු, සූර්ය පිපිරීම් (Solar Eruptions) ආදිය ගැන ඒවා සිදුවීමට කලින් දැන ගැනීමට අපට පිලිවන් නම් ඉහත කී චන්ද්‍රිකා ඒවායින් ආරක්‍ෂා කර ගැනිමට අපට පිලිවන් වෙනවා. එම සූර්ය කුණාටු ආදිය බලපාන කලාපවලින් මෙම චන්ද්‍රිකා ඉවත් කර ගැනීම වැනි පියවර අපට එහි දී ගත හැකියි’ විද්‍යාඥ අන්නදුරෙයි පෙන්වා දෙයි.

ඉන්දියාවට අමතරව තවත් පාර්ශ්ව කිහිපයක්ම සූර්ය ගවේෂණ කටයුතුවල නිරතව සිටියි. ඒ සඳහා මුලින්ම යානයක් යැවූයේ ජපානය යි. ඒ 1981 වසරේ ය. ඊට අමතරව ඇමරිකාවේ නාසා ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය වැනි ආයතන ද සූර්යයා පිලිබඳ අධ්‍යයනය කිරීම සඳහා යානා යවා තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර