1912 වසරේ දී අනතුරට පත්, එවකට තිබුණු විශාලතම දුම් නැව වූ ‘ටයිටැනික්’ හි සුන්බුන් නැරඹීම සඳහා කෝටිපතියන් තිදෙනෙකු ඇතුළුව පස් දෙනෙකු කැටිව යමින් පැවති ‘ටයිටන්’ යාත්‍රාවේ ඛේදවාචකය පිළිබඳ නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. අද මේ මොහොත වන විට බොහෝ දෙනෙකුගේ මුවග රැඳුණු මාතෘකාව වී ඇත්තේ ටයිටන් ය. එබැවින් මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කවුරුත් දන්නා කාරණාවල සිට නොදන්නා කාරණා දක්වා කෙටියෙන් විමසා බැලීමක් සිදුකරන්නට ය.
‘ටයිටන්’ යනු සබ්මැරිනයක් ලෙස බොහෝ දෙනෙකු හඳූන්වනු ලැබුව ද එය සැබවින්ම එවැන්නක් නොවේ. මෙවැනි යාත්‍රා ඉංග්‍රීසි බසින් හ`ඳූන්වනු ලබන්නේ ‘සබ්මර්සිබල්’ ( submersible) නමිනි. බාහිර යාත්‍රාවක ආධාරයෙන් මුහුද යටට ගිල්විය හැකි යාත්‍රා මේ නමින් හඳුන්වනු ලබයි. යාත්‍රාව කුමක් වුව ද එය මේ වන විට පුපුරා විනාශ වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් ව තිබේ. විදෙස් පුවත් මූලාශ්‍ර මේ පිපිරීම හැඳින්වීම සඳහා යොදා ගෙන තිබුණේ සාමාන්‍ය අප යොදා ගන්නා explode යන වචනය නොවේ. එහි දී සිදු වන්නේ බෝම්බ වැනි දෙයක් අභ්‍යන්තරයේ සිට බාහිරට පුපුරා යාම ය. නමුත් මේ පිපිරීම හැඳින්වීම සඳහා යොදා ගෙන තිබුණේ implode යන වචනය ය. මන්ද මේ යාත්‍රාව පුපුරා ගොස් තිබුණේ බාහිර සිට අභ්‍යන්තරයට ය.
පසුගිය 18 වැනි ඉරිදා උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා මුහුද යටට ගමන් කරමින් සිටිය දී ටයිටන් යාත්‍රාවේ සන්නිවේදන සබඳතා එකවර ඇණ හිටියේ ය. ඇමරිකා එක්සත් ජනපද නාවික නිලධාරීන් පවසන්නේ එය පුපුරා යන්නට ඇත්තේ සන්නිවේදන සබඳතා නතර වූ මොහොතේම විය හැකි බව ය.
මෙහි සිටියේ කවුද?
මෙහි පස් දෙනෙකු ගමන් කරමින් සිටිය හ. ඔවුන් නම් මේ යාත්‍රාව නිෂ්පාදනය කළ ඕසන් ගේට් සමාගමේ ආරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී, ගුවන් යානා ඉංජිනේරු මෙන්ම යාත්‍රාව මෙහෙය වූ ස්ටොක්ටන් රෂ්, බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයකු සහ ගවේෂකයකු වූ හමිෂ් හාර්ඩින්, පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයකු වූ ෂෂාඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමන් සහ ප්‍රංශ ජාතික සමුද්‍ර ගවේෂකයකු සහ ටයිටැනික් සුන්බුන් කරා 35 වතාවකටත් වඩා ගමන් කර තිබූ පෝල් හෙන්රි නාජොලෙට් ය. ඕසන්ගේට් සමාගම දැන් පවසන්නේ මේ ගමනේ දී අතරමංවීමක් හෝ යම්කිසි විනාශයක් සිදුවේය යන සැකය සියලු දෙනා තුළම තිබූ බව ය.
මේ ටයිටන් යාත්‍රාවේ පළමු ගමනද?
ටයිටන් යාත්‍රාව නිෂ්පාදනය කළ ඕසන් ගේට් සමාගම සිදුකරන්නේ සංචාරකයන්ව මුහුදු සුන්බුන් සහ මුහුද යට පිහිටි අගාධ පෙන්වීම සඳහා රැගෙන යාම ය. මේ චාරිකාවන් උපරිම වශයෙන් දින 9ක පමණ කාලයක් දක්වා පවතින අතර මේ සියල්ල සඳහා යොදාගෙන තිබුණේ ටයිටන් ය. ඒ නිසා මේ එහි මුල්ම ගමන නොවේ. එමෙන්ම ඕසන් ගේට් සමාගම විද්‍යාත්මක ගවේෂණ සඳහා ද යාත්‍රා ලබා දෙයි.
ඕසන් ගේට් සමාගම පවසන්නේ මීටර් 4000 ක්, එනම් අඩි 13000 කටත් වඩා මුහුද යටට පස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් රැගෙන යා හැකි ලොව එකම යාත්‍රාව ටයිටන් බව ය. 2021 වසරේ සිට මේ සමාගම ටයිටැනික් සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන යාමේ ව්‍යාපාරය සිදුකරගෙන ආ අතර එක් සංචාරකයකු මේ සඳහා ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් 250000 ක්, රුපියල්වලින් නම්, හත්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වේ. එතරම් මුදලක් ගෙවා මේ ගමන ගිය ද සමාගමට සිය යාත්‍රාව පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් නො තිබූ බැව් පෙනේ. එයට හේතුව මේ ගමනේ දී යම්කිසි අනතුරක් සිදුවුවහොත් එයට සමාගමේ වගකීමක් නොමැති බවට ලියුමකට අත්සන් කළ යුතු වීම ය.
යාත්‍රාව අතුරුදහන් වූයේ කවදාද, කොතැනකද?
කාබන් ෆයිබර් සහ ටයිටේනියම්වලින් තනන ලද මේ අඩි 25 ක් දිග යාත්‍රාව, අඩි 13000 ක් මුහුද යටට ගමන් කරවීම සඳහා ආධාරකයක් වශයෙන් ක්‍රියා කළේ කැනේඩියානු ගවේෂණ නෞකාවක් වූ පෝලාර් ප්‍රින්ස් ය. ගමන් ඇරඹීමෙන් මිනිත්තු 45ක් ඇතුළත සන්නිවේදන සබඳතා බිඳ වැටුණු බව එක්සත් ජනපද වෙරළාරක්ෂක අංශය පවසයි. කාබන් ෆයිබර් සහ ටයිටේනිියම් යනු ලොව පවතින අතිශය ශක්තිමත්ම ද්‍රව්‍ය අතරින් කිහිපයකි. මේවා වානේවලටත් වඩා ශක්තිමත් ය. එතරම් ශක්තිමත් ලෙස තනන ලද මේ යාත්‍රාව පුපුරා යන්නේ මන්ද යන්න බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. එය විද්‍යාත්මක ලෙස විස්තර කළ ඇත්තේ මේ ආකාරයටය. මෙය මේ යාත්‍රාවේ පළමු ගමන නොවේ. යාත්‍රාව තනන ලද මුල් කාලයේ මෙය කිසිදු ගැටලුවක් නොමැතිව ගැඹුරු මුහුදු පතුලට පිවිසෙන්නට ඇති නමුත් කිහිප වතාවක් මෙසේ ගමන් කිරීමේ දී මෙහි බඳ මත කෙමෙන් කෙමන් මුහුදු ජල පීඩනය තදින් යෙදීම නිසා එහි ශක්තිමත් බව කෙමෙන් දුර්වල වන්නට ඇති බව විද්‍යාඥයෝ පවසති. මෙවර ගමනේ දී මුහුදු ජල පීඩනය දරා ගන්නට එයට නොහැකි වී එය පුපුරා යන්නට ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති. මේ අනුව නිගමනය කර ඇත්තේ පැය 96 ක කාලයක් සඳහා ඔක්සිජන් එහි තිබෙන බව පැවසුණු නමුත් එය අවසන් වන්නටත් පෙර යාත්‍රාව පුපුරා යන්නට ඇති බව ය.
ටයිටැනික් සුන්බුන් නිවැරදිවම ඇත්තේ කොහිද?
එවකට තිබූ විශාලතම දුම් නැව වූ ටයිටැනික් 1912 අප්‍රේල් මාසයේ අත්ලාන්තික් සාගරය ඔස්සේ සිදු කළ සිය මුල්ම ගමනේ දීම මුහුදුබත් විය. එය මුහුදු පත්ලටම ගිලා බැසි අතර එහි සිටි මගීන් 1500 ක් පමණ ජීවිතක්ෂයට පත් විය. අත්ලාන්තික් සාගරයෙන් මෙහි සුන්බුන් මුලින්ම සොයා ගනු ලැබුවේ 1985 වසරේ දී, කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයේ සැතපුම් 400 ක් පමණ දුරිනි. ‘ටයිටැනික්‘ චිත්‍රපටය නිර්මාණය කළ ජෙම්ස් කැමරන් මේ නැවේ සුන්බුන් නැරඹීම සඳහා 35 වතාවකටත් වඩා ගොස් තිබේ. සබ්මැරීන් අනතුරින් පසුව ඔහු පවසා තිබුණේ නැව ඇති මේ පරිසරය සංචාරක නැරඹීම් සඳහා කෙසේවත් සුදුසු පරිසරයක් නොවන බව ය. තමාගේ නිරීක්ෂණ කටයුතු අතරවාරයේ දුටු ඇතැම් බියකරු දේවල් මෙතෙක් කිසිවකු සමග හෝ හෙළිකොට නැති බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.
නිරීක්ෂණ කණ්ඩායම්වල දායකත්වය
එක්සත් ජනපද වෙරළාරක්ෂක භට කණ්ඩායම් කැනේඩියානු බලධාරීන් සහ වෙළෙඳ නැව් සමග එක්ව ටයිටන් යාත්‍රාව සෙවීමේ මෙහෙයුම දියත් කළේ ය. දුර සිට ක්‍රියාත්මක කළ හැකි කැනේඩියානු යාත්‍රාවක් වූ හොරයිසන් ආක්ටික් සහ ප්‍රංශයට අයත් එවැනිම යාත්‍රාවක් මුහුද පතුල ගවේෂණය සඳහා යොදා ගෙන තිබිණි. මුහුදේ වූ බරින් වැඩි වස්තූන් ගොඩ ගැනීමේ යාත්‍රාවක් ද එක්සත් ජනපදය විසින් මේ සඳහා යොදා ගනු ලැබිණි. ටයිටන් යාත්‍රාව ඇති තැන සෙවීම සඳහා සෝනාර් හෙවත් ශබ්ද තරංග තාක්ෂණය ද යොදා ගනු ලැබිණි. මේ සියල්ලටම අමතරව එක්සත් ජනපදයට සහ කැනඩාවට අයත් නිරීක්ෂණ ගුවන් යානා ද මෙයට එක් ව තිබිණි.
මුහුදු පත්ලේ බියකරු පරිසරය
මුහුද යටින් විවිධ ශබ්ද නිරීක්ෂණ කණ්ඩායම්වලට අසන්නට ලැබුණ ද ඒවා මේ ටයිටන් යාත්‍රාවෙන්ම නිකුත් වූ ඒවා ද යන්න තහවුරු කරගැනීමට හැකියාවක් තිබුණේ නැත. කෙසේ නමුත් පසුව සොයා ගන්නට හැකි වූ සුන්බුන් පරීක්ෂා කිරීමෙන් පසු එක්සත් ජනපද වෙරළාරක්ෂක ඒකකයේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් පවසා සිටියේ එය ටයිටන් යාත්‍රාවේ පසුපස කොටස වන්නට ඉඩ තිබෙන බවය. ටයිටැනික් නැවේ සුන්බුන්වල සිට අඩි 1500 ක් පමණ දුරින් මෙහි තවත් සුන්බුන් මුහුදු පත්ලේ විසිරී ඇති බව ද ඔහු සඳහන් කළේ ය. යාත්‍රාව පුපුරා ගියේ කුමන මොහොතේ ද යන්න පිළිබඳ පැවසීමට තවමත් කල් වැඩි බවත්, සිදු වූ සියල්ල සොයා ගැනීම සඳහා විමර්ශකයන් යුහුසුලුව කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසුවේ ය.
මෙහි ගමන් කළ පිරිසේ සිරුරු සොයා ගන්නට හැකියාවක් ලැබේද යන්න පිළිබඳ විමසූ අවස්ථාවේ දී රියර් අද්මිරාල්වරයා එයට කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැත. ඔහු ඒ වෙනුවට පැවසූයේ “මේ මුහුදු කලාපය අතිශය බියකරු වගේම කිසිදු සමාවක් නොදෙන පරිසරයකින් යුක්ත ප්‍රදේශයක්” කියා ය.
කෙසේ වෙතත් ටයිටන් යාත්‍රාව පුපුරා විනාශව ගියේ මිනිස් සංහතියම ඉදිරියේ සිතන්නට බොහෝ කරුණු කාරණා ඉතිරි කරමිනි. මිනිසා තාක්ෂණික වශයෙන් බොහෝ ඉදිරියෙන් සිටින්නේ යැයි සිතා සිටිය ද එය එසේ නොවන බව මෙයින් පසක් කෙරිණි. සොබා දහම තවමත් සිටින්නේ අපට වඩා ඉදිරියෙනි. අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාර පවා කරන්නට දියුණු රටවල් අපේක්ෂාවෙන් සිටිය ද මේ සිදුවීම සමග ඔවුන් නැවතත් අඩියක් පස්සට ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. සොබා දහම පවසන්නට උත්සාහ ගන්නේ තමා විසින් අඳුරේ සඟවා ගත් රහස් එසේම තිබෙන්නට හැර මිනිසාට මිනිසුන් වෙනුවෙන් කරන්නට තව බොහෝ දේ තිබෙන බව නොවේද?
නිරංජන් චාමින්ද කරුණාතිලක