කිසිදු විනිවිදභාවයකින් තොරව චීන රජය විසින් අපැහැදිලි ලෙස තවදුරටත් ණය ලබා දීම ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය තවතවත් උග්‍ර වීමට හේතුවක් වන බව පසුගිය දිනක ජාත්යන්තය සංවර්ධනය පිලිබද එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලකවරිය වූ සමන්තා පවර් පවසා තිබිණි. ඇය පවසන්නේ විවිධ ව්‍යාපෘතිවලට මුවා වී චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදල් ප්‍රමාණයන් සදහා මෙන්ම ඒවා ගෙවීම පිලිබදව ද කිසිදු විනිවිද බවක් පෙනෙන්නට නැති හෙයින් එකී ණය මුදල් කුමන ආකාරයට, කාගේ කැමැත්තට අනුව වියදම් කරන්නේ ද යන්න පිලිබද ව ද ජාත්‍යන්තර වශයෙන් පැහැදිලිතාවක් නොමැති බවයි.
ඇය මෙලෙස පවසා තිබෙන්නේ ඉන්දියානු සංචාරයක් අතර ඉන්දියානු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු හමු වූ අවස්ථාවක දී ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරියක වන සමන්තා පවර් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ (යු.එස්.එයිඩ්/යු.එස්.ඒ.අයි.ඩී) ප්‍රධානියා ලෙස ද මේ වනවිට කටයුතු කරයි. ලොව පුරා මේ වනවිට ඇති වී තිබෙන ආර්ථික අර්බුදවලට තිබෙන විසඳුම් සෙවීමේදී ඇයට තිබෙන ජාත්‍යන්තර අත්දැකීම් ඉතා ඉහළ යැයි සමන්තා පවර්ගේ පත්වීම සම්බන්ධයෙන් විඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් වරක් ජනාධිපති ජෝ බයිඩන් ද සඳහන් කර තිබිණි. “සංවර්ධන න්‍යාය පත්‍රය අපේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන කුලුනක්. ඊට නායකත්වය දෙන්න සමන්තා පවර් තරම් සුදුස්සෙක් නැහැ” යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබිණි.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා එම ධුරය දරන සමයේදී එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත ධුරය (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති) හෙබවූයේ සමන්තා පවර් ය. එමෙන්ම ඇය බැරක් ඔබාමාගේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ද කටයුතු කළාය. ඊට අමතරව ඇය හිටපු ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය සහ මානව හිමිකම් උපදේශිකාවක් ලෙස ද කටයුතු කළාය. එය කෙසේ වුව ද සිරියානු යුද්ධයට හමුදාමය මැදිහත් වීමක් කිරීමට ඔබාමා පරිපාලනය ගත් තීරණයට සමන්තා පවර් දැඩි සේ විරුද්ධ වූ අතර ජනාධිපති ඔබාමා සමඟ දැඩි මත ගැටුම් ද ඇති කරගත්තා ය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකා රජයේ සහ ඇමෙරිකානු රජයේ සමඅනුග්රහය යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ 2015 වසරේදී ද සමන්තා පවර් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත ධුරය (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති) හෙබවූවා ය.
ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයකු සහ මුදල් අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් පිරීම නිමිත්තෙන් 2019 වසරේ කොළඹ දී පැවැති විශේෂ උත්සවයේ මුඛ්‍ය දේශනය පැවැත්වූයේ ද සමන්තා පවර් විසිනි. ඇය එතරම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලඥයින් අතර නමක් දිනා සිටින නිලධාරිණියකි.
විවිධ රටවල ආර්ථික අර්බුද සහ කලමණාකරණ ප්‍රතිපත්ති පිලිබද ඇය තුළ වූ අත්දැකීම් සම්භාරය නිසා මෙන්ම, දීර්ඝ කාලීන ව ඇය ශ්‍රි ලංකාවේ අර්බුදකාරී වාතාවරණය පිලිබද අධ්‍යයනය කිරීම නිසා ද ඒ පිලිබදව පෘථෘල අවබෝධයක් සහිතව ඇය මෙසේ පවසා තිබිණි. නමුත් ඇගේ මෙම ප්‍රකාශයෙන් පසුව චීනයේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුම විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. ප්‍රධාන වශයෙන් චීනයේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලිජියන් ප්‍රකාශ කර තිබුණේ චීනය විසින් අනෙකුත් ණය දෙන්නන්ට වඩා අඩු පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකාව සමග පාරාන්ධ ණය ගනුදෙනුවලින් බැදී සිටින බවත්, ඒ සියලුම ණය ගනුදෙනු සිදු කරනු ලැබුවේ කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව රාජ්‍ය නිලධාරීන් සමග පමණක් බවත් ය.
චීනය විසින් අඩු පොලී අනුපාතික යටතේ දීර්ඝ කාලීනව ගෙවා නිම කළ හැකි ආකාරයට නිකුත් කරනු ලැබූ ණයවලට අමතරව කුඩා ප්‍රායෝගික භාවිතය සඳහා සේවා සපයන මුල්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සදහා ද කුඩා ප්‍රමාණයේ ණය පහසුකම් ලබා දුන් බව ද අවශ්‍ය නම් ඒ සදහා ලිඛිත සාක්ෂි තම රජය සතුව පවතින බව ද වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර තිබිණි.
දුලංජලී මුතුවාඩිගේ