පසුගිය අගෝස්තු 7 වැනිදා හැටන්, සමර්හිල් තේ වතු යායේදී මන්දකට හසු වීමෙන් පසු ගසක් මත සිරව සිටි දිවියා මියයාම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව පිළිබඳව පරිසරවේදීන්ගේ බරපතල විවේචන එල්ල වෙමින් තිබේ.එම වාර්තාවට අනුව අදාළ දිවියා මිය යාමට හේතුව වී ඇත්තේ, කම්බියකින් සැකසූ මද්දට හසුවීම සහ එම සත්වයා උස ගසක දීර්ඝ වේලාවක් එල්ලී සිටීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට හානි සිදු වීම මිස එම සත්වයා එල්ලී සිටි ගස කැපූ අවස්ථාවේ දී, ගසට යටවීම නිසා නොවේ .එහි වැඩි දුරටත් සඳහන් වන්නේ, දිවියා බේරාගැනීම සඳහා ගස කපා දැමීම අනුමත නොකරන අතර මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවම පහසුකම් යටතේ අන් විකල්පයක් නොමැති බැවින්, දුෂ්කරතා රැසක් මධ්‍යයේ දිවියා ජීවිතය බේරා ගැනීමට අදාළ නිලධාරීන් මෙසේ උත්සාහ දරා ඇති බවයි.නමුදු දිවියා ගසේ එල්ලී සිටින ආකාරය සහ වනජීවි නිලධාරීන් ගස කපා දැමූ ආකාරය එම අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් පැහැදිලිව වීඩියෝ ගත කර තිබූ අතර එහිදී දිවියා ගසට යට වී සිටින ආකාරය ද අදාළ වීඩියෝ පට සහ ඡායාරූපවල පැහැදිලිව දක්නට තිබේ.එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ වන ජීවී දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පවසා සිටියේ මෙම සත්වයා ගේ මරණය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට දොස් නඟන කිසිවකුත් අවස්ථානුකූලව එම දිවියාගේ ජීවිතය ගලවා ගත හැකි වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් යෝජනා කොට නොමැති බවකි.