සමලිංගික හැසිරීම් පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයින්ට ලේ පරිත්‍යාග කිරීමට ඉඩ නොදීම හුදෙක් මහජනතාව ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිණිස ගනු ලැබූ තීරණයක් මිස ජාතිය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගිකත්වය වැනි කිසිදු ජෛවමය හෝ සමාජමය තත්වයක් වෙනස් කොට සැලකීමක් මත පදනම් නොවන්නක් බව ජාතික රුධිර පාරවිලයන සේවා අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා අවධාරණය කරයි.ඒ මහතා පවසන අන්දමට දැනට සමලිංගික හැසිරීම් වල ඉතිහාසයක් ඇති පුද්ගලයින්ට රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් නොමැත. පිරිමි සමලිංගික පුද්ගලයින් අතර HIV වැනි රෝග ඇතිවීමේ වැඩි අවදානමක් පෙන්නුම් කරන ජාතික මට්ටමේ සංඛ්‍යාලේඛන මත මෙම සීමාව පනවා ඇත. දැනට පවතින මාර්ගෝපදේශ සමඟ අපේ රටේ පවතින දත්ත සහ පහසුකම් මෙම පුද්ගලයින් රුධිර පරිත්‍යාගශීලීන් ලෙස පිළිගැනීමට නොහැකිව තිබේ. කෙසේ වෙතත්, සංඛ්‍යාලේඛන සහ රෝග පැතිරීමේ රටාවන් ද වෙනස් වුවහොත් අනාගතයේ දී මෙම මාර්ගෝපදේශ වෙනස් විය හැකි බව ද සැලකිල්ලට ගැනීම වැදගත්ය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ රුධිරය සඳහා ඇති ඉල්ලුම ප්‍රමාණවත් ලෙස සපුරාලිය හැක්කේ එවැනි අධි අවදානම් හැසිරීම් වල නොයෙදෙන නිරෝගී ලේ පරිත්‍යාගශීලීන් ලබාදෙන පරිත්‍යාග නිසාය.එමෙන්ම “අපගේ එකම අරමුණ වන්නේ අවශ්‍ය රෝගීන් සඳහා රුධිර හා රුධිර නිෂ්පාදනවල ආරක්ෂාව සහතික කිරීම සඳහා පවතින තාක්ෂණික මාර්ගෝපදේශ පිළිපැදීමයි. අපි අපගේ සියලු පරිත්‍යාගශීලීන්ට ඔවුන්ගේ ලිංගිකත්වය හෝ වෙනත් පෞද්ගලික ලක්ෂණ නොසලකා සමාන ගෞරවයෙන් හා සාධාරණත්වයෙන් සලකමු” යනුවෙන් ද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.