තමන් වෙත පැමිණෙන රෝගීන්ගේ රෝග නිශ්චය කර ගැනීම සඳහා බොහෝ අවස්ථාවල වෛද්‍යවරු විවිධාකාර වූ රුධිර පරීක්ෂණ නියම කරති.
” දොස්තර මහත්තයා මට ලේ එකක් බලාගෙන එන්න කිව්වා” යනුවෙන් රෝගීන් පැවසුවත් මෙහි ඇති වැදගත්කම පිළිබඳව බොහෝ දෙනෙකුට වැටහීමක් නැත.
* රුධිර පරීක්ෂණ කරන්නේ ඇයි?
අපේ ශරීරයේ හට ගෙන තිබෙන සමහර රෝග පිළිබඳව අපට දැනෙන්නේ නැත. නමුත් ඒ අවස්ථාවේදී ඔබ පරීක්ෂා කරන වෛද්‍යවරයාට එම රෝගය දැනෙයි. එහිදී තමන්ට දැනෙන එම රෝගය පිළිබඳව නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයා ඒ සම්බන්ධව රුධිර පරීක්ෂණයක් සිදුකර ගැනීමට රෝගියාට නියම කරනු ඇත.
නමුත් සමහර අවස්ථාවලදී සමහර රෝග පිළිබඳව රෝගියාට මෙන්ම වෛද්‍යවරයාටවත් නොදැනෙන අවස්ථා තිබේ. එවිට ද වෛද්‍යවරයා රෝගය හඳුනා ගැනීම පිණිස වෛද්‍ය පරීක්ෂණ නියම කිරීමට පුළුවන .
එසේම තවත් සමහර රෝග රෝගියාට මෙන්ම වෛද්‍යවරයාටත්, රුධිර පරීක්ෂණ වලටත් නොදැනෙන අවස්ථා තිබේ. ඒවා හඳුනා ගැනීම සඳහා x ray, scan ආදී පරීක්ෂණ සිදුකළ යුතුය. විවිධ පරීක්ෂණ කිරීම සඳහා වෛද්‍යවරුන් නියම කරන්නේ මේ හේතු වලට අනුවය.
දැන් අපි රුධිර පරීක්ෂණ වාර්තාවලින් සොයා බලන කරුණු පිළිබඳව අවධානය යොමු කරමු.
රුධිරයේ අපට නොපෙනෙන විවිධ දේවල් අඩංගුය. අපේ පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා සෛල එහි පා වෙමින් තිබේ. එමෙන්ම රුධිරයේ ප්‍රෝටීන් ද අඩංගු ය. එනම් බිත්තර සුදු මදයට සමාන දියරයක් ලෙසිනි. එසේම ලුණු, සීනි වැනි තවත් විවිධ දේවල් එහි දියවී තිබේ. ආශ්වාසයේදී අපේ සිරුරට ඇතුළු වූ ඔක්සිජන්,
කාබන්ඩයොක්සයිඩ් වැනි විවිධ වායූන්ද රුධිරයේ මිශ්‍ර වී පවතී. රුධිරයේ ජලය ද අඩංගු වේ.
රුධිර පරීක්ෂණවලින් සොයා බලන්නේ මෙවැනි දේවල් අඩු, වැඩි වී තිබේ ද යන්න ය. ඒවා අඩු වන්නේත් රෝගයක් නිසා ය. වැඩිවන්නේත් රෝගයක් නිසා ය.
තවත් රුධිර පරීක්ෂණ මගින් රුධිරයේ නොපැවතිය යුතු දේවල් මිශ්‍ර වී තිබේද යන්න සොයා බැලේ. රුධිරයේ දිය වුණු දේවල් සොයා බලන්නේ යන්ත්‍රයක් මගිනි.
රුධිරයේ සෛල ප්‍රමාණය පමණක් නොව අවශ්‍ය විටක දී එහි හැඩරුව ද රුධිර පරීක්ෂණ මගින් සොයා බලනු ඇත. ඒ පිළිබඳව සොයා බලන්නේ තාක්ෂණික ශිල්පියකු විසිනි.
* රුධිර පරීක්ෂණ වලට රෝගියා සහභාගි විය යුත්තේ කෙසේද?
සාමාන්‍යයෙන් රුධිරයේ සීනි හා කොලෙස්ටරෝල් පරීක්ෂණ යනු ආහාරවලට සම්බන්ධ පරීක්ෂණ වේ. මේවා ආහාර ගත් විට වැඩි වීමත්, ආහාර නොගෙන සිටින විට අඩු වීමත් සිදු වෙන නිසා එම පරීක්ෂණ කිරීමේදී රෝගියා නියමිත කාල සීමාවක් ආහාර සහ පාන නොගෙන පරීක්ෂණයට සහභාගි විය යුතුය. සාමාන්‍යයෙන් වෙනත් රුධිර පරීක්ෂණ වලට ආහාර ගෙන පැමිණීම ගැටලුවක් නොවේ.
* රුධිර පරීක්ෂණ වාර්තා කොපමණ වේලාවකින් ලබා ගත හැකිද ?
සමහර රුධිර පරීක්ෂණ වාර්තා පැයකින් පමණ වුවද ලබාගත හැකිය. ඊටත් වඩා කෙටි වේලාවකින් වුවද ලබා ගත හැකි විවිධ පරීක්ෂණ වාර්තා තිබේ. එසේම සමහර පරීක්ෂණ වාර්තා දිනක් හෝ දින කිහිපයක් කල් ගත වී ලබා ගන්නට සිදුවිය හැකිය. කෙසේ වුවද රසායනාගාරයේ කාර්යබහුල බව මත මේ සියල්ල වෙනස් වීමට ඉඩ ඇත.
* සමහරුන්ගේ ශරීරයේ “ලේ නෑ” යනුවෙන් හඳුන්වන්නේ සැබෑවටම රුධිරය නියම ප්‍රමාණයට වඩා අඩු වීමක් ද?
සැබවින්ම “ලේ නෑ” යනුවෙන් පොදු සමාජය හඳුන්වන්නේ සිරුරේ නියම ප්‍රමාණයට ලේ නොතිබීම නොවේ. ඒ, රුධිරයේ අත්‍යවශ්‍ය කොටස් වල අඩු වීමකි .
* රුධිරය ගැනීමෙන් පසු අතුරු ආබාධ ඇතිවිය හැකි ද ?
එක් රෝගියෙකු සඳහා පාවිච්චි කළ කටුවකින් තවත් කෙනෙකුගෙන් රුධිරය ලබා ගත හොත් එම මුල් රෝගියාට තිබිය හැකි රෝග බෝවීමට ඉඩකඩ තිබේ. නමුත් එක් රෝගියෙකුට පාවිච්චි කළ කටුවක් නැවත රෝගියෙකුට පාවිච්චි කිරීම දැන් සිදු වන්නේ නැත.
* බහුලව කෙරෙන රුධිර පරීක්ෂණ කිහිපයක්
Fasting blood sugar (F.B.S.)
මෙය රුධිරයේ සීනි මැන බැලීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණයකි .
Erythrocyte sedimentation rate (E.S.R.)
මෙම පරීක්ෂණයේදී කරනු ලබන්නේ රෝගියාගේ රුධිරය ලබාගෙන කුඩා බටයකට දමා පැයක් පමණ තියෙන්නට හැර රුධිරය එහි පහළට බසින කාල සීමාව වැනි දෑ පරීක්ෂා කිරීම යි. යම් හෙයකින් මෙම ( E. S. R.)මට්ටම වැඩි නම් එයින් රෝගයක් පෙන්නුම් කරනු ඇත.
Full blood count ( F.B.C)
රුධිරයේ සෑම සෛලයකම ප්‍රමාණයන් මෙහිදී පරික්ෂා කෙරේ. රෝග රාශියක් සඳහා මෙම පරීක්ෂණය සිදු කරන අතර F.B.C. වාර්තාවේ ගැටලුවක් තිබේ නම් එය රෝගයක් නිසා සිදුවන්නකි .
Serum cholesterol
මෙය කොලෙස්ටරෝල් මැන බැලීම සඳහා සිදුකරන පරීක්ෂණයකි. නමුත් මෙම පරීක්ෂණයේදී හොඳ කොලෙස්ටරෝල්වල සහ නරක කොලෙස්ටරෝල්වල එකතුව මිස මේවා වෙන් වෙන්ව වර්ග කිරීමක් සිදු වන්නේ නැත.
Lipid profile
මෙය රුධිරයේ කොලෙස්ටරෝල් සම්බන්ධව සියුම් ලෙස සොයා බැලෙන පරීක්ෂණයකි. මෙයින් හොඳ කොලෙස්ටරෝල් සහ නරක කොලෙස්ටරෝල් වෙන් වෙන්ව අංග අංගසම්පූර්ණ ලෙස හඳුනා ගනු ඇත. ඉහත කී serum cholesterol පරීක්ෂණය මිල අඩු වුණත්, මෙම පරීක්ෂණය ඊට වඩා තරමක් මිලෙන් වැඩිය. නමුත් ශරීරයේ කොලෙස්ටරෝල් පිළිබඳ පැහැදිලි නිගමනයකට එළැඹිය හැකි පරීක්ෂණය මෙයයි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා