සම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවම් තීන්දුවක් ප්‍රකාශ කෙරේ

මහාධිකරණයක දී විත්ති කරුවකුට මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන අධිකරණ ශාලාවේ විදුලි පහන් නිවා දැමීම, විනිසුරු වරයා විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමීම වැනි ක්‍රියා තමන් අද දිනයේ සිදු නොකරන බවත්, මෙම දඬුවම සාමාන්‍ය නඩු තීන්දුවක් ස්වරූපයෙන් නියම කිරීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි ප්‍රකාශ කළේය.

වලස්මුල්ල හෙරේවෙල ප්‍රදේශයේ දී ඉකුත් 2006 .10.16 හෝ ඊට ආසන්නතම දිනකදී සුබසිංහ කට්ටඬිගේ සයින්දරා නමැති කාන්තාවකගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ වලස්මුල්ල පදිංචි රාජපක්ෂලාගේ ලාල් රංජන් නමැති අයට මරණීය දණ්ඩනය නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා එසේ ප්‍රකාශ කළේය.

“මහාධිකරණයකදී චුදිතයෙකුට එරෙහිව මරණීය දණ්ඩනයක් නියම කිරීමේදී විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම,විදුලි පංකා නිවා දැමීම,විනිශ්චය ආසනයෙන් නැඟී සිටීම හා අදාල තින්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමීම සාම්ප්‍රදායිකවම සිදු කරන නමුත් අද දිනයේ මම එම සාම්ප්‍රදායික ක්‍රියා කිසිවක් විවෘත අධිකරණයේදී සිදු නොකරමි.”මෙම මරණීය දණ්ඩය නියම කිරීමේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා කීය.

ශ්‍රේෂ්ඨ මහාධිකරණ විනිසුරු වරයෙකු වු සරත් අඹේපිටිය මහතා ඝාතනය කර මිනී මැරීමේ චෝදනාවට වරදකරු වු චූදිතයින්ට ද මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එම තීන්දුව ස්ථිර කිරීමෙන් පසුවද අද වන තෙක් මෙරටෙහි මරණීය දණ්ඩනය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම මෙන්ම තවත් මරණීය දණ්ඩනය නියම කරන ලද අවස්ථාවල දී ඒ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා එකී මරණීය දණ්ඩනය ස්ථිර කර තිබියදීත් ඇතැම් එවැනි චුදිතයින් පවතිනා නීති රාමුව තුළ සමාවන් මත නිදහස් වී යාම යනාදී ක්‍රියා කලාපයන් තුළ විත්ති කරුවකුට මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන පිළිවෙත් අනුගමනය කිරීමේ කිසිදු ප්‍රායෝගිකතාවයක් නොමැති බව කී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා විනිශ්චය ආසනයේ වාඩි වී නියමිත සෙසු නඩුවල තින්දු ප්‍රකාශ කරන ආකාරයෙන් මරණීය දණ්ඩනයේ නියමය චුදිතට කියවා දී මරණ දණ්ඩනය නියම කරමි යැයි වැඩි දුරටත් පැවසීය.

මහාධිකරණ විනිසුරු වරයාගේ මෙම ක්‍රියාව පිළිබඳව අදහස් දක්වන නීති විශාරදයන් පෙන්වා දෙන්නේ තම අභිමතය අනුව එවැනි සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ හෝ උල්ලංඝනය කිරීමේ සම්පූර්ණ හිමි කම අදාල විනිසුරු වරයා සතු බවය

කාලීන පුවත්