ත්‍රිරෝද රථ සේවා සහ ගාස්තු නියාමනය කිරීම පිණිස අධිකාරියක් පිහිටුවීම සම්බන්ධ යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අය වැය යෝජනා අතරට එක් කොට ඇත.
නමුදු එය ප්‍රායෝගික යථාර්ථයක් වුවහොත් ලක්ෂ අටක් පමණ වන ත්‍රිරෝද රථ වෘත්තිකයන් ගේ, ලක්ෂ හතලිහක් පමණ වන ඔවුන් ගෙන් යැපෙන්නවුන් ගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේය ජන සමාජයේම මහත් ජයග්‍රහණයක් බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන් ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටිනුයේ ජාතික පොදු ප්‍රවාහන අවශ්‍යතාවයෙන් සියයට හතයි දශම එකක ප්‍රතිශතයක් සම්පූර්ණ කරන ත්‍රිරෝද රථ සේවාව මේ තාක් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය තුළට අන්තර් ග්‍රහණය කරගැනීමට නොහැකිවීම මත ත්‍රිරෝද රථ රියැදුරන් සේම හිමි කරුවන් ද මේ වන විට අතිශය අසරණ හා අවාසනාවන්ත තත්වයකට පත්ව ඇති බවකි.
එමෙන්ම ත්‍රිරෝද රථ කර්මාන්තය හා සම්බන්ධ ශ්‍රම බලකාය මේ දක්වා කිසිදු වර්ගීකරණයකට ලක් නොවීම මත ඔවුන් සමාජයේ සෙසු බොහෝ වෘත්තිකයන් සේම ස්වයං රැකියා ලාභීන් අතුරින් ද කොන් වූ අන්ත අසරණ ජන කොටසක් වී ඇති බව සභාපතිවරයා ගේ මතය වී තිබේ.
ඔහුගේ එම ප්‍රකාශය කොතරම් සත්‍යයක් ද යන්න පැහැදිලි වන කරුණු අප ගේ ජන සමාජය තුළින් නිරන්තරයෙන් ඉස්මතු වෙමින් තිබේ. පසුගිය දා රූපවාහිනී සාකච්ඡාවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක අප රටේ ගණිකා ව්‍යාපාරය සම්බන්ධයෙන් තම අදහස් පළ කරමින් කියා සිටියේ අද මෙරට ගණිකා වෘත්තියෙන් කාන්තාවන් උපයන මුදලෙන් වැඩි කොටස තැරව් කරුවන් හා ත්‍රිරෝද රථ රියැදුරන් විසින් ගසා කන බවකි.
එහෙත්, ඇගේ එම ප්‍රකාශය මෙරට ලක්ෂ අටක් පමණ වන ත්‍රිරෝද රථ රියැදුරු ප්‍රජාවට අත් විඳීමට සිදුවූ අතිශය දරුණු නින්දාවක් සහ පරිභවයකි.මෙරට ගණිකා ජාවාරම හා සම්බන්ධ යාන්ත්‍රණයේ කොටසක් වශයෙන් ගනුදෙනු කරුවන් එම ගණිකා වන් වෙත ප්‍රවාහනය කෙරෙන ත්‍රිරෝද රථ යම් ප්‍රමාණයක් තිබේ.
ඔවුන් ඒ ගණිකා ජාවාරමේ ම කොටස් කරුවන් වන අතර කෙසේ වත් වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරෝ නොවෙති. එම ත්‍රිරෝද රථ රියැදුරන් හඳුන්වන පොදු නම වන්නේ ‘ගයිටුවා’යන්න ය. ඒ ‘ගයිටුවන්ට’ ත්‍රිරෝද රථගාල් වල ඉඩ නැත.
ඒ එමගින් තම වෘත්තියට අත්වන අවමානය නිසා ය.එම මන්ත්‍රීවරිය ඒ ‘ගයිටුවන්’ ත්‍රිරෝද රථ රියැදුරන් වශයෙන් හැඳින්වීම තමන් ගේ සේම තම යහපත් අහිංසක ජීවිත ගත කරන අඹු දරුවන් ගේ ආත්ම ගෞරවයට එල්ල කළ දැවැන්ත මඩ ප්රහාරයකැයි ත්‍රිරෝද රථ කරුවෝ කියති.
තත්වය එසේ තිබිය දී සමාජයේ විවිධ වෘත්තීන් කෙරෙහි එල්ල වන චෝදනා බොහොමයකින් මේ දක්වා ත්‍රිරෝද රථ රියැදුරන් නිදහස්ව තිබීම සමාජයේ බොහෝ දෙනෙකු ගේ අවධානයට යොමු වී නැත.
විශේෂයෙන් කාන්තාවන්ට අයුතු බලපෑම් සහ අතවර කිරීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරන්ට එල්ල වන චෝදනා ඉතා අවම මට්ටමක පවතින බව අපරාධ වාර්තා මගින් මනාව සනාථ වෙයි.
සමාජයේ ඕනෑම තරාතිරමක, ඕනෑම වයස් කාණ්ඩයක කාන්තාවක තනිව යන ගමනක දී වුව බයක් සැකක් නොමැතිව මහ මඟ ගමන් කරන ත්‍රිරෝද රථයකට අත දිගු කොට ඊට නැඟෙනුයේ වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් තුළ පවත්නා මෙම විනය ගරුක බව ප්‍රසිද්ධ කරුණක් වී ඇති බැවිනි.
එමෙන්ම අතීතයට සාපේක්ෂව ඔව්හු අද වන විට මෙම ස්වයං විනය වත් බව මනාව ප්‍රවර්ධනය කර ගෙන හිඳිති. නිදසුනක් ලෙස කොළඹ ග්‍රෑන්ඩ්පාස් සිට බොරැල්ලේ කොටාරෝඩ් දක්වා ගමනක් යාමට ත්‍රිරෝද රථයකට කාන්තාවක් පිවිසිය හොත් ඒ ගමනාන්තය දක්වා වන කෙටි සහ අතුරු මාර්ග ගැන දන්නා ත්‍රිරෝද රථ රියැදුරු ඒ සම්බන්ධයෙන් එම කාන්තාව දැනුවත් කොට ඒ පිළිබඳව ඇගෙන් විමසා සිටීම මෑතක සිට ප්‍රවර්ධනය වන තත්වයකි.
ඊට හේතුව එසේ එම මගී කාන්තාව දැනුවත් නොකොට කෙටි හා දුර අඩු මාර්ග වලින් ත්‍රිරෝද රථ ධාවනය කිරීමේ දී එම මගී කාන්තාව කලබලයට පත් වූ අවස්ථාවන් පිළිබඳව ත්‍රිරෝද රථ රියැදුරන් තම අන්තර් සන්නිවේදන මාර්ග ඔස්සේ දැන සිටීම ය.
එබැවින් දැන් ඔව්හු අඩු තරමින් එම “වරද” වත් නොකරති.මෙම කරුණු අනාවරණය කර ගත හැකි වූයේ කොළඹ තොට ළඟ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ත්‍රිරෝද රථ සේවාව සම්බන්ධ්යෙන් පසුගිය කාලයේ ම`විසින් කරන ලද විමසුමකදී ය.
ශ්‍රී ලංකා පොලීසිය සහ මෙරට ත්‍රිරෝද රථ සේවාව අතර ඇත්තේ ද අවියෝජනීය බැඳීමකි. කිසියම් පොලිස් බල ප්‍රදේශයක ධාවනය වන සෑම ත්‍රිරෝද රථයක්ම අදාල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ නියාමනයට ලක් වන අතර ඒ සම්බන්ධයෙන් වත් නිල මට්ටමක් මේ දක්වා ත්‍රිරෝද රථ වෘත්තිකයන්ට ලැබී නැත.
ප්‍රදේශයේ අපරාධ නිවාරණය හා සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ත්‍රිරෝද රථ රියැදුරන් මගින් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබෙන අතර පොලිස් බුද්ධි අංශ සාමාජිකයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් අතර නිරතුරුවම සිදු වන සන්නිවේදන කටයුතු සම්බන්ධයෙන් ද එම රියැදුරන්ට කිසිදු සමාජමය ප්‍රතිලාභයක් අත් වී නැත.
ත්‍රිරෝද රථ රියැදුරන් විසින් මගී ජනතාව සූරා කන බවට අතීතයේ යම් යම් චෝදනා එල්ල වුවද අද වන විට ත්‍රිරෝද රථ සඳහා මීටර් සවි කිරීම සහ එක් එක් ගමනාන්තය සඳහා වන ත්‍රිරෝද රථ ගාස්තුව මගියා දැන සිටීම ආදී කරුණු මත අද වන විට ත්‍රිරෝද රථ රියැදුරන් වෙත එල්ල වන එම චෝදනා ද බෙහෙවින් අව ප්‍රමාණ වී තිබේ.
එමෙන්ම මීටරයක් නොමැති ත්‍රිරෝද රථයකින් ගමන් ගන්නා මගියකුට වුව තමන් ත්‍රිරෝද රථයෙන් ගමන් කළ දුර ප්‍රමාණය කොතෙක් ද යන්න එක් දුරකථන යෙදවුමක් හෙවත් ඇප් එකක් මඟින් මගින් හරියටම දැන ගත හැකි ය.
නමුත් ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ ගාස්තුව එක් එක් ප්‍රාදේශීය භූ විෂමතා අනුව වෙනස් වන බවත් තැනිතලා ප්‍රදේශ වලට සාපේක්ෂව කඳුකර ප්‍රදේශ වල ත්‍රිරෝද රථ ගාස්තුව යම් ප්‍රමාණයකින් වැඩි වීම නොවැළැක්විය හැකි බවත් දන්නා මගීන් ඇතැම් විට එවන් ප්‍රශ්න ඇති කර ගන්නා බව පෙනේ.
එහි දී එම ත්‍රිරෝද රථ රියැදුරන් එම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ගාස්තු පිළිබඳව එම මගියා ඉදිරියේ දීම සෙසු ත්‍රිරෝද රථ හිමියන් ගෙන් අසා එම ගැටළුව නිරාකරණය කර දීමට කටයුතු කරන බව පැවසෙයි.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන් ගේ සහ හිමිකරුවන් ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා වැඩිදුරටත් කරුණු දක්වන අන්දමට තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන සෙසු වෘත්තිකයන් හා සසඳන විට ත්‍රිරෝද රථ රියැදුරන් පසුවනුයේ ඉතා කණගාටුදායක තත්වයකය. ඊට හේතුව වශයෙන් ඔහු දක්වනුයේ ඇතැම් දේශපාලනඥයන් විසින් මෙම ත්‍රිරෝද රථ රියැදුරන් ගේ සමඟිය බිඳ දමා තිබීමය.
එමෙන්ම ජාතිකත්වය, ස්වදේශීකත්වය ආදී පුළුල් සංකල්ප අනුව තම ත්‍රිරෝද රථවල පවා එවන් ජාතිමාමකත්වය පළ කෙරෙන වදන් සහ ඡායාරූප ප්‍රදර්ශනය කරන ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් තම වෘත්තීය අයිතිවාසිකම සම්බන්ධයෙන් කිසිදු සාමූහික පියවරක් නොගැනීම ද ඔවුන් මෙලෙස සමාජමය අසරණ භාවයට පත් වීමට ප්‍රබල හේතුවක් බව ද සුදිල් ජයරුක් මහතා පෙන්වා දෙයි.
එමෙන්ම ත්‍රිරෝද රථ සේවාව ජාතික ප්‍රවාහන පද්ධතිය තුළට අන්තර්ග්‍රහණය කරගැනීමට සියලුම රජයන් මෙතෙක් පසුබට වන පසු බිමක ත්‍රිරෝද රථ කර්මාන්තය සමාගම්කරණයට ලක් කොට එමගින් ත්‍රිරෝද රථ හිමියන්ට සොච්චමක් දී එම කර්මාන්තයෙන් ලැබෙන වැඩි ලාභය තමන් අතට ගැනීමට වෙර දරන කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මේ වන විට සමාජමය කරලියට පිවිස සිටිති.
ඔවුන් නිසා ද අසරණ ත්‍රිරෝද රථ රියැදුරන් සහ හිමිකරුවන් කබලෙන් ලිපට වැටීම වළක්වාලිය නොහැකි බව අපගේ වැටහීම ය.ඒ අනුව මුදල් ඇමති වරයා අය වැය යෝජනා අතරට ගෙනා මෙම ත්‍රිරෝද රථ අධිකාරී සිහිනය ද සියළුම රජය අඩු වැඩි වශයෙන් ජනතාවට පෙන්වන “දවල් සිහින” වලින් එකක් නොවේවායි අපි පතමු.
තිලක් සේනාසිංහ