ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව තහවුරු වී තිබේ.ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවට අනුව ය.ඒ බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී පසුගිය දා අනාවරණය වී තිබේ.එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් ම මෙසේ අවදානමට ලක්ව ඇත. එය 55.7% කි. ග්‍රාමීය ප්‍රදේශවල මෙය 82% ක් තරම් ඉහළ තත්වයක පවතින අතර පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර එහි ප්‍රතිශතය 71.8% ක් ලෙස දැක්වෙයි. අවමය වූ 41.5% වාර්තා වන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙනි.ඉහත සඳහන් සමාලෝචනයට අනුව මෙම ඛේදවාචකයට මුහුණ දී ඇති අප සමාජයේ මැද පන්තිය නම් වන බහුතරය නියෝජනය කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.මෙම සමාජමය බිඳ වැටීම සුළු කොට තැකිය යුත්තක් නොවේ.
පසුගිය දා රැස් වූ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී,ඒ සඳහා අනුගමනය කළ යුතු රජයේ සමාජ සුබසාධන වැඩපිළිවෙල, සමාජ ආරක්ෂණ ජාලය සම්බන්ධව සාකච්ඡා වී තිබේ. සමාජ සේවා දෙපාර්තමේන්තුව,සමාජ ආරක්ෂණ මණ්ඩලය,සුභසාධක ප්රතිලාභ මණ්ඩලය,මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව ඇත.අදාළ වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මේ තත්වය වර්ධනය වීමේ දී 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් 19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව ඉවහල් වී තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා ගමන් කොට තිබේ.අදාළ වාර්තාවට අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අධ්‍යාපනය, සෞඛ්‍ය හා ස්වභාවික විපත්, ජීවන මට්ටම් යන අංශ තුනක් යටතේ මෙම අවදානම් තත්ත්වය පෙන්වා දී ඇති බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් අවධාරණය කොට ඇත. දැනට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු මෙම අවදානම් කලාපයේ පසුවන බවත්, අවුරුද්දක් ගතවන විට මේ තත්ත්වය පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු දක්වා වර්ධනය විය හැකි බවත්, සභාපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.එය ඉතා නරක; අයහපත් තත්වයකි.එබැවින් අවදානම් අඩියේ සිටින ජනතාව උදෙසා විධිමත්, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් සකස් කිරීමේ අවශ්‍යතාව සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.
මේ අතර සිසුන්ගේ පාසල් පැමිණීම, සෞඛ්‍යය, ජලය, ආහාර. විපත්වලට මුහුණ දීමේ හැකියාව, අනුගත වීමේ හැකියාව, ජීවන තත්වය, දේපළ, විරැකියාව, සරිලන රැකියාවක් නොමැති වීම, ණය ගැති බව ඇතුළු මේ වන විට අයහපත් තත්වයේ පවතින සාධක 12 ක් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සලකා බලා තිබේ. එමෙන්ම පසුගිය කාලය වන වන විට රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන සංඛ්‍යාව 40%කින් ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසීය.සමාජයේ ඇතැම් පිරිස් රජයේ රෝහල්වලට නොයන ලෙස විවිධ මතවාද ගෙන ගියද සමස්තයක් ලෙස රජයේ රෝහල් කරා පැමිණීම වැඩි වී තිබෙන බව අමාත්‍යවරයා කීය.එමෙන්ම නේවාසික රෝගීන්ගේ පැමිණීම ද 27%කින් වැඩි වී තිබෙන බව ඔහු සඳහන් කළේ ය.මෙයට හේතුව ලෙස තමන් දකින්නේ තවදුරටත් මැද පන්තියට සහ ඉහළ මැද පන්තියට පෞද්ගලික රෝහල් වෙත යාම දරාගැනීමට නොහැකි තැනට පත්වීම බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.ඒ අනුව දැනට රජයේ රෝහල් වෙතින් සපයන සේවාවම පවත්වාගෙන යාම සඳහා අයවැයෙන් තවත් 30%ක 40%ක ප්‍රතිපාදන වැඩිවීමක් අවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් කීය. නමුත් අද වන විට අත්‍යවශ්‍ය ආහාර පාන ආදියේ පවා අලෙවිය සැලකිය යුතු ලෙසින් පහත බැස ඇති අතර එහි වඩාත් බරපතල තත්වය වනුයේ මේ වන විට ෆාමසි ආදියේ ඖෂධ අලෙවිය පවා සැලකිය යුතු ලෙසින් පහළ බැස තිබීමය.එමෙන්ම රට පුරා රෝග පීඩා බහුල වන අතරේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා එන රෝගීන් ගේ සංඛ්‍යාව පහළ වැටීම වෛද්‍යවරුන් රට හැර යන සෘජු සාධකයක් වී තිබේ.”අප කන හැටි ලිපා දනී” යන්න අපගේ සාම්ප්‍රදායික ගැමි සමාජයේ දිළිඳු බව ගෙන හැර දක්වන පිරුළකි.එහෙත්, වර්තමානයේ ඉහළ යන ගෑස් මිල හමුවේ එසේ දැන ගත යුතු ලිප දල්වා ගැනීම පවා බොහෝ දෙනකුට බරපතල ගැටලුවක් වී තිබේ.
ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම වැඩි වීම අනිවාර්ය අවශ්‍යතාවයකි.එසේ වැඩි වීමක් නැතිව මේ අන්දමට සෘජු හා වක්‍ර බදු හරහා ද ජනතාවගේ හුස්ම හිරවීම මත ආහාරපාන ඇතුළු සියලුම පාරිභෝගික භාණ්ඩ හා සේවා තුන්හතර ගුණයකින් වැඩි වී තිබේ.ගෑස් මිල ඉහළ යාමත් සමඟ පිසූ ආහාර පාන මිල තව වටයකින් ඉහළ ගොස් තිබේ.ඒ අනුව නූතන සමාජයේ මැද පන්තිකයා ජීවත් වනුයේ බාගෙට මැරුණු ගාණට ය. පරිණත යැයි කියන දේශපාලකයන් හා වගකිව යුතු නිලධාරීන් සිටින බව පැවසෙන රටක, ජනතාව දිනෙන් දිනම මෙම අවදානම් කලාපය වෙත වැඩි වැඩියෙන් සමීප වේ නම් පාර්ල්මේන්තුවේ ඔලු ගෙඩි එහා මෙහා කිරීමට වැඩි යමක් කොට තම ජීවිත බේරා ගැනීමේ පරම වගකීම ද මැද පන්තිය වෙතටම පැවරී තිබේ.මක් නිසා ද යත් වඳ පීදුණු කෙසෙල් ගසකට කෙතරම් පොහොර ජලය දැම්ම ද ඉන් කෙසල් කැනක් තබා අඩුම තරමින් කෙසෙල් මලක් වත් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.
රේණුකා දමයන්ති