සමාජය තුළ සංඝ ගෞරවය බිඳ වැටීමේ වගකීම භික්ෂූන් භාර ගත යුතුය

samajaya

ශ්‍රී ලංකාවට ආවේණික සත්ව උප විශේෂයක් වන රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කරන බවට මහත් ආන්දෝලනාත්මක පුවතක් පසු ගිය දිනවල සමාජය පුරා පැතිරුණි.මෙම සතුන් පැරණි බෞද්ධ සිද්ධස්ථාන ගණනාවක් ඇති භූමි ප්‍රදේශයක් වන ශ්‍රී ලංකාවේ ‘සංස්කෘතික ත්‍රිකෝණය’ තුළ දක්නට ලැබෙන බැවින් මොව්හු “පන්සල රිලා බලමුලුව”(Temple troop of Toque Macaques) ලෙස ද හැඳින්වෙති.එම සතුන් ලක්ෂය චීනයේ සත්වෝද්‍යාන වලට යැවෙන බවට පැවසුණ ද එය සත්‍යයක් නොවන බවත් ඔවුන් එහි දී පර්යේෂණ හෝ මිනිස් ආහාරය සඳහා ඝාතනය කෙරෙන බවටත් පරිසරවේදීහු රජයට චෝදනා කරති. එහෙත්, පරම අවිහිංසාවාදී දහමක් පදනම් කරගත් ශ්‍රී ලාංකේය බුදු සමයේ මුර දේවතාවුන් වශයෙන් සමාජය විසින් හඳුන්වනු ලබන මහ නා හිමිවරුන් ප්‍රමුඛ රූපවාහිනී “වොයිස් කට්” මගින් ජනකාන්ත මට්ටමට පැමිණි කිසිම භික්ෂුවක් ඒ මහා සත්ව ඝාතනයට එරෙහිව එක් වදනකුදු කතා කිරීම අප රටේ භික්ෂුන් කෙරෙහි පවත්නා පොදු ජන ආකල්පය බරපතල ලෙස අවප්‍රමාණ කරවන්නක් බව ඒකාන්ත වශයෙන් කිව යුතු ය. පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පමණක් එසේ අප රටේ රිලවුන් හිතුමනාපයට පිටරට වලට ගෙන යාමට ඉඩ නොදන බව පවසා සිටි අතර ඒ උන්වහන්සේ ද පරිසර ක්‍රියාධරයකු වශයෙන් ප්‍රකටව හිඳින නිසා දැයි අපට නොවැටහේ.එහි දී මෙම පුවත පිළිබඳ සැබෑ තත්වය නොදන්නා පසුබිමක වුව ඝාතනය සඳහා සතුන් එතෙර ගෙන යාම අනුමත කළ නොහැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබා දීමට මහ නා හිමි වරුන් ප්‍රමුඛ භික්ෂු ප්‍රජාව මැලි වන්නේ ඇයි?

එම කතාව පසෙක තිබිය දී ඉහත ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක සහ සමාජ මනෝ විද්‍යාත්මක ද්‍රෘෂ්ඨියෙන් විමසා බලන විට ඉස්මතු වී පෙනෙන වෙනත් පැතිකඩක් තිබේ. එනම් වර්තමානය ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව සාමාන්‍ය මහ ජනතාව හමුවේ කෙතරම් අවමානයට පත්ව තිබේද? යන්න ය.ඒ අතර කල්පිටියේ දී බීමත් නාවික හමුදා නිලධාරියකු වෙසක් දන්සලක් සඳහා සම්මාදමේ ගිය භික්ෂුවකට නිවන් මඟ කොහි දැයි විමසමින් පහර දීමේ සිද්ධියක් ගැන ද වාර්තා වෙයි.සුරාමතින් පදම් වූවකු මඟතොට දී “චීවරයක්” දුටු සැනින් සෙසු සියලු කරුණු අමතක කොට ඒ පසුපස ලුහුබැඳීම අප සාමනේර අවදියේ සිටම අසා දැක සේම අත්දැක ඇති තත්වයකි. බුදු දහම සහ එය නියෝජනය කරන භික්ෂු ප්‍රජාව සිද්ධාන්තමය වශයෙන් සුරාවට එරෙහි වීමේ මුල්ම හේතුව ය. ඒ සඳහා ඉවහල් වන දෙවන හේතුව වනුයේ කුමන හේතුවක් මත හෝ භික්ෂුවක් මහ මඟ ප්‍රසිද්ධියේ ගිහියකු මෙන් තමන් සමඟ ගහ බැණ ගැනීමට නොඑන බව ඒ බේබදු මිනිසා දැන සිටීම ය. එහෙත් ,ඉහත සඳහන් සිදුවීම සම්බන්ධයෙන් සිතා බැලීමේ දී ඉහත සඳහන් පටු බේබදු පරාසය ඉක්මවන වෙනයම් මනෝමය සිද්ධාන්තයක් ඊට ගැබ්ව ඇති බවක් හැඟේ. එම සිද්ධියෙන් පැවසෙන අන්දමට එම හමුදා නිලධාරියා භික්ෂුවට පහර දී ඇත්තේ ඒ භික්ෂුව ගේ හෝ සමස්ත ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාවේම යම් නුගුණයක් මුල් කොට නොවේ. ඒ පහර කෑමට ලක් වූ භික්ෂුව නිවන් මඟ හැර වෙනයම් මඟකට පිවිස හිඳින බවට ඒ හමුදා නිලධාරියාට ඒත්තු ගොස් තිබීම නිසා ය.

මත්පැන් පානය මුල් කොට ප්‍රකෘතියෙන් බැහැර ඔහුගේ මනැසට පිවිසි එම අදහස හුදෙක් උමතු සිතුවිල්ලක්ම නොවේ.එහි දී සිදුව ඇත්තේ වත්මන් ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව මේ වන විට තම පරමනිෂ්ඨාව වන නිර්වාණය පදනම් කර ගත් ආර්ය මාර්ගයෙන් බැහැරව නන්නත්තාර වී හිඳින බවට ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන ජනතා ආකල්පය එම නිලධාරියා තම බීමත් කම මගින් ප්‍රචණ්ඩ සාපරාධී ක්‍රියාවක් ලෙස ඉස්මතු කිරීම ය.එම සිද්ධි දාමයට එක් වන අලුත්ම සිදුවීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති පුටුවට ද උගත් භික්ෂුවක් පිවිසීම ය.එහෙත් ඒ සම්ප්‍රාප්තිය ශාසනික වශයෙන් අර්ථ දැක්වීමට ඒ භික්ෂුවට තබා කිසිදු ගිහි පැවිදි විද්වතකුට නොහැක.ගිහියන් ගේ පෞද්ගලික ජීවිතයට එබී බැලීමක් බුදු සමයෙන් සිදු නොවේ.ඒ සඳහා දෙන උපදේශය වනුයේ පස් පව් දස අකුසල් නොකොට පන්සිල් දස කුසල් වල නියුතු වෙමින් තම ජීවිතය පවත්වා ගෙන යාම පමණි.එහෙත් ගිහියන්ට බුදු දහමින් දී ඇති එම නිදහස ශාසනික වශයෙන් ප්‍රඥප්ති ගත වී ඇති භික්ෂූන්ට හිමි ව නැත.භික්ෂූන්ගේ පෞද්ගලික ජීවිතය සීමාවී ඇත්තේ පෞද්ගලික සනීපාරක්ෂාව ආදී සීමිත පාරාසයකට පමණි.තත්වය එසේ තිබිය දී කිසියම් භික්ෂුවක් දේශපාලන පක්ෂයක සභාපති පුටුවේ හිඳ ගැනීම ශාසනික වශයෙන් මොන තරම් “නොහොබිනා කමක්” ද යන්න අප හොඳින් සිතා බැලිය යුතු ය.

ඇත්ත ඇති සැටියෙන් කතා කළහොත් ගත වු දශක කිහිපය තුළ ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව පක්ෂ දේශපාලනයට ගැති වීම, කූට ජාවාරම්කරණය අධික කාමභෝගීත්වය යන කරුණු මත බුද්ධ චීවරය කෙතරම් අවභාවිතාවට ලක් කොට තිබේද? යත් ඔවුන් ගේ එම නොමනා චර්යාවන් සාම්ප්‍රදායික බෞද්ධ ජන විඥානය සමඟ ගැටුම්කාරී මට්ටමක් දක්වා ප්‍රවර්ධනය වී තිබේ. එනිසා අප ඉතා හොඳින් දන්නා සහ විශ්වාස කරන අන්දමට අද වන විට ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජය තුළ “සංඝ ගෞරවය” යනුවෙන් හැඳින්වෙන සාම්ප්‍රදායික සමාජ සම්මතය බරපතල ලෙස දෙදරා ඉරිතලා ගොසිනි. ඒ වෙනුවට අද වන විට අප සමාජයේ බෞද්ධයන් සැළකිය යුතු පිරිසකගේ මනැස් තුළ භික්ෂුන් කෙරෙහි සියුම් ද්වේෂයක් පවා ස්ථාපිත වී ඇති බව නිසැක ය.

ශාසනික වශයෙන් කිසිදු අර්ථ කථනයකට ලක් කළ නොහැකි “විහාරාධිපති” නම් තනතුර මගින් විහාරස්ථානය සම්බන්ධ මූල්‍ය පරිපාලනය සහ සෙසු සෑම කළමණාකාර කටයුත්තක්ම සියතට ගෙන හිඳින බොහෝ භික්ෂුන් මේ වන විට එදිනෙදා බුදු සමය සුරැකීම “යකඩ කට වල”ට පවරා ශාසන සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන බවට පොදු සමාජමය චෝදනාවක් එල්ල වී තිබේ. විශේෂයෙන් කිසිදු විචාරාත්මක පදනමකින් තොරව නාගරික අර්ධ නාගරික සේම ගම්බද ප්‍රදේශවල පවා බරපතල ශබ්ද දූෂණයක් ඇති වන අන්දමට ශබ්ද විකාශන මගින් උදය, සවස පන්සිල් සහ සෙත් පිරිත් ප්‍රචාරය කිරීමේ නව විලාසිතාව අපගේ බෞද්ධයන් රැවටීම පිළිබඳ මෝඩ උපාය මාර්ගයකින් බැහැරව නොයන බව අප අවංකවම පිළිගත යුතු ය. එසේ ශබ්ද වාහිනී මගින් උදය හවස යකඩ හඬින් විකාශනය වන පංච ශීලය සමාදන් කරවීම් අනුව පන්සිල් සමාදන් වන සහ සැදැහැ සිතින් යුතුව එම සෙත් පිරිත් සජ්ජායනා කරන එකම බොදුනුවකු වත් නොමැති බව සහසුද්දෙන්ම දැන දැනත් අප රටේ විහාරාධිපති භික්ෂුන් බුදු දහම සුරැකීමේ දෛනික රාජකාරිය යකඩ කටවල් වලට භාර කිරීම තරම් තවත් විහිළු අප සමාජයෙන් සපයා ගත හැකි නම් ඒ ඉතා අඩුවෙනි.

නමුදු එවන් තත්වයක් යටතේ බෞද්ධ ආගමික සහ සංස්කෘතික වශයෙන් වැදගත් දින සහ ස්ථාන මුල්කොට අප රටේ සිදුවන මහා පරිමාන ජාවාරම් ජාලය ද භික්ෂු ප්‍රධානත්වයෙන් සහ කළමණාකරණයෙන් සිදුවන අතර එහි බරපතල ම ජාවාරම් යාන්ත්‍රණය වෙසක් පොසොන් පින්කම් මුල් කොට ක්‍රියාත්මක කෙරෙනු ඇත.

වර්තමාන වාණිජවාදී සමාජය තුළ බුදු සසුන ජාවාරම්කරණයට ලක් වීම පිළිබඳ “බුද්දස්ස කෝලම” නම් කදිම උපහාසාත්මක නාට්‍යයක් එක් දහස් නවසිය අනූව දශකයේ මුල් භාගයේ විශ්ව විද්‍යාල සිසුන්ව සිටිය දී අපට නැරඹීමට ලැබිණ. නමුදු මේ වන විට නාට්‍යය වේදිකා ගත නොවනුයේ එහි තිබූ හාස්‍යය සහ උපහාසය මුසු අංග මේ වන විට සමාජයේ සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇති නිසා ද විය හැක. ඒ අනුව ඉහත සඳහන් සියළු ආකාර වලින් සමාජය තුළ සංඝ ගෞරවය බිඳ වැටීමේ වගකීම භික්ෂූන් විසින්ම භාර ගත යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමු.

කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ