සමාජය නොසතුටින් පසුවීමේ අවසන් ප්‍රතිඵලය කුමක් විය හැකිද?

“අද අප රටේ මිනිසුන් ජීවත් වන්නේ සතුටින්ද?” කියා කිසිවකු මගෙන් විමසා සිටිය හොත් ඒ සඳහා දිය හැකි සරලම පිළිතුර වන්නේ ‘නැත’ යන්න ය. මා එසේ පවසනුයේ මා නියුක්තව හිඳින සමාජ විද්‍යා විෂය පථයට අනුව එවැන්නක් පැවසීම පිණිස වන ශාස්ත්‍රීය පසුබිම මේ වන විට උදා වී ඇති බැවිනි. ඒ වර්තමාන නොවිධිමත් සහ අස්ථායී දේශපාලන තීන්දු තීරණ අනුව බව බැලූ බැල්මට ම කිව හැකිව තිබේ.

සමාජයීය සතුට නොඑසේ නම් මානසික යහපැවැත්ම රඳා පවතිනුයේ පුද්ගල මානසික යහපැවැත්ම හා සෘජු ලෙස බද්ධ වීමෙනි.

මෙම සතුට පුද්ගල හෙවත් පෞරුෂ සාධක මත මෙන්ම පවුල් ප්‍රජා සහ සමාජ සාධක මත රඳා පවතී. “මොනම විදිහකින් වත් සතුටට පත් වෙන්නේ නැති මිනිහෙක්” සමහරු ඇතැම් පුද්ගලයන් එසේ හඳුන්වති. ඒ සඳහා ඔවුන් ගේ පුද්ගල, පෞරුෂ, මනෝමය සේම ඇතැම් විට ජෛවමය සාධක පවා ඉවහල් වනු ඇත. මේ අතර තමන් ගේ පවුල් පරිසරය තුළ නොසතුටක්, අසංතෘප්තියක් අත්විඳින පුද්ගලයෝ
ද සිටිති.

තම පවුල් පරිසරය තුළ නොසතුටක්, අසහනකාරී බවක් පළ කරන මුත් ඉන් මිදුණු පසු ඔවුන් සතුටින් කල්ගත කරනු පෙනෙයි. මේ අතර තමන් ජීවත් වන ප්‍රජා හෙවත් සමාජ ඒකක සම්බන්ධ ගැටළු අර්බුද කම්කටොළු නිසා ද සමහරෙක් දුකට, චිත්ත පීඩාවට අසහනයට පත් වෙති. “මට නම් දැන් ඒ ගමේ ඉඳලා එපා වෙලා තියෙන්නේ” “ඒ මිනිස්සුත් එක්ක එතන රස්සාව කරනවට වැඩිය හොඳයි මහ පාරේ බැහැලා හිඟා කන එක” සමහරුන් එසේ පවසනු අපි අසා ඇත්තෙමු.

එහෙත්, අද අපගේ අවධානයට යොමු වනුයේ ඒ සියලු තත්වයන් අතික්‍රමණය කළ මේ වන විට අප ජන සමාජය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නැතහොත් “ඔඩු දුවමින් පවතින”සමාජයීය නොසතුට, අසහනය පිළිබඳව ය.

මිනිසුන් ඇතුළු සියළු සත්ව වර්ගයා තමන් ගේ ජීවන පැවැත්මට එරෙහි වන අනේක විධ සාධක හමුවේ තැති ගනිති; බියට නැතහොත් ප්‍රචණ්ඩත්වයට පත් වෙති. ඒ අනුව ඔව්හු සටන් වැදීම හෝ පලා යාම යන දෙකින් එකක් තෝරා ගනිති.

මිනිසුන් ගේත් සෙසු සියලු සතුන් ගේත් පොදු අවශ්‍යතා වනුයේ ආහාර පාන, භූමිය හෙවත් වාසභූමි කලාපය සහ ලිංගික අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම පිණිස වන ස්වභාවික ඉඩ ප්‍රස්තාවන් ය. අප සුලබව දකින සුනඛ පොර කෑම් වල සිට සියලු සතුන් අතරේ ගැටුම් ඇති වනුයේ ඉහත සඳහන් සාධක තුන මුල් කර ගනිමිනි.

මිනිසුන් තුළ ද මෙම සත්ව ගති එලෙසින්ම පිහිටා ඇති අතර සතුන් ගේ මොළ වලට වඩා මිනිස් මොළය සංකීර්ණ වීම හේතුවෙන් එම මූලික අවශ්‍යතා තුන වඩාත් සංකීර්ණ සහ විවිධාංගීකරණ ස්වරූපයක් ගනු පෙනෙයි.එමෙන්ම, එය සමාජයීය වශයෙන් ද වෙනස් වන බවක් දැකිය හැක. නිදසුනක් ලෙස අතීත සරල, කෘෂිකාර්මික සමාජ රටාවක් තුළ මිනිසා නොසතුටට,අසහනයට පීඩනයට පත් කළ සීමිත සාධක වලට වඩා නූතන තාක්ෂණික හා පරිභෝජනවාදී සමාජය අසහනයට පීඩනයට පත් කරන සාධක, ප්‍රමාණය අති විශාල අයුරින් ඉහළ නැංවී තිබේ.

ඒ සඳහා වන හොඳම නිදසුන වනුයේ මේ දිනවල සිදු කෙරෙන විදුලි කප්පාදුව සහ ඉන්ධන හිඟයයි. මීට දශක කිහිපයකට පෙර අප සමාජයේ බහුතරයකට කිසිදු වැදගත් කමක් නොතිබුණු විදුලි බලය මේ වන විට අනිවාර්ය අවශ්‍යතාවක් ව පවතී. එමෙන්ම මීට දශක කිහිපයකට පෙර එදිනෙදා ගමන් බිමන් වලදී දෙපය කෙරෙහි වැඩි විශ්වාසය තැබූ සමාජයට මේ වන විට පෙට්‍රල් හෝ ඩීසල් නොමැතිව කිලෝ මීටර් දෙක තුනක් පසු කර ගැනීමේ අපහසුවක් පවතී.

එමෙන්ම වර්තමානයේ කෘෂි අස්වනු නෙලීම පවා ඉන්ධන මත සිදුවීමේ සම්භාවිතාව කෙතරම් ඉහළ නැඟ තිබේද?යන්න මේ දින වල නැඟෙන ජනතා හඬ නැගීම් වලින් පෙනී යයි. මෑතක් වන තුරු ආහාර පිසීම පිණිස ඉන්ධන ප්‍රභවයක් ලෙස දර යොදා ගත් ගෘහණියන් අද වන විට ගෑස් පරිභෝජනයට කෙතරම් හුරු වී තිබේද ? යන්න ද පසුගිය කාලයේ රට පුරා පැතිර ගිය සේම වටිනා මිනිස් ජීවිත කිහිපයක් අහිමි කිරීමට පවා මුල් වූ ගෑස් අර්බුදයෙන් තහවුරු වෙයි.

මිනිසුන් ගේ අවශ්‍යතා මූලික සහ සෙසු හෙවත් අනෙකුත් අවශ්‍යතා යනුවෙන් දෙකොටසකි. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන සහ ඖෂධ යන පොදු මිනිස් මූලික අවශ්‍යතා ව්‍යුහය අද වන විට කොතෙක් ව්‍යාප්ත වී තිබේද? යත් මීට දශක කිහිපයකට පෙර මෙරට ජනතාව හඳුනා ගත් ජංගම දුරකථනය පවා නූතන සමාජයේ බොහෝ දෙනෙකු තම මූලික අවශ්‍යතාවයක් බවට පත් කර ගෙන තිබේ.

නූතන සමාජයීය පැවැත්ම උදෙසා සන්නිවේදනය අත්‍යවශ්‍යම දෙයක් බවට පත්ව තිබීම ඊට හේතුව ය. මීට මඳ කලෙකට ඉහත සමාජය අහිගුණ්ඨික නමින් හඳුන්වන නයින් නටවන තරුණයෙකු ගේ අතේ ස්මාට් දුරකථනයක් තිබෙනු දැක මම ඔහුගෙන් සුහදශීලීව ඒ පිළිබඳව විමසා සිටියෙමි.එවිට ඔහු කියා සිටියේ වර්තමානයේ නයින් නැටවීම සඳහා වන ඇනවුම් ඒ දුරකථනය ඔස්සේ ලබා ගන්නා බවයි.

විශේෂයෙන් නාගරික කලාප වල කුඩා දරුවන් පිනවීම පිණිස දෙමාපිය වැඩිහිටියන් වට්සැප් ආදී විද්‍යුත් ක්‍රම මගින් තම ජංගම දුරකථනයට ඇනවුම් ලබා දෙන බව ඒ තරුණයා කීය. ඒ අනුව ඔහුගේ දිවි පැවැත්මට ඉවහල් කර ගන්නා ඒ ජංගම දුරකථනය ඔහුගේ මූලික අවශ්‍යතාවක් නොවන බව පැවසීමට මට ඇති අයිතිය කුමක්ද?

සමාජයක පවතින නොසතුට මානසික අසහනය හා පීඩනය මහජන සාමය කඩවීමට, සමාජයීය වශයෙන් ගැටුම් අර්බුද නිර්මාණය කිරීමට ද සෘජුවම හේතු වෙයි. ඇතැම් විට ඒ ගැටුම් අර්බුද සාපරාධී ක්‍රියා දක්වා ද දික්ගැස්සී යා හැක. මේ දිනවල අප රටේ ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට ඇතිවන එවන් ගැටුම් අර්බුද සමනය කොට මහජන සාමය පවත්වාගෙන යාම සඳහා විශේෂ පොලිස් බල ඇනි පවා යෙදවීමට සිදුව තිබේ. එමෙන්ම එම ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් දැනට ගනු ලබන පැලැස්තර වාදී ක්‍රමෝපායන් ගෙන් පීඩාවට පත් වන ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙසින් හැසිරීම අද වන විට සාමාන්‍ය තත්වයක් බවට පත් ව තිබේ.

සමාජය තුළ සම්පත් බෙදී යාමේ විෂමතාවයන් මුල් කොට ලෝක දේශපාලන ගමන් මඟ පවා වෙනස් වූ අවස්ථා බොහොමයකි. ඒ සඳහා වන ලොව ප්‍රධානතම නිදසුන් අතරට 1789 – 1799 අතර දියත් වූ ප්‍රංශ විප්ලවය 1917 දියත් වූ රුසියානු විප්ලවය සහ 1953 කියුබානු විප්ලවය දැක්විය හැක.

ඉහත සඳහන් දේශපාලන විප්ලව හෙවත් සමාජ අරගල දියත් වූ සමාජ පසුබිම් වලට වඩා මෑත කාලීන ශ්‍රී ලාංකේය සමාජ පසුබිම ඉඳුරාම වෙනස් ය.

ඉහත සඳහන් ඇතැම් විප්ලව වලදී විශේෂයෙන් කැපී පෙනුණු ධනේෂ්වර නිර්ධන පන්ති ගැටුමට අදාළ පන්ති විෂමතාවයන් ශ්‍රී ලාංකේය සමාජය තුළින් දක්නට නොපුළුවන. එමෙන්ම හැත්තෑවේ දශකය අවසාන වීමත් සමඟ පැන නැඟි විවෘත ආර්ථිකය මගින් අප සමාජයේ මධ්‍යම පන්තිය රට පුරා විසිරණය වූ අතර අද වන විට එය නාගරික, ග්‍රාමීය වශයෙන් සේම ඉහළ පහළ වශයෙන් බෙදා වෙන් කර ගැනීම පවා අසීරු කරුණක්ව පවතී. නමුත් වත්මන් සමාජය තුළින් අයුතු ධනෝපායන් මුල් කොට ගත් ජාවාරම්කාර පැළැන්තියක් අද වන විට අප රටේ ධනේෂ්වර පන්තියේ භූමිකාව රඟ දක්වනු පෙනෙයි.

එම අයුතු ධනෝපායන මාර්ග අතරට නීති සහ සමාජ විරෝධී ක්‍රියා සේම දේශපාලනික අවභාවිතය ද ප්‍රබල ලෙස යොදා ගෙන ඇති බව අද වන විට ප්‍රසිද්ධ රහසකි. පුද්ගල සහ පවුල් වශයෙන් නූතන සමාජයේ මතුව පෙනෙන එම අනේක විධ ජාවාරම්කාර පැළැන්තිය විසින් දිගින් දිගින් දිගටම පොදු සම්පත් ගසා කෑම සම්බන්ධයෙන් පවත්නා සමාජ ප්‍රතිරෝධය ශීඝ්‍රයෙන් ඉස්මතු වීමේ තීරණාත්මක කඩ ඉමක් දැන් එළැඹී ඇත.

ඒ අනුව මෙම තත්වය මුල්කොට සමාජය පුරා පැන නඟින නොසතුට, අසහනය,පීඩනය සහ කලකිරීම වර්තමාන නෛතික රාමු සුණු විසුණු කරන දැවැන්ත සමාජමය අරගලයක් දක්වා ඉහළ නැංවීමටත් එය වටිනා මිනිස් ජීවිත සහ දේපල අහිමි කරමින් අති මහත් ජාතික ව්‍යසනයක් ඇති කරන සන්නද්ධ අරගලයක් දක්වා දුරදිග යාමටත් ඇති අවකාශය පහසුවෙන් බැහැර ලීමට අප කිසිවකුටත් නොපුළුවන.

සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර

එතෙර - මෙතෙර