සරසවි ඇදුරු හිඟය සුළු කොට තැකිය හැකිද ?

sri lanka government university list sri lankan universities list ceylon campus

රටක සංවර්ධනයට, යහපත් ඉදිරි ගමනකට බලපාන්නා වූ ප්‍රධන පෙලේ හේතු අතර එම රටෙහි සිටින බුද්ධිමතුන් යන සාධකයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මන්ද රටක් සම්බන්ධව සුවිශේෂී තීරණ ගැනීමේ දී, සංවර්ධන උපාය මාර්ග සකස් කිරීමේ දී, නව සංවර්ධන සැලසුම් සහ ව්‍යාපෘති සකස් කිරීමේ දී ප්‍රධාන කාර්යයක් ඉටු කරන්නේ ඔවුන් විසින් වීම නිසා ය. එමෙන්ම අනාගතය වෙනුවෙන් මේ හා සමාන බුද්ධිමතුන් පරපුරක් නිර්මාණය කිරීමේ වගකීම පැවරෙන්නේ ද ඔවුන් මතම ය. එසේ හෙයින් ඔවුන් රටක ජීවනාලිය, කොඳූ නාරටිය ශක්තිමත් කිරීම කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කරයි.

නමුත් මෑතක සිට අප රටේ බුද්ධිමතුන් සම්බන්ධව යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ. ඒ ඔවුන් රට හැර යාම ය.
සාමාන්‍යයෙන් බුද්ධිමතුන් රට හැර යාම බොහෝ කාලයක සිට සිදුවූවකි. නමුත් පසුගිය වසර තුන වැනි කාලය තුළ එහි ශීඝ්‍ර වර්ධනයක් දකින්නට ලැබුණි. මේ සම්බන්ධව ප්‍රවෘත්ති නිතර දකින්නට ලැබුණු බැවින් බොහෝ දෙනෙකු තුළ මේ සම්බන්ධව යම් අවබෝධයක් තිබෙන්නේ යැයි සැලකිය හැකි ය.

අධ්‍යාපන ක්ෂේත්‍රය, විශේෂයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කෙරෙහි මේ තත්ත්වය අහිතකර ලෙස බලපෑම් ඇති කරයි. රටක් සඳහා නව බුද්ධිමතුන් බිහි කිරීම සිදුවන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළිනි. විශ්වවිද්‍යාල තුළ විවිධ අධ්‍යාපන ක්ෂේත්‍ර උදෙසා සැලකිය යුත් තරම් අධ්‍යයන කාර්ය මණ්ඩලයක් සිටීම මේ සඳහා අත්‍යවශ්‍ය තත්ත්වයකි.

 

අප රට ආර්ථක අර්බුදයකට මුහුණ දීමෙන් පසු රජය සිය ආදායම වැඩිකර ගැනීමේ එක් ක්‍රමයක් ලෙස කල්පනා කළේ ආදායම් බදු ඉහළ දැමීම ය. මෙය නිසි අධ්‍යයනයකින් තොරව සිදුවූවක් බව පෙනෙන්නයට තිබේ. මේ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු රටේ සියලු බුද්ධිමතුන්ගේ ආදායම මත ඉතා ඉහළ බද්දක් අය කරගන්නට රජය තීරණය කළේ ය. බදු ගෙවීමෙන් පසු තමාට ඉතිරිවන ප්‍රමාණය මත සෑහීමකට පත් නොවිය හැකි තැන මේ සම්බන්ධව නැවත සිතා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටි රජය එයට යහපත් ප්‍රතිචාරයක් දක්වනු දක්නට හැකි වූයේ නැත. ඉන්පසු සිදුවූයේ හැකියාවක් ඇති සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැර යාම ය. විදෙස් රටවල දී ද බදු ගෙවිය යුතු වුවත්, ඔවුන් අප රටේ ද ගන්නා වැටුප මෙන් බොහෝ ගුණයකින් ඉහළ වැටුපක් විදෙස් රටවල දී ලබා ගන්නා බැවින් බදු ගෙවීමෙන් පසු ව වුව ඔවුන්ට සැලකිය යුත් තරම් මුදලක් අත ඉතිරි වෙයි. ඒ නිසා විශ්වවවිද්‍යාල ආචාර්යවරු බොහොමයක් රට හැර ගිය හ.
විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ද ඇතුළුව රටේ විවිධ පිරිස් තුළ මේ තත්ත්වය සම්බන්ධව ඇති වී තිබෙන සිත්තැවුල නම්, දැනට සිටින හොඳම ආචාර්යරුන් රට හැර ගිය පසු ඇතිවන පුරප්පාඩු පිරවීම සිදුවන්නේ විදෙස් ගත වීමේ හැකියාවකින් නොමැති, ඉහළ සුදුසුකම් නොමැති පුද්ගලයන්ගෙන් වීම සම්බන්ධව ව. එහි ප්‍රතිඵලය වන්නේ දීර්ඝකාලීන අත්දැකීම් සහිතව ඉගැන්වීම් කටයුතු සිදුකරන පළපුරුදු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තරම් ගුණාත්මක ආකාරයකින් දැනුම ලබාදීම පළපුරුද්ද අඩු ආචාර්යවරුන් අතින් ඉටු නොවීම නිසා ය. සිසුන් සහ දෙමාපියන් පවසන්නේ එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ගුණාත්මක බවින් අඩු පිරිසක් විශ්වවිද්‍යාලවලින් බිහිවීම ය.

ඔවුන් නගන තර්කයේ වරදක් පෙනෙන්නට නැත. පළපුරුද්දෙන් අඩු ආචාර්වරුන්ගෙන් බිහි වන අඩු ගුණාත්මක තත්ත්වයකින් යුක්ත උපාධිධරයන්ට රටේ අනාගතය වෙනුවෙන් කෙතරම් ගුණාත්මක ආකාරයකින් දායක විය හැකි ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි වේ.
කෙසේ නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, එහි සභාපතිවරයාගේ නිල අත්සනින් සහ මුද්‍රාවෙන් යුක්තව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඇතැම් සංගම් සහ ප්‍රවෘත්ති ප්‍රකාශ මගින් පෙන්වන තරම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් රට අතහැර ගොස් නොමැති බව ය. මෙය සාමාන්‍යයෙන් රට හැර යන ප්‍රමාණයට වඩා අති විශාල වෙනසකින් යුක්ත නොවන බව එම නිවේදනයේ සඳහන් වෙයි.
අප රටේ විශ්වවිද්‍යාල මට්ටමේ ආයාතන 22 ක් පවතින අතර 2021, 2022 සහ 2023 වසරේ මේ වන විට සේවයෙන් ඉල්ලා අස්වීම, විශ්‍රාම යාම සහ සේවය හැර යාම යන කාරණා තුන නිසා විශ්වවිද්‍යාල පද්ධතියට අහිමි වී ඇති ආචාර්යවරුන්ගේ ප්‍රමාණය 709 කි. එනම් වසරකට 236 දෙනෙක් පමණ මේ ආකාරයට විශ්වවිද්‍යාල පද්ධතියට අහිමි වී තිබේ. මෙය ද සැලකිය යුතු තරම් පිරිසක් වුව ද, පසුගිය දිනෙක විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති ශ්‍යාම් බන්නැහැක පවසන ලද තරම් ප්‍රමාණයක් නොවේ. ඔහු එක් ප්‍රවෘත්ති හමුවක දී පවසා තිබුණේ 2023 වසරේ මුල් මාස හයේ දී පමණක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 600 ක් රට හැර ගොස් ඇති බව ය. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිවේදනයේ හැටියට එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැත.
පසුගිය වසර තුනේ දී සේවයෙන් ඉල්ලා අස් වී ඇති ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 382ක් වන අතර සේවය අතහැර ගිය සංඛ්‍යාව 155 කි. විශ්‍රාම ගොස් ඇති පිරිස 172 කි.

2023 වසරේ මේ වන විට ඉල්ලා අස් වූ ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 135 ක් වන අතර සේවය අතහැර ගිය සංඛ්‍යාව 63 කි. විශ්‍රාම ගිය ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 20 කි. සේවයෙන් ඉල්ලා අස්වීම 2021 වසරේ 57 ක් පමණක් වූ නමුත් 2022 දී 190 ක් සහ 2023 දී 135 ක් එය වැඩි වී තිබේ. එයින් පෙනෙන්නේ අප රටේ ආර්ථික අර්බුදය ආරම්භයේ දී ඉල්ලා අස් වූ ප්‍රමාණය ඉන්පසු සෑහෙන ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව ය. එසේ හෙයින් විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන කාර්ය මණ්ඩලය තුළ යම් ගැටලුවක් නොපවතින්නේ යැයි පවසන්නට උත්සාහ කළ ද එසේ නොවන බව පෙනී යයි. මෙය විවිධ සංගම්වලින් පෙන්වා දෙන තරම් ප්‍රමාණයක් නොවුන ද සාපේක්ෂව ගත් කළ ගැටලුකාරී තත්ත්වයකි. ඇතැම් සුවිශේෂී විෂයයන් සඳහා බොහෝ විට සිටින්නේ අතලොස්සක් තරම් වූ ආචාර්යවරුන් පිරිසක් වන්නට පුළුවන. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වාර්තාවට අනුව අස් වී හෝ විශ්‍රාම ගොස් ඇත්තේ හුදෙක් ‘සුළු’ ගණනක් වුව ද, එම සුළු ගණන තුළ කලින් සඳහන් කළ අතලොස්ස සිටිය හැකි ය. එවිට එය දරාගත නොහැකි පාඩුවක් වන බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ.
එබැවින් මේ තත්ත්වය ඉතා සියුම්ව විමසා බැලිය යුත් කාරණයක් බවට පත් ව තිබේ. බලධාරීන් මේ ගැටලුව වෙත නිසි අවධානයක් යොමු නොකළ හොත් සිදුවන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය ඉදිරියේ දී තවත් වර්ධනය වීම මෙන්ම ඒ නිසාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ඇති ගුණාත්මක තත්ත්වය ද පිරිහී යාමය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර