සල්ලි කොළ මැල්ලුම් කොළ ගාණට ගිය හැටි අද ආණ්ඩුව මුදල් අච්චු ගසන්නේ රජයේ මුද්‍රණාලය නිවේදන අච්චු ගසන්නා මෙනි. කිසිදු පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිපාක ක්රමාණුකූලව ජනතාව අත්විඳිමින් සිටිති. අද රුපියලේ තබා රුපියල් සියයේ කොලයක පවා වටිනාකමක් නැත.
රුපියල් සියයක් වෙළෙද පොලට රැගෙන ගොස් මිලදී ගත හැක්කේ බුලත් විට දෙයක් වැනි දෙයක් පමණි.රුපියල් දහසේ මුදල් නෝට්ටුවට ගත හැක්කේ සොච්චමක් පමණකි. වෙළෙන්දාගේ කිසිදු ආරෝවකින් තොරව රුපියල් පන්දසේ නෝට්ටුවක් දිගු කොට චූන් පාන් රථයකින් බනිස් ගෙඩියක් මිලට ගන්නට වුව පුළුවන.
මුදල් අච්චු ගැසීම යනු රුපියල් සදහා පවතින වටිනාකම අඩුවීමකි. ඕනෑම දෙයක අතිරික්තයක් ඇතිවන අවස්ථාවේදී එහි වටිනාකමක් නොමැත. එනයින් ගත් කළ රුපියල් වැඩිවන කළ රුපියල් හි වටිනාකම ද පිරිහී යනු ඇත.
ඊට හොදම උදාහරණය සිම්බාබ්වේ රාජ්‍යයයි.සිම්බාබ්වේ රාජ්‍ය කොපමණ මුදල් අච්චු ගැසුවා ද යන්න පැහැදිලි වන්නේ ඔවුන් ට්‍රිලියනයක නෝට්ටුව ද මුද්‍රණය කිරීම හේතුවෙනි.
පාන් ගෙඩියක් මිලදී ගැනීමට බෑගයක මුදල් පුරවා රැගෙන යා යුතු තැනට සිම්බාබ්වේ වැටුණේය. සමහරු වීල් බැරෝවක මුදල් පුරවාගෙන ගියෝය. මෙලෙස මුදල් අච්චු ගැසුවහොත් තවත් වසර දෙක තුනක් යන විට අපට ද එතනට පැමිණිමට නොහැකි නොවනු ඇත.
සිම්බාබ්වේ රාජ්‍යයේ මුදල් අච්චු ගැසීම නතර වූයෙන් ඔවුන් සිම්බාබ්වේ ඩොලර් භාවිතය අත් හිටුවා ඇමරිකානු ඩොලරය භාවිතයට ගත්තේය.
දැන් ඔවුන්ගේ මුදල් ඒකකය වන්නේ ඇමරිකානු ඩොලරයයි. මුදල් අච්චු ගැසීමේ ආනිශංස එසේ වුවද අපේ මහ බැංකුව හා මහ බැංකු අධිපතිවරයා විශ්වාස කරන්නේ මුදල් අච්චු ගැසීමෙන් රට තුළ තිබෙන මුදල් හිඟයට කෙටි කාලීනව පිළියම් යෙදිය හැකි බව ය.
ශ්‍රී ලංකා මහ බැංකුව 2020 ජනවාරි සිට මේ දක්වා අච්චු ගසා ඇති මුදල රුපියල් කෝටි 138,768 කි. 2021 ඔක්තෝම්බර් 15 දා දිනයේ පමණක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 19.63 කි.
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ 1950 සිට 2020 ජනවාරි 01 දා දක්වා වසර 70 ක කාලය තුළ අච්චු ගසා තිබු මුළු මුදල මෙන් විසි ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුළ පමණක් අච්චු ගසා ඇත. මෙම මාස 20 ක කාලය තුළ අච්චු ගැසූ මුළු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබේ.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට පත්වීමෙන් පසු මේ දක්වා අච්චු ගසා ඇති මුදල රුපියල් කෝටි 17804 කි. මුදල් අච්චු ගැසීමේ තීරණය ගනු ලබන්නේ මහ බැංකුවේ තිබෙන මුදල් මණ්ඩලය මගිනි.
එහිදී අච්චු ගසනු ලබන මුදල් ප්‍රමාණය ද තීරණය වන අතර පසුව මහ බැංකුව ලබා දෙන ලිඛිත නියෝගයක් ප්‍රකාරව බියගම පිහිටි තෝමස් ඩිලාරෝ ආයතනය මගින් රුපියල් නෝට්ටු ලෙස හෝ කාසි ලෙස මුද්‍රණය කරනු ලබයි.
තෝමස් ඩිලාරෝ මුද්‍රණ සමාගම බ්‍රිතාන්‍ය මව් සමාගම කරගත් නෝට්ටු මුද්‍රණ සමාගමකි. එහි ශාඛා කිහිපයක් ලොව පුරා රටවල් කිහිපයක පවතින අතර එක් ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටා තිබේ.
මෙහි ජාත්‍යන්තර මුදල් නෝට්ටු පවා මුද්‍රණය කරනු ලබයි. තෝමස් ඩිලාරෝ සමාගම පරයා මහ බැංකුව මුද්‍රණ සමාගමක් බවට පත්ව ඇත.අතීතයේ කවි කොල මුද්‍රණය කළ සේ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටියි.
රටේ බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට රුපියල් මුද්‍රණය කිරීම සෘජුවම හේතුවී තිබේ. ඩොලරයේ අගය අසීමාන්තිකව පහත බසිමින් තිබේ.රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ සෑම කාලයකම මෙලෙස රුපියල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටිති.
රුපියල් 5000 ක මුදල් නෝට්ටුව මුද්‍රණය කෙරුණේ ද 2005 – 2010 රාජපක්ෂ පාලනය තුළ ය. මෙම මුදල් අච්චු ගැසීමේ වේගය ගත් කළ තව වසරක් යන විට රුපියල් 10,000 ක මුදල් නෝට්ටුව පවා මුද්‍රණය වනු ඇත.
රුපියල් 5000 මුදල් නෝට්ටුව මුද්‍රණයෙන් පසු ගෙවුණු වසර කිහිපය තුළම මෙම මුදල් නෝට්ටුව මාරු කර ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය.නමුත් මේ ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසු අධික ලෙස රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කිරීම මත සියළු සල්ලි කොළ මැල්ලුම් කොළ ගාණට ගොස් තිබේ.
රුපියල් 5000 කින් කළ හැකි දෙයක් නොමැති බව දැන් පැහැදිලි ය. ගෑස් සිලින්ඩරයක් ගෙන කෙළවල්ලා හෝ තලපත් මාලු කිලෝවක් මිලදී ගත් පසු රුපියල් 5000 නෝට්ටුව අවසන් කර ගත හැකි ය.
රුපියල් පන්දහසක නෝට්ටුවක ගෙන වෙළෙදපොළට ගොස් ඉහත භාණ්ඩ දෙවර්ගය ගත් පසු කිසිදු මුදලක් ඉතිරි නොවී නැවත නිවසට පැමිණිමේ “භාග්‍යය” වත්මන් රජය අපට උදාකර දී තිබේ.
මහ බැංකුව සතු විදේශ වත්කම් ඩොලර් බිලියන 2.5 දක්වා අඩුව තිබේ. මෙම වසරේ දෙසැම්බර් වන විට ගෙවිය යුතු ණය දෙස බලන විට මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණය සෘණ අගයක් ගනු ඇත.
විදේශගත ශ්‍රමිකයෝ ද දැන් බැංකු හරහා විදේශ විනිමය මෙරටට එවන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට භාවිතා කරනුයේ උන්ඩියල් නම් නීත්‍යානුකූල නොවන ක්රමවේදයය. එහිදි රටට ඩොලර් නොලැබෙන නමුත් කළු සල්ලි ලෙස ඩොලර් හමුවේ.
විදේශගත ශ්‍රමිකයකු එරට සිටින උන්ඩියල් නියෝජිතයාට ලබා දෙන ඩොලර් සංඛ්‍යාව අනුව මෙරට සිටින උන්ඩියල් නියෝජිතයා ශ්‍රමිකයා කියන මෙරට පුද්ගලයාට රුපියල් ලබා දේ.
එය නිත්‍යානුකූල මුදල් හුවමාරු ක්‍රමයක් නොවන නිසා මහ බැංකුවට ඩොලර් නොලැබී යයි.ලංකාව විදේශ සංචිත පවත්වාගෙන යන්නේ ඩොලර් ණය ලබා ගැනීම මත ය. එය අසාර්ථක ක්‍රමයක් වන අතර මෙම ණය ගෙවීමට නැවතත් ඩොලර් සෙවීමට සිදුවේ.
වර්තමානයේ පැන නැඟී ඇති බරපතලම ගැටළුව වන්නේ ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් නොමැතිවීම ය. ඉන්ධන ද රුපියල් වලින් ගත හැකිවූවා නම් මේ ආණ්ඩුව තව තව රුපියල් මුද්‍රණය කොට ඉන්ධන ලබා ගනු ඇත. අතීතයේ රුපියල් 5000 නෝට්ටුව දුලභ වුවද දැන් එය සුලබ දසුනකි.
වත්මන ආණ්ඩුවේ අඳබාල ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් රුපියල් අච්චු ගසනවා හැර වෙන විකල්පයක් ඔවුන් සතුව ඇතැයි පෙනෙන්නට නැත.
අපට ද වීල්බැරෝවක මුදල් පුරවා පාන් ගෙඩියක් ගෙන ඒමට සිදුනොවේවායි පතමු. නමුත් රාජ්‍ය මූල්‍ය යාන්ත්‍රණය පවත්වාගෙන යාම “බූරුවා ගැසීමක්” වූ විට ලැබෙන ආනිසංසය එයයි.
ලසන්ත වීරකුලසූරිය