සවුදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ විශේෂ ඇරයුමක් මත ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්ර මහතා ලබන 23 සිට 27 දක්වා එරට සංචරයක නිරත වන බවට මාධ්‍ය කිහිපයකම පුවතක් පළ වී තිබිණි. අප රට ආර්ථිකමය වශයෙන් වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා සවුදි අරාබිය වැනි ලෝකයේ ධනවත් රාජ්‍යයන් සමග ඇති සම්බන්ධතා පුළුල් කරගැනීම ඉතා වැදගත් ය. කෙසේ නමුත් අලි සබි්ර අමාත්‍යවරයා සවුදි අරාබි රාජ්‍යයෙන් ආර්ථිකමය සම්පත් පමණක් නොව එරට වේගයෙන් සිදුවන ආගමික, සංස්කෘතික සහ සමාජයීය ප්‍රතිශෝධනයන් පිළිබඳව ද ආදර්ශයක් ගෙන එය අප රටට ආදේශ කරන්නේ නම් අප ජන සමාජය මෙයට වඩා ඉහළ තැනකට ඔසවා තැබිය හැකි බව පැහැදිලව පැවසිය හැකි සත්‍යයකි. අමාත්‍යවරයා එවැනි දේ පිළිබඳ ඇතැම්විට සැලකිල්ලක් නොදක්වන්නට ද පුළුවන. අප රටේ දේශපාලඥයන්ගේ ස්වභාවය එසේය. අමාත්‍යවරයාට එවැන්නක් අවශ්‍ය නැතත්, අපගේ අවබෝධය පිණිස හෝ සවුදි අරාබියේ සිදුවන මෙම පෙරළිය පිළිබඳ අවබෝධ කරගෙන සිටීමේ අවාසියක් නැත. මේ ඒ පිළිබඳව ය.
සවුදි අරාබිය මැදපෙරදිග කලාපයේ මුස්ලි්ම් ලෝකය තුළ ඇති ධනවත් මෙන්ම සුවිශාල රාජ්‍යයකි. දැනට සියවසකට පමණ පෙර ගොඩනැගෙන්නට පටන් ගැනුණු මේ රාජ්‍යය තෙල් සම්පත මූලික කරගත් ලොව පවතින ශක්තිමත්ම ආර්ථිකයක් හිමි රටකි. වසර ගණනාවක් තිස්සේ අපේ රටේ බොහෝ දෙනෙක් ද රැකියා කිරීම සඳහා තෝරා ගත් එක් ප්‍රධාන පෙළේ මැදපෙරදිග රටක් වූයේ මෙයයි. එමෙන්ම ඉස්ලාමීය ෂාරියා නීතිය අතිශය දැඩිව ක්‍රියාත්මක වුණු රටක් ලෙස ද මෙය ලෝකයේ ප්‍රසිද්ධය. රටේ පාලකයා ලෙස රජු සිටිය ද, ආගමික අධිකාරිය අභිබවා ගමන් කරන්නට ඔහුට ද හැකියාවක් තිබුණේ නැත. කෙසේ නමුත් සවුදි අරාබියේ කාලාන්තරයක් තිස්සේ පැවති මේ මුහුණුවර මෑතක සිට වෙනස්වෙමින් පවතින බව ලෝකයම කතා කරන්නට පටන් ගෙන ඇත. ඒ 2022 වසරේ එරට රජු සහ අග්‍රමාත්‍යවරයා ලෙස පත් වූ එහි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සාවුද් ගේ සමාජ ප්රතිශෝධන සැලසුම් ඔස්සේය.
1985 උපන් මොහොමඩ් බින් සල්මාන්, කිං සාවුද් විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙකි. ඔහු කාලයක් තිස්සේ සිය පියා මෙන්ම හිටපු රජු සහ අග්‍රාමාත්‍යවරයා වූ සල්මාන් රජුගේ උපදේශක තනතුරෙහි වැඩකටයුතු කළ අතර, අග්‍රාමාත්‍ය තනතුර නිල වශයෙන් ලැබෙන්නට පෙර සිටම සවුදි අරාබියේ නිල නොලත් පාලකයා ලෙස කටයුතු කළේ ඔහු ය. ෂාරියා නීතිය මගින් ලැබෙන අමානුෂික දඬුවම්, සිරගත වූවන්ට ලැබෙන අමානුෂික වදහිංසා, කාන්තා අයිතීන් ආදිය පිළිබඳ මොහොමඩ් බින් සල්මාන් කලක සිටම දැඩි අවධානයෙන් සිටියේය. එරට තුළ සිදුවන මානව හිමික්ම් කඩවීම් ද නවීන ලෝකය සමග ගනුදෙනුකිරීමේ දී බාධාවන් ලෙස ඔහු දුටුවේය. ඔහුට මේ ක්‍රමය වෙනස්කොට සවුදි අරාබිය නවීන ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ අනාගතය කරා රැගෙන යාමට අවශ්‍ය විය. දැනට එරට තුළ ආයෝජනය කරන විදෙස් ආයෝජකයන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගන්නට ඔහුට අවශ්‍ය විය.
ඔහු එරට සිටි ආගමික අධිකාරිය සමග ගැටෙන්නට ගියේ නැත. එසේ ගැටුමක් ඇති කරගනිමින් සිදුකෙරෙන සංශෝධන සාර්ථක නොවන බව ඔහු දැනසිටියේය. ඔහුට අවශ්‍ය වූයේ ආගමික නායකයන්ගේ මෙන්ම සාම්ප්‍රදායිකව සිතන ජනතාවගේ ද සිත් නොරිදෙන සේ සවුදි අරාබිය තුළ ආගමික ප්රතිශෝධන ක්‍රියාත්මක කිරීමය. ඔහු කිසිදු ආගමික මතවාදයකට පහර දුන්නේ නැත. නමුත් සියල්ල වෙනස් කරන්නට පියවර ගත්තේය. අප වැනි රටක සිටින ඊනියා රජ කුමරුන් මෙන් නොව රටට ආදරය කරන සැබෑ උරුමයක් ඇති රජ කුමරුන් ක්‍රියා කරන්නේ ඒ ආකාරයටය. රජ පවුල තුළ, ආගමික අධිකාරිය තුළ මෙන්ම දේශපාලන අධිකාරිය තුළ වඩාත් විවෘත මනසකින් ලෝකය දැකිය හැකි පිරිස් මේ සඳහා තෝරාගෙන ඔවුන් සමග ඒකාබද්ධව කටයුතු කරන්නටත්, මේ ප්රතිශෝධන සවුදි සමාජයට නොරිදෙන සේ වඩාත් විශ්වාසයකින් යුක්තව හඳුන්වා දෙන්නටත් ඔහු ක්‍රියා කළේය. මේ උපක්‍රම නිසා ඔහුට ආගමික අධිකාරියෙන් හෝ සමාජයෙන් කිසිදු විරෝධයක් එල්ල වූයේ නැත.
“සවුදි ජනගහනයෙන් සියයට හැත්තෑවක්ම වයස අවුරුදු 30ට අඩු පිරිසක්. ඉදිරි වසර තිහ විනාශකාරී අදහස් සමග ජීවත්වන්නට අපට අවශ්‍යතාවක් නැහැ. පවතින ආකාරයෙන් අප ඉදිරියට ගමන් කළහොත් අප එකවර විනාශ කරගන්නේ අපගේ අනාගත පරම්පරාවයි” මොහොමඩ් බින් සල්මාන් එසේ පවසයි.
දැනට වසරකට පමණ පෙර සවුදි අරාබිය තුළ ඝාතනයට ලක් වූ නිදහස් මාධ්‍යවේදියෙකු වූ ඛසොග්ගිගේ සිදුවීම නිසා බටහිර ලෝකය එරට සමග යම් නොසතුටක් ඇති කරගෙන සිටියත්, මේ තත්ත්වය සමනය කරගන්නට මොහොමඩ් බින් සල්මාන් සිදුකරමින් පවතින ප්රතිශෝධන ඉවහල් විය. මෙහි ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගත්තේ රුසියානු – යුක්රේන යුද්ධය නිසා යුරෝපයට ඉන්ධන හිඟය ඇතිවන්නට පටන් ගැනීමත් සමගය. බටහිර නායකයන් සිය ඉන්ධන විකල්පය ලෙස තෝරා ගත්තේ සවුදි අරාබිය යි. ඇමරිකා එකසත් ජනපද ජනපති ජෝ බයිඩන් සිය මැතිවරණ පොරොන්දුවක දී පවසා සිටියේ සවුදි ඔටුන්න හිමි කුමරු පිටුවහලෙක් ලෙස සලකා ක්‍රියාකරන බවය. කෙසේ නමුත් ඔහු කළ සවුදි අරාබි සංචාරය සමග ලෝකය එරට සමග ඇතිකරගෙන සිටි ආකල්ප වෙනස් කරන්නට පටන් ගත්තේ ය.
මොහොම්ඩ් බිල් සල්මාන්ගේ නව සමාජ, ආර්ථික සහ ආගමික ප්රතිශෝධන නිසා එරට කාන්තාවන්ට දැන් රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ. එමෙන්ම පිරිමින් හා සම සමව ක්‍රීඩා තරගවලට ද සහභාගී වීමේ නිදහස හිමිව තිබේ. මෙතෙක් එරට කාන්තාවන් ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිරිමි භාරකාරයෙකු ඉදිරිපත් කළ යුතුව තිබුණත්, මින් ඉදිරියට එවැනි අවශ්‍යතාවක් නැත.
ජනතාවට චිත්‍රපට බැලීමට දමා තීබු සීමා තහංචි දැන කිසිවක් නොමැති අතර ගැහැනු පිරිමි ඒකාබද්ධව සිදුකරන වැඩසටහන්වලට ද අවසර ලැබී තිබේ. එවැන්නක් අතීත සවුදි අරාබි සමාජය තුළ දකින්නට ලැබුණේ නැත. සවුදි අරාබිය තුළ දැනට තහනම් තත්ත්වයේ ඇති මත්පැන් පවා යම් යම් සීමාවන්ට යටත්ව භාවිතයට අවසර දෙන්නට ද සැලසුම් සකස් කොට ඇති බව දැනගන්නට ලැබී තිබේ.
සවුදියේ සිදුවූ තවත් සුවිශේෂීතම සමාජ සංශෝධනයක් ලෙස එරට කාන්තාවන්ට දුම්රිය රියැදුරුවරියන් ලෙස සේවය කරන්නට ලැබුණු අවස්ථාව සඳහන් කළ හැකිය. සවුදි අරාබියේ පූජනීය නගර දෙකක් වූ මක්කම සහ මෙදීනා යා කරමින් ධාවනය වන අධිවේගී දුම්රිය සඳහා ප්‍රථම රියැදුරුවරියක් සේවයට බඳවා ගැනීමත් සමග මේ වන විට එම රැකියාව සඳහා ලැබී ඇති අයදුම් පත්‍ර සංඛ්‍යාව 28,000 ක් පමණ වෙතැයි දැනගන්නට ලැබී තිබේ. මෑතක් වන තුරුම ලෝකයේ අඩුම කාන්තා ශ්‍රම බලකායක් සහිත රටක් ලෙස සවුදි අරාබිය පැවතුණි.
මොහොමඩ් බින් සල්මාන්ගේ මේ ප්රතිශෝධනවලින් ලෝකයට දෙන පණිවිඩය නම් සාම්ප්‍රදායික, ආගමික සීමා මායිම් සමගින් අනාගත ලෝකයට සාර්ථකව මුහුණ දෙන්නට නොහැකි බවය. පසුගිය කාලයේ අප රට තුළ ද වහාබ්වාදය ප්‍රචලිත කරන්නට අනුග්‍රහය දක්වන්නේ සවුදි අරාබිය බවට මතවාදයක් පැතිර ගිය අතර, එහි සත්යඅසත්ය බව කෙසේ වෙතත්, එම රාජ්‍යය සිදුකරන ආගමික, සමාජමය ප්රතිශෝධනවලින් මෙරට සිටින මුස්ලි්ම් නායකයන්ට ද පැහැදිලි පණිවිඩයක් ලැබී තිබේ. ඒ ආගමික න්‍යායන් නවීන ලෝකයට ගැලපෙන සේ වෙනස් කළ යුතු බව හා ලිහිල් කළ යුතු බවය. නොඑසේ නම් අප ගමන් කරන්නේ අතීත ගෝත්‍රික සමාජය දෙසටමය.
– නිරංජන් චාමින්ද කරුණාතිලක