ලිංග විපර්යාස සම්බන්ධයෙන් ඔබ බොහෝ තොරතුරු මාධ්‍ය මගින් දැක ඇතිවාට සැකයක් නෑ. ඒ වගේම බොහෝ රටවල්වල සමහර කාන්තාවන් පිරිමින්ට බවටත්, පිරිමින් කාන්තාවන් බවටත් සැත්කම් මගින් ලිංග විපර්යාසයන් සිදු කර ගන්නා බවට ද අපට අසන්නට ලැබී තිබෙනවා.
කෙසේ වුවත් වසර ගණනාවකට ඉහතදී අවුරුදු අටක පිරිමි දරුවකුට ලිංග විපර්යාසයක් සිදුවී ගැහැනු දරුවකු වීම මත ශල්‍යකර්මයක් සිදුකර එම දරුවා සම්පූර්ණ ගැහැනු දරුවකු බවට පත් කළ පුවතක් දැක ගත හැකිවුණා.
මේ සැත්කමට සම්බන්ධ වූ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ එම වෛද්‍ය කණ්ඩායමට අයත් ව සිටි ළමා විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ළමාහේවගේ මහතා වෙතින් ඒ කාලයේම අප මේ පිළිබඳව විමසීමක් කළා. අපට සැබැවින්ම අවශ්‍ය වූයේ මෙබඳු ලිංග විපර්යාස සිදු වෙනවාද යන්න දැන ගන්නටයි.
* අප එම දරුවාම උදාහරණයක් ලෙස ගතහොත් සැබැවින්ම උපතින්ම ලිංග විපර්යාසයක් එම දරුවාට සිදු වී තිබුණාද?
මෙහිදී පිරිමි දරුවකු ගැහැනු දරුවකු බවට පත් කිරීමක් සිදු වූයේ නෑ. මේ දරුවා බාහිරින් පිරිමි වගේ පෙනුණත් ශරීර අභ්‍යන්තරයෙන් ගැහැනු දරුවෙක්. ඕනෑම පුද්ගලයකුගේ ගැහැනු පිරිමි බව තීරණය වන්නේ ජාන මත.
කළලයක් මව් කුසේ පිහිටන විට ම එම දරුවාගේ ගැහැනු පිරිමි බව තීරණය වෙනවා. ඒ අනුව මේ දරුවා ගැහැනු දරුවෙක්. ඒ නිසා මෙය ලිංග විපර්යාසයක් නොවෙයි.
* එවැනි දරුවකුගේ ගැහැනු පිරිමි බව දෙමාපියන්ට සොයා ගැනීමට අපහසු වන්නේ ඇයි ?
අප ඒ දරුවාම උදාහරණයට ගතහොත් ඔහුගේ ලිංගේන්ද්රියෙහි ශිෂ්නය කොටස තිබුණා. නමුත් වෘෂණ කෝෂ තිබුණේ නෑ. සියයට අනූපහක් පමණම මේ දරුවාගේ තිබුණේ පිරිමි දරුවකුගේ පෙනුමක්.
නමුත් මේ දරුවාගේ යම් අසාමාන්‍යතාවයක් තිබුණු නිසා මවුපියන් දරුවා වෛද්‍යවරයකුට පෙන්වා තිබුණා. සාමාන්‍යයෙන් පිරිමි දරුවකු ප්‍රසූත වන විට දරුවාගේ ශරීර අභ්‍යන්තරයේ පිහිටි වෘෂණ කෝෂ පිටතට පැමිණෙනවා.
නමුත් උපතේ දී එය පිටතට නොපැමිණ ශරීරය තුළම තිබිය හැකියි කියන අනුමානය අපට තිබුණා. එනිසා දරුවා ස්කෑන් පරීක්ෂණ ආදියට භාජනය කළා.
එවිට තමයි දරුවාගේ ශරීර අභ්‍යන්තරයේ තිබූ ස්ත්‍රී අවයව පද්ධතිය හඳුනා ගැනීමට හැකි වුණේ.
* මෙවැනි දේවල් සිදු වන්නේ කොහොමද ? මෙය ඉතා කලාතුරකින් සිදුවිය හැකි තත්වයක්ද?
මේවා ජානවල යම් යම් විපර්යාස මත ඇතිවන තත්ත්වයන්. නමුත් මේක විරල තත්ත්වයකුත් නොවෙයි.
* එසේ නම් ඒ සෑම දරුවකුටම මෙලෙස ශල්‍යකර්මයක් කළ යුතු ද?
සාමාන්‍යයෙන් සමහර දරුවන්ට මේ ආකාරයට පිහිටියත් විරුද්ධ ලිංගික ලක්ෂණ පිහිටන්නේ අඩුවෙන්. එය ඉතා සුළුවෙන් පිහිටන අයත් සිටිනවා.
දරුවකු බිහි වූ ගමන්ම වෛද්‍යවරයකු විසින් එම දරුවාගේ ලිංගික අවයව හොඳින් පරීක්ෂා කිරීම වැදගත්. නමුත් අලුත උපන් බිළිඳකුගේ මේ තත්ත්වය ඉතා සුළුවෙන් තිබුණත් වෛද්‍යවරුන්ටත් ඒ බව හඳුනා ගැනීමට නොහැකි වන අවස්ථා නැතුවා නොවෙයි. මවුපියන්ට වුණත් එය හඳුනා ගන්න අපහසු වෙන්න පුළුවන්.
* සාමාන්‍යයෙන් මෙය හඳුනා ගත හැකි පොදු ලක්ෂණ නොමැති ද?
සමහර පිරිමි දරුවන්ගේ ශිෂ්ණය අසාමාන්‍ය තරමට කුඩා වීම, මුත්‍රා පහ කිරීමේ දී පිරිමි දරුවකුගේ නම් එය නියම ස්ථානයෙන් පිට නොවීම, ගැහැනු දරුවකුගේ නම් බාහිර ලිංගේන්ද්‍රිය වැසුනු ආකාරයක් පැවතීම වැනි ලක්ෂණ මෙහිදී දක්වන්න පුළුවන්.
* යම් ආකාරයකින් මෙලෙස ලිංගේන්ද්‍රියේ වෙනස්කම් පවතින විට එය හඳුනා ගන්නට නොහැකි වුණොත් ඒ දරුවන් එලෙසින්ම වර්ධනය වෙනවාද ?
එසේ විය හැකියි. ඒ අනුව බාහිරින් පුරුෂේන්‍ද්‍රිය යම් පමණකට පිහිටා අභ්‍යන්තරයෙන් ගැහැනියක් වන දරුවන් පිරිමින් වශයෙනුත්, බාහිරින් ස්ත්රීන්ගේ හැඩහුරුකම් පිහිටි අභ්‍යන්තරයෙන් පිරිමියෙකු වන දරුවන් කාන්තාවන් ලෙසිනුත් සමාජයේ ජීවත් වෙනවා. මේ අය නපුංසක ලිංගිකයන් වශයෙන් හඳුන්වන්න පුළුවන්.
ඒ අනුව අභ්‍යන්තරයෙන් කාන්තාවක වුවත් පිරිමින් වශයෙන් ජීවත් වන අයගේ ගමන බිමන කතා බහ ආදී බොහෝ බාහිර ලක්ෂණ කාන්තාවකගේ ලෙසින් පවතිනවා. ඒ වගේම අභ්‍යන්තරය පිරිිමියකු වන කාන්තාවකගේ ගමන බිමන කතා බහ ආදී බොහෝ බාහිර ලක්ෂණ පිරිමියකු ලෙසිනුයි පවතින්නේ.
මෙබඳු පිරිමින් සමාජය තුළ කැපී පෙනෙනවා. ඔවුන් කෙරෙහි සමාජයේ විශේෂ අවධානයක්ද යොමු වෙනවා. නමුත් පිරිමියකු මෙන් ජීවත් වන කාන්තාවන් සමාජය තුළ එලෙස කැපී පෙනෙන්නේ නෑ.
එයට හේතුව පිරිමියකු ගැහැනියක බඳු වීම පිරිමියකුට අවමානයක් ලෙස සැලකුණත්, ගැහැනියක් පිරිමියකු බඳු වීම ගැහැනියට අවමානයක් නො වීමයි.
* එබඳු පිරිමින්ට මාසික ඔසප් වීම සිදුවෙනවාද?
සමහරුන්ගේ ඉතාම සුළු වශයෙන් රුධිරය පිටතට එනවා. පිටතට නෑවිත් ශරීරය ඇතුළත එකතු වුණොත් තදබල උදරයේ වේදනාවක් ඇති වන්නට ඉඩ තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ඒ තැනැත්තා සැත්කමකට භාජනය කරන්නට සිදු විය හැකියි.
* සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ වයස අවුරුදු 11 -14 කාලයේදී ඔසප් චක්‍රය ආරම්භ වෙනවා. ඉතින් මෙවැනි දෙයක් තමන්ගේ පුතුට සිදුවෙනවා නම් මවට එය දැනගන්නට ලැබෙන්නේ නැද්ද ? ඒ අනුව ඔවුන්ට යම් පියවරක් ගත හැකියි නේද?
මේ වයසේ පිරිමි දරුවකුට එම දරුවාගේ ශරීර අභ්‍යන්තරයේ පිහිටීම පිළිබඳව සලකා නියත වශයෙන්ම ගැහැනු දරුවකු බවට පත් කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීම බරපතල තත්ත්වයක්. මේ කියන්නේ ශල්‍යකර්මයේ බරපතලකම ගැනම නොවෙයි. පළවෙනි කරුණ ඒ දරුවා එතෙක් කාලයක් මානසිකව හැඩ ගැසී තිබෙන්නේ පිරිමි දරුවෙක් විදිහට.
පාසලේත්, මිතුරන් අතරත් පිරිමියකු වශයෙන් ජීවත් වී එකවරම ගැහැනියක බවට පත්වීම සමාජය දැනගත් විට ඒ දරුවා සමාජයට මුහුණ දෙන්නේ කොහොමද ? දරුවා පමණක් නොවෙයි දෙමාපියනුත් සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? දරුවාගේ පාසල, පන්තිය, උප්පැන්න සහතිකය පවා වෙනස් කරන්න සිදුවෙනවා. ඒ සඳහා අධිකරණයට යන්නත් සිදු වෙනවා. මේ බාහිර කාරණා සේරම හමුවේ ඒ දරුවා මානසිකව අමුතුවෙන්ම කාන්තාවක් ලෙසින් හැඩ ගැසෙන්නේ කොහොමද කියලා සිතා බලන්න. ඒක තමයි බරපතලම කාරණාවම. ඒ අනුව සිදු වන්නේ සැබෑ තත්ත්වය සඟවා ගනිමින් දරුවා ඒ අයුරින්ම වැඩිහිටියකු බවට පත් වීමයි.
* එවැනි අයෙකුට විවාහ ජීවිතයක් ගත කළ නොහැකිද ?
සමහරුන්ට බැරිකමකුත් නෑ. නමුත් මෙහෙම දෙයක් තිබෙනවා. අභ්‍යන්තරය පිරිමියෙකු වූ කාන්තාවකට ගර්භාෂයක් නැති නිසා ඔසප් වෙන්නේ නෑ. ඒ වගේම විවාහ වුණොත් ඔවුනට දරුවකු බිහි කරන්නටත් නොහැකියි. ඒ වගේම බාහිර පිරිමි ලිංගේන්ද්‍රය ඇති මුත් අභ්‍යන්තරය ගැහැනියක වූ පිරිමියෙකුටත්, කාන්තාවක් සමඟ විවාහ වීමෙන් ඇයට දරුවකු ලබා දීමේ හැකියාවක් නෑ. ඒ ඔහු තුළ ශුක්‍රාණු නිපදවෙන්නේ නැති නිසයි. කොහොම වුණත් බොහෝවිට මෙවැනි පිරිමින් නම් විවාහ වීම ඉතාමත් විරලයි.
* අභ්‍යන්තර සහ බාහිර යන දෙකෙන්ම ගැහැනියක වූ අයෙකුට පිරිමියෙක් වන්නටත්, එබඳු පිරිමියකුට අවශ්‍ය නම් ගැහැනියක වන්නටත් ලෝකයේ වෙන රටකදී හෝ ශල්‍යකර්මයක් මඟින් හැකියාව තිබෙනවාද?
බාහිර අංග වලින් වෙනසක් ඇති කළත් මුළුමනින්ම යම් ගැහැනියකව පිරිමියකු කරන්නටවත්, පිරිමියකු ගැහැනියක කරන්නටවත් හැකියාවක් නෑ. හේතුව, ස්ත්‍රී පුරුෂ බව තීරණය වන්නේ ජාන මගින්. ජාන වෙනස් කරන්නේ කොහොමද?
ඉන්දු පෙරේරා