ස්පාඤ්ඤයේ රජුට සහ බිසවට මඩ ගුලිවලින් පහර දෙයි

රජවරුන් සාමාන්‍යයෙන් මුහුණ නොදෙන විදියේ දුර්ළභ ගණයේ සිද්ධියකට පසුගිය දිනෙක ස්පාඤ්ඤයේ ෆිලිපේ රජු මුහුණ දුන්නා. එනම් ජනතාවගෙන් මඩ ගුලි සහ ගල් මුල් ප්‍රහාරයකට ලක් වීම යි. රජු පමණක් නොව ඔහුගේ බිසව ලෙටීසියා ද මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

මෙයට ටික දිනකට පෙර ස්පාඤ්ඤයේ ප්‍රදේශ රැසක් දරුණු ජල ගැල්මකට හසු වුණා. එයට හේතු වූයේ එම ප්‍රදේශවලට ඇදහැළුණු ඇදහිය නොහැකි තරමේ මහා වර්ෂාව යි. මාධ්‍ය වාර්තාවල දැක්වුණු හැටියට ඉහත ජල ගැල්මට හසුවීමෙන් 217 දෙනෙකු මිය ගොස් තිබුණා. තවත් 2000 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවක් ද බලධාරී්න් ප්‍රකාශ කර තිබෙනවා. මෙම තත්වය තුළ සැබෑ මරණ සංඛ්‍යාව ඉහත කී සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි විය හැකියි. ගංගාවල ඉවුරු බිඳී ඒවා පිටාර ගැලීමෙන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස මහා ජල ප්‍රවාහයන් ගලා ඒම නිසා ප්‍රදේශ රාශියක් ජලයෙන් යට වුණා. යටි බිම් රථ ගාල්වල සහ උමං මාර්ගවල සිටි අය විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව තිබූ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. මෝටර් රථ ඒවා තුළ සිටි මගීන් පිටින්ම ජල පහරේ ගසාගෙන යනු දකින්නට ලැබුණා.

සමහර ප්‍රදේශවලට පසුගිය මාස 20 ක පමණ කාලයක් තුළ ලැබුණු වර්ෂාපතනය එදින පැය 8 ක පමණ කාලය තුළ ඇද හැළුණු බවයි ස්පාඤ්ඤයේ කාලගුණ විද්‍යා අංශ පවසා තිබුණේ. වර්ෂාවෙන් සහ ජල ගැලීම්වලින් වැඩිම හානියට පත්ව තිබුණේ වැලෙන්සියා නැමැති ප්‍රදේශය යි.

ස්පාඤ්ඤ රජු සහ බිසව ඇතුළු පිරිසට ජනතාව මඩ ගුලිවලින් සහ ගල් මුල් වලින් පහර දී තිබුණේ ඔවුන් මෙම ජල ගැල්මෙන් විපතට පත් වූවන් හමුවීමට සහ එම ප්‍රදේශ නැරඹීමට ගිය අවස්ථාවක යි. ඔවුන් මෙම සිද්ධියට මැදි වී තිබුණේත් වැලෙන්සියා ප්‍රදේශයේදී ම යි. මෙම ව්‍යසනයෙන් මිය ගිය 217 දෙනාගෙන් 211 දෙනෙකුම මියගොස් තිබුණේ මෙම ප්‍රදේශයේ බවයි සඳහන් වන්නේ.

ජල ගැල්මට හසු වූ ප්‍රදේශවල ජනතාව සිටියේ දැඩි කෝපයෙන්. වර්ෂාව සහ ජල ගැලීම් ගැන නිසි ආකාරයෙන් අනතුරු ඇඟවීම් නොකෙරුණු බවටත්, එම ව්‍යසනයෙන් පසු ක්‍රියාත්මක වූ ගලවා ගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් අතිශයින් අකාර්යක්‍ෂම වූ බවටත් ජනතාව චෝදනා කළා. ජල ගැල්ම නිසා පාලම් සහ මහා මාර්ග ආදිය විනාශ වී තිබූ බැවින් සමහර ප්‍රදේශ සෙසු ප්‍රදේශවලින් සම්පූර්ණයෙන් වෙන් වෙලයි තිබුණේ. මේ නිසා එම ප්‍රදේශවල ජනතාව ආහාර, ජලය, ඖෂධ, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී තිබුණා.

ෆිලිපේ රජු, බිසව ඇතුළු පිරිස මෙම ප්‍රදේශයේ සංචාරය කර තිබුණේ මෙවැනි පසුබිමක් තුළ යි. ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සන්චේස් ද මෙම සංචාරයට එක්ව තිබුණා. ඔවුන් එක්තරා මාර්ගයක් දිගේ ගමන් කරමින් සිටිය දී එකවරම විශාල පිරිසක් ඔවුන් හමුවට කඩා වැදී විරෝධතා දක්වන්නටත්, මඩ ගුලිවලින් සහ ගල්වලින් පහර දෙන්නටත් පටන්ගත් බව මාධ්‍ය වාර්තා කළා. අනපේක්‍ෂිතව සිදු වූ මෙම සිද්ධියෙන් රජු ගේ ආරක්‍ෂක නිලධාරීන් ද අසරණව තිබූ අතර පිරිස පාලනය කරගන්නට ඔවුන්ට හැකි වී තිබුණේ නැහැ.

ෆිලිපේ රජුට විරෝධය

මඩ වැකුණු මුහුණුවලින් සහ ඇඳුම්වලින් යුතුව සිටින රජු ගේ සහ බිසවගේ ඡායාරූපත්, විඩියෝත් මාධ්‍ය තූළ සංසරණය වුණා. කෙසේ නමුත් මෙවැනි ප්‍රහාරයකට ලක් වුවත් රජු ජනතාව සමග කතාබස් කරමින් ඔවුන්ගේ දුක්ගැනවිලිවලට සවන් දීමට පියවර ගෙන තිබූ බව පැවසෙනවා. ඔහු ප්‍රකාශ කර තිබුණේ ජනතාවගේ කෝපය තේරුම් ගැනීමට හැකි බවයි.

ජනතාව ප්‍රකෝපකාරී ලෙස කටයුතු කරන්නට පටන් ගනිද්දී අගමැති සන්චේස් එම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට ඔහුගේ ආරක්‍ෂකයන් කටයුතු කළ බවක් සඳහන්. නමුත් ඔහුගේ මෝටර් රථය පිටව යද්දී එයට ද ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ බව මාධ්‍ය පවසා තිබුණා.

ජල ගැල්මට හසු වූවන් ගලවා ගැනීමේ සහ විපතට පත් වූවන් වෙත සහන සැපයීමේ මෙහෙයුම්වල බොහෝ අඩුපාඩු ඇති බව අගමැති සන්චේස් ද පිලිගෙන තිබෙනවා.

“ඔවුන් අපිව මැරෙන්න ඇරලයි තියෙන්නෙ” මෙම විපතට මුහුණ දුන් කාන්තාවක මාධ්‍ය සමග පවසා තිබුණා. “අපිට හැම දේම නැති වුණා. අපේ ව්‍යාපාර, ගෙවල් fදාරවල්, අපේ හීන, මේ හැම එකක්ම නැති වුණා”.

1967 වසරෙන් පසු යුරෝපයේ ජල ගැල්මක් නිසා සිදු වූ දරුණුම ඛේදවාචකය මෙය බවයි පැවසෙන්නේ. 1967 වසරේ පෘතුගාලයේ ඇති වූ මෙවැනි ජල ගැල්මකින් පුද්ගලයන් 500 කට ආසන්න පිරිසක් මිය ගොස් තිබුණා.

ෆිලිපේ රජු සහ ලෙටිසියා බිසව

ස්පාඤ්ඤයේ ජල ගැල්මට හසු වූ ප්‍රදේශ නිතර මෙවැනි ජල ගැලීම්වලට ලක් වන ප්‍රදේශ බව පැවසෙනවා. නමුත් මතක ඇති කාලයකට මේ තරම් දරුණු ව්‍යසනයක් සිදු නොවූ බවයි එම ප්‍රදේශයේ මහළු පුද්ගලයන් පවසා ඇත්තේ. 1957 වසරේ තමයි මෙයට පෙර මේ ප්‍රදේශවල දරුණු මට්ටමේ ජල ගැල්මක් ඇතිව තිබුණේ. එයින් පුද්ගලයන් 81 දෙනෙකු මිය ගොස් තිබුණා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර