සාගර කාරියවසම් පවසන ලෙස රට තවදුරටත් සාටක සෙවනට නතුවේද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එහි තවත් ප්‍රබලතමයකු වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් පක්ෂය කඩා ගෙන ඉන් ඉවත් වීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කිසිදු අයුරකින් බල නොපාන බව එහි ලේකම් සාගර කාරියවසම් පසුගිය දා මාධ්‍ය හමුවක දී කියා සිටියේය. එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එසේ පක්ෂය හැරගියවුන් සම්බන්ධයෙන් ගත හැකි විනයානුකූල සහ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මේ දිනවල සලකා බැලෙන බවකි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ලේකම්වරයා මීට පෙර ද මාධ්‍ය හමු කිහිපයක දීම අනාවරණය කළ අන්දමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යනු රාජපක්ෂ පවුල කේන්ද්‍රීය වූ නැතහොත් ඔවුන් ගේ බල ආධිපත්‍යයට නතු වූ පක්ෂයකි. පක්ෂය තුළ සිදු වෙමින් පැවති,පවතින ක්‍රියාදාමයන් අනුව අපට ද වැටහී යන්නේ එය මුළුමනින්ම සත්‍යයක් බවකි.මේ අතර රාජපක්ෂ පවුලේ ප්‍රබල දේශපාලන චරිතයක් වන බැසිල් රාජපක්ෂ ද පසුගිය දා ආන්දෝලනාත්මක අනාවරණයක් කළේ ය.එනම් තමන් ගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා බාධාවක් වේ නම් ඇමරිකානු පුරවැසිකම පවා අතහැරීමට වුව තමන් සූදානම් බවකි. බොහෝ දුරට ඊළඟ ජනපතිවරණය සඳහා රාජපක්ෂ නියෝජනයක් නොමැති වීමේ අඩුව සපුරාලීමට ඔහු තුළ පවතින යටි අදහස මින් කදිමට පෙනේ. නමුදු මෙවන් ප්‍රකාශ සම්බන්ධයෙන් අපට ඇති ප්‍රධානතම ගැටළුක් ද වේ. එනම් එක් පවුලක් කේන්ද්‍ර කර ගත් පක්ෂයකට ‘පොදු ජන’ යන නම යොදන ලද්දේ මන්ද? යන්න ය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් වරයා යළි යළිත් අවධාරණය කරනුයේ ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියත ජයග්‍රහණයක් හිමි කර ගන්නා බවකි. දැන් කවුරුන් මොන මොනවා කීවද ඉදිරි මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමෙන් පසු මෙරට ජනතාවගේ සැබෑ තීන්දුව කාට කාටත් දැක ගත හැකි බව ද ඔහු කියයි.. ලේකම් වරයා ගේ ප්‍රකාශය අනුව සැබැවින්ම ඡන්ද ප්‍රතිඵලය එය වුවහොත් එය පොදු ජනතාවගේ කෙසේ වෙතත් රාජපක්ෂ පවුලේ නිසැක ජයග්‍රහණයක් වනු ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු අසුනක් හිමි කර ගත් සාගර කාරියවසම් ජනතා නියෝජිතයෙක් නොවේ. එමෙන්ම විපක්ෂ දේශපාලන කරලියේ රාජපක්ෂ පවුලේ හොරනෑවක්, බළල් අතක් හා රූකඩයක් ලෙස ඔහු හැඳින්වෙන අවස්ථා වලින් ද අඩුවක් නැත. විශේෂයෙන් රාජපක්ෂ පවුලේ උපක්‍රමික දේශපාලන පුරෝගාමියා වන බැසිල් රාජපක්ෂ ගේ හඬ සමාජගත කරන්නා සේ ද ඇතැම්හු සාගර කාරියවසම් හඳුන්වති. මේ සකල විධ කතා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අපට අවශ්‍ය නැත. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුහුණ දුන් මුල්ම මැතිවරණය වූ 2018 පලාත් පාලන මැතිවරණයෙන් ලබා ගත් ලක්ෂ හතලිස් නවයේ ඡන්ද පදනම මෙවර මුලුමනින් බිමට සමතලා වෙතැයි සිතීමට ද නොපුළුවන. ඒ අදට ද රාජපක්ෂ පවුලේ බල ආධිපත්‍යයෙන් යුතු වැඩවසම්වාදී පාලන ක්‍රමය කෙරෙහි ඇල්මක් දක්වන පිරිස් යම් ප්‍රමාණයක් හෝ අදටත් අප රටේ හිඳින බැවිනි. මෙම රාජපක්ෂ පවුල් ගැන හැඳින්වීම පිණිස වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලයේ නිතර හැඳින්වූ වචනය වූයේ රාජපක්ෂ රෙජීමය (Regime) යන්නය. රෙජීමය යනු ඒකාධිපති බල අධිකාරිය යන්න විස්තර කෙරෙන වදනකි. අද වන විට ජනපතිවරයා ද ඒ රෙජීමය වෙනුවෙන් පෙනී සිටින නිසා සමහරෙක් ඔහු රනිල් රාජපක්ෂ යනුවෙන් හඳුන්වති.
“තුන් සිංහලය එක් සේසත් කරන්නා රටේ රජකමට සුදුසු ය” යන සාම්ප්‍රදායික විශ්වාසයක් අප ජන සංස්කෘතියෙහි තිබේ. 2009 වසරේ එල් ටී ටී ඊ යුද ජයග්‍රහණය සමයේ රාජ්‍ය පාලකයාව සිටි තමන් එ අනුහසින් තමන් ද මේ රටේ රජකමට සුදුසු බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කල්පනා කරන්නට ඇත. ඒ අරමුණ මුල් කොට ඔහු අන්දවා ධන සම්පත් කොල්ල කා ගැනීමට මාන බැලූ කපටි කේවට්ටයෝ වරෙක මහින්ද රාජපක්ෂ බුදුන් ගේ ඥාතියකු සහ මහා සම්මත රජ පෙළපතක සමාරම්භකයා යැයි කීමට තරම් අන්ත නිහීන තත්වයට පත් වූහ. ලක් ඉතිහාසයේ දැක්වෙන අන්දමට අවසන් වරට අප රට එක් සේසත් කළේ කෝට්ටේ රජ කළ සය වන පරාක්‍රමබාහු රජු ය . නමුදු එම රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටුණු පසු යුද ජයග්‍රහණ මත පදනම් ව රට එක සේසත් කිරීම ද හුදු ඉතිහාස කතා වලට පමණක් සීමා විණි. ඊට හේතුව රටේ ජනාධිපති වරයා නිල බලයේ ත්‍රිවිධ හමුදා සේනාපති වුව ද ඔහු යුදමය ක්‍රියාවන්ට අවතීරණ නොවන සිවිල් පුරවැසියකු වීම ය.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවියට පත්වීමට ආසන්න දිනයෙක එනම් 2019 ඔක්තෝබර් 15 දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඉන්දියාවේ ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රීනිවාසන් ඔහු ගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇසීය.එනම් පසුගිය යුද සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ඔබ හෝ එවක ජනපති පදවිය දැරූ ඔබේ සොයුරු මහින්ද රාජපක්ෂ එවක යුද හමුදාවට භාර වූ එල්ටීටීඊ සාමාජිකයන්ට කුමක් කරන ලද්දේ ද? යන්න ය.
එවිට යම් තැතිගැනීමකට ලක් වුව ද ඒ බවක් නොහැඟ වූ ගෝඨාභය රාජපක්ෂ සිනාමුසු මුහුණින් යුතුව ඇයට දුන් පිළිතුර වූයේ “ඔබට වැරදිලා යුද්ධය මෙහෙයවූවේ එවක සිටි යුද හමුදාපති මිසක් මාවත් මගේ සොයුරාවත් නොවේ යන්න ය.ඒ අනුව පසුගිය යුද ජයග්‍රහණයේ සැබෑ හිමිකම පිළිබඳ ජනතාවට යම් අවබෝධයක් ලබා ගත හැකිව තිබිය දී එම යුද්ධයේ ජයග්‍රහණය ද තමන් සතු කර ගැනීමට රාජපක්ෂ පවුල දැරූ වෑයම අදටත් එලෙසම ක්‍රියාත්මකව පවතී.
ඒ අදටත් ඔවුන් රාජපක්ෂ වරුන් තම පවුල කේන්ද්‍ර කොට මහා සම්මත රාජ වංශයේ සිට මෞර්ය,ගුප්ත,ලම්බකර්ණ,ශෛලේන්ද්‍ර,ජින් මෙන් රාජවංශයක් තනා ගැනීමේ බොළඳ සිහිනයක නිමග්නව හිඳින බැවිනි. දැනට අනාවරණය වී ඇති අන්දමට රාජපක්ෂ පවුල් “ප්‍රභූත්වයේ” ඉතිහාසයට ඇත්තේ වසර එකසිය පනහකටත් අඩු ඉතිහාසයකි. ඊට වඩා පැහැදිලි ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රභූ පවුල් උඩරට, පහතරට,සබරගමුවේ, හත්කෝරලයේ නුවර කලාවියේ කොතෙකුත් තිබේ.
මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අන්දමට මැදමුලනේ රාජපක්ෂ පවුලේ ඉතිහාසගත ආදිතමයා මාටින් රාජපක්ෂ නමැත්තෙකි. වීරකැටියේ බුද්ධියාගම වලව්වේ විසූ දොන් කොන්ස්ටන්ටයින් ද සිල්වා වනිගචින්තාමනී නම් ප්‍රභූවරයා 1874 මිය ගිය පසු එම වලව්ව මාටින් රාජපක්ෂ භාරයට පත්ව තිබේ.ඔහු එහි සේවකයකු බව ද කියනු ලැබේ. නමුත් රාජපක්ෂ පරපුර අප රටේ නිදහස් අරගල සඳහා නායකත්වයක් දුන් විරුවන් ගෙන් හෙබි පවුල් පරපුරක් බවට පසුකාලීනව විවිධ ව්‍යාජ “ආලවට්ටම්” යොදා ඇතත් කිසිදු සමකාලීන මූලාශ්‍රයකින් එවැනි විරුවකු හෝ විරුවන් පිළිබඳ තොරතුරක් වාර්තා නොවේ.
නමුත් සාගර කාරියවසම් අනියමින් පවසන අන්දමට ඉහත සඳහන් පදනම් විරහිත කරුණු මුල් කොට රාජපක්ෂ පවුල කිනම් හෝ රාජ වංශයකට අයත් බවට සළකන යම් පිරිසක් තවමත් අප රටේ වෙසෙන බව අකමැත්තෙන් වුව පිළිගන්නට අපට සිදුවෙයි. මෙය මහින්ද රාජපක්ෂ මුල් කොටගත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ගේ සිත් තුළ යම් යම් ප්‍රමාණයන් ගෙන් රෝපණය වී ඇති බව නොරහසකි. විශේෂයෙන් තමන් ගේ ඊනියා රාජ වංශය සංකේතය කරනු පිණිස “කුරහන් සාටකය” යනුවෙන් ඔවුන්ම හඳුන්වා ගන්නා නූතන දේශපාලනය හා කිසිදු සබැඳියාක් නැති ගෝත්‍රික රෙදි කඩක් ගෙල දවටා ගෙන එන රාජපක්ෂ පවුල් පෙළපතේ කනිටු සමාජික නාමල් රාජපක්ෂ අහිංසක දුගී දුප්පත් මුත්තනුවන් මිත්තනියන් පවා තමන් ඉදිරියේ වැඳ වැටෙන විට ඔවුනට ආශීර්වාද කරමින්බ අභිමානයෙන් එය ඉවසා දරා සිටීමට තරම් බොළඳයකු ළාමකයකු බව මේ වන විට රහසක් නොවේ.ව්‍යාජ රාජකීයත්වයක් පදනම් කර ගත් ඔවුන් ගේ සිහින මායා ලෝකය කොතරම් පුළුල් පරාසයක් තෙක් විහිද තිබේ දැයි සිතා ගත හැක.
ඒ කෙසේ හෝ “සිව් මහ බඹුන් දුන් විවරණෙන් අපටත් රජෙක් පහළව ඇතේ”යනුවෙන් කිසිම සාහිත්‍යාංගයක සඳහන් නොවන බ්‍රහ්මයන් සතර වරිගයක් පිළිබඳව සඳහන් කරමින් පසුගිය එල්ටීටීඊ ජයග්‍රහණයට කලකට පෙර ප්‍රබන්ධය වූ අව්‍යක්ත රචනයකින් යුතු ගීතයක් තමන්ට ආරෝපණය කර ගනිමින් ආචීර්ණ කල්පික රජ ගමනකට මුල පුරා මේ වන විට අබල දුබල විඩාපත් බවට පත්ව සිටින මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ ඊනියා රජ පවුල නැවත අප රටේ පාලනය කිරීමට භාර ගැනීමේ සටන අතහැර නොමැති බව බැසිල් රාජපක්ෂගේ කතා සහ සාගර කාරියවසම් ගේ ආවැඩීම් වලින් අතිශයින් පැහැදිලි වනු ඇත. දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර