සාර්ථක ලෙස අසාර්ථකත්වයට යාමට රජයට ඇති හැකියාව පෙන්වන විදුලි අලකලංචිය

මෙම පෙබරවාරි මාසය ආරම්භ වූයේ ම දිවයිනේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිදු කරන විදුලි කප්පාදුවක් සමඟිනි.ඊයේ(01) සවස 6.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක පමණ කාලයක් මෙම විදුලි කප්පාදුව සිදු විය.ඒ ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි ධාරිතාව වඩා ඉහළ විදුලි ඉල්ලුම පැවතීම හේතුවෙනි.

නොරොච්චෝලේ බලාගාරය මාසයකට ආසන්න කාලයක් බිඳ වැටී තිබි යළි සක්‍රිය වී දිනක් වත් ගතවීමට පෙර ඊයේ යළි බිද වැටුණි. බලාගාරයේ මෙගවොට් 300 යළි විදුලි පද්ධතියට හිමි වීම නිසා ලබන 03 දා වන තුරු යළි විදුලිය කප්පාදුවකට අවශ්‍යතාවයක් නැතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක ජනක රත්නායක  කියා හමාර වීමත් සමඟ වාර්තා වූයේ යළිත් නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමක් වී ඇති බව ය.

බලාගාර තුනක් මේ වන විට අක්‍රිය තත්ත්වයේ පවතින නිසා නැවත විදුලිය කප්පාදුවකට යාමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි ප්‍රකාශ කරයි.

ඔහු කියන ආකාරයට නොරොච්චෝලේ බලාගාරයේ තුන් වන අදියරේ ජනන යන්ත්‍රය, කොළඹ වරායේ පිහිටි පාවෙන බලාගාරය, සපුගස්කන්ද බලාගාරය හා කැළණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට අක්‍රියව පවතියි.

එම නිසා මෙගාවොට් 500 ට වැඩි විදුලි උත්පාදනයක් ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වේ. මේ වන විට රටේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2700 කි. එය ලබාදීමට ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සිදු නොවීම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් කළ නොහැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එම නිසා නැවත රාත්‍රී කාලයේ දී පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටුණු බව වාර්තා වී ස්වල්ප වේලාවක් ගතවද්දීම රටේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳ වැටුණි.මේ අතර නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍රය යළිත් වරක් බිඳ වැටීම සම්බන්ධයෙන් කට කතා ද නැතුවා නොවේ.

මෙය විදුලි මාෆියාවක් බවට සමහරු චෝදනා කරති.කෙසේ නමුත් අවශ්‍ය ප්‍රමාණයට විදුලිය සපයා ගැනීම වෙනුවෙන් පෞද්ගලික තාප බලාගාර කිහිපයකින් විදුලිය ලබා ගැනීමට ද විදුලිබල මණ්ඩලයට පසුගියදා අවසර හිමි විය.

මෙය තුළ ඩිසල් මාෆියාවක් පවතින බව විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා යු ටියුබ් මාධ්‍ය නාලිකාවකට පවසා තිබුණි.ඔහු කියා තිබුණේ “සුදු කරපටි හොරුන්” පිරිසක් විසින් විදුලි මාෆියාවක් ක්‍රියාත්මක කරන බව ය. තාප විදුලි බලාගරවලින් විදුලිය ලබා ගැනීමේදි අධික මුදලක් වියදම් කිරීමට සිදුවේ.

ජල විදුලියෙන් රුපියල් 5 ත් 10 ත් අතර මිලකට විදුලි ඒකකයක් නිෂ්පාදනය වෙද්දී ඩිසල් ආදී තාප විදුලි බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදී ගැනීමට සිදුව ඇත්තේ රුපියල් 25 ත් 45 ත් අතර මිලකට ය. එවිට ලංකා විදුලිබල මණ්ඩලයට අධික වියදමක් දැරීමට සිදුවන අතර මේ නිසා නුදුරේ දීම විදුලි බිල තවත් වැඩිකිරීමට සිදුවනු ඇතැයි විදුලි බල මණ්ඩල නිලධාරීහු සඳහන් කරති.

ඉන් ඔබ්බට විහිද යන ප්‍රශ්නය මේ කියන මාෆියාව නැති කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම දැන් කරන්නේ කුමක්ද? යන කාරණයයි. ජනතාවට පීඩාවක් නොවන සේ විදුලිය විසන්ධි කරන මෙන් පසුගිය දා ජනාධිපති වරයා අදාල බලධාරීන්ට උපදෙස් දුන් බව මාධ්‍ය වාර්තා කොට තිබිණ.

නමුත් ඔහු ඉන් කුමක් අදහස් කරන ල්ද්දේ දැයි පැහැදිලි නැත.ජනපති වරයා කට වචනයට එසේ කීවත් අවශ්‍යම මොහොතේ විදුලිය කප්පාදු කරන ආණ්ඩුවකින් ඇති ඵලය කුමක්ද? විදුලි ඉංජිනේරුවන් පවසන්නේ නිසි කලට නිසි වේලාවට කාලානුරූපී ලෙස විදුලි බලාගාර ඉදි නොවීම නිසා විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් විදුලිබල මණ්ඩලයට ලබාදිය නොහැකි බව ය.

බලාගාර අක්‍රිය වීම තුළ විදුලි උත්පාදනයක් සිදු නොවේ. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ දිනෙන් දින වෙනස් වන විදුලි ජනන ප්‍රතිපත්ති හා සැලසුම් හේතුවෙන් තවදුරටත් විදුලි බලාගාර ඉදිවීම සොළවන ඉඳි කටුවකට නූල දැමීමක් බවට පත් ව තිබේ.

එනිසාම රටේ පාලනය ද විහිළුවක් බවට පත්වෙමින් තිබේ.

ජනාධිපතිවරයා හා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ඇතුළු පාලන අධිකාරිය ඉකුත් සඳුදා හමුවී කප්පාදුවකින් තොරව විදුලිය දීමට එකඟවී දිනක් ගත වීමටත් මත්තෙන් විදුලිය කප්පාදුවකට යාම තුළින් පෙන්නුම් කෙරෙන එක දෙයක් තිබේ එනම් සාර්ථක අයුරින් අසාර්ථකතවය වෙත ළං වීමට වත්මන් ආණ්ඩුවට ඇති හැකියාව ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර