2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ ඩබ්ලිව්.15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති අතර මෙම නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.ඔහු සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සැගවී සිටියදී වන අතර ඔහු සිටින තැන නොකියා සිටීමට නීතීඥවරයා ද වග බලාගත්තේ ය.මෙම පෙත්සම මගින් පොලිස්පතිවරයා ඉල්ලා ඇත්තේ, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.අද ( 10) අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා සහ සරත් දිසානායක මහතාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමට කැඳවනු ලැබිණි.විනිසුරු මඩුල්ල සවිස්තරාත්මකව මෙම පෙත්සම සලකා බැලූ අතර, ඊට අදාළ සියලු පාර්ශ්වයන්ට සවන් දුන්හ.
පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල නියෝග කළේ, මෙම පෙත්සමට අදාළ සියලු වග උත්තරකරුවන්ට නිසි පරිදි නීත්‍යානුකූල නොතීසි ලබාදීමෙන් අනතුරුව ලබන 12 වන දින නැවතත් පෙත්සම සලකා බැලීම සඳහා අධිකරණයට කැඳවන ලෙසයි.