“බෞද්ධයන් පන්සලෙන් දුරස් වී නැත. සිදුව ඇත්තේ සැබෑ බෞද්ධයන් ගෙන් පන්සල දුරස් වීමකි”. ඉහත සඳහන් වූයේ මගේ හිතවත් ප්‍රවීණ මාධ්‍යවේදියකු මෑත දිනයක තම සමාජ ජාල ගිනුමක තබා ඇති සටහනකි. ඒ අනුව ඉන්පසු ඔහුට දුරකථනයෙන් කතා කළ මම එවැනි සටහනක් තැබීමට ආසන්නම හේතුව කුමක්දැයි ඔහුගෙන් අසා සිටියෙමි. ඊට පිළිතුරු වශයෙන් ඔහු තමන් පදිංචි ප්‍රදේශයට ආසන්න විහාරස්ථානයක් ඉදිරියේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබූ බැනරයක ඡායාරූපයක් ම’වෙත යොමු කොට තිබිණ. එය මෙරට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් උදෙසා සිදු කරන බව පැවසෙන ‘ආශිර්වාද බෝධි පූජා’පින්කමක් පිළිබඳ ප්රචාරක පුවරුවකි. මූලික බුදු සමය හා කිසිදු සබැදියාවක් නොමැති ‘ආශිර්වාද පූජා’ නමින් හඳුන්වන මෙම ශාන්තිකර්ම විශේෂය අද වන විට නූතන ජනප්‍රිය බුද්ධාගම තුළ ශීඝ්‍ර ව්‍යාප්තියකට ලක් වෙමින් තිබේ. නමුදු මෙම ප්රචාරක පුවරුවේ සඳහන් විශේෂත්වය එය නොවේ. එම විභාගයට පෙනී සිටින දරුවන් සඳහා “මහා සරස්වතී තෛලය’ ලබා දීම ද සිදු කෙරෙන බැවින් එය ලබා ගැනීමට අවශ්‍ය අය “රන් හෝ රිදී” සුරයක් සමඟ කහ, කළු හෝ රතු නූලක් ද රැගෙන පැමිණෙන ලෙස එමගින් දැනුම් දී තිබීම ය.
ඉහත සඳහන් විහාරස්ථානය මගින් ප්‍රචාරය කොට තිබූ මහා සරස්වතී තෛලය යනු කුමක්ද? එය කවරකු, කවදා, කෙලෙසක, කුමන වට්ටෝරුවක් පදනම් කර ගනිමින් කුමන ක්‍රමයකට නිපදවන ලද්දක්ය යන කරුණු පසෙක තිබිය දී මේ කියන තෙල හා බුදු සමය අතර ඇති සබැදියාව කුමක්ද? යන්න අපට නම් කෙසේ වත් වටහා ගත නොහැකි ප්රහේලිකාවකි.අනෙක විභාග සමත් කරනවන තෙල් වර්ග යන සංකල්පයම දියුණු ලෝකයේ හාස්‍යයට ලක් වන ගෝත්රවාදී අදහසකි. මෙම ප්රචාරක පුවරුව දුටු සැනින් එක්වරම අපගේ සිහියට නැංවුණේ මීට දසක කිහිපයකට පෙර අප රටේ ප්‍රධාන සේම උප නගරවල රෝහල්, උසාවි ආදී ජනතාව ගැවසෙන ස්ථානවල හිඳ ජනතාව හමුවේ විවිධ ආකර්ශනීය දෙසුම් පවත්වමින් මෙබඳු තෙල් බෙහෙත් අලෙවි කළ සංචාරක වෙළඳුන් ය. තමන් සමීපයේ ඇති අවුන්සයේ හමාරේ කුඩා තෙල් කුප්පි තමන් අවට රැස්ව හිඳින්නවුන්ට දක්වමින් ඒවායේ ඇති විස්මිත ගුණ, හාස්කම් බල ආදිය පිළිබඳව ඔවුන් කළ මන මෝහනීය වර්ණනයන්ට රැවටුණු අහිංසකයෝ ඒ විස්මිත ගුණ සහ හාස්කම් බලය අත්දකිනු පිණිස ඒවා මිලට ගත්හ.ඒවා අතර තට්ට හිස් වල කෙස් වඩන,පුරුෂේන්ද්රියන් හි ප්‍රමාණය වර්ධනය කරන බව පැවසුණු තෙල් වර්ග ද විය.බොහෝ විට මෙම තෙල් බෙහෙත් වෙළඳුන් එලෙස ජනතාව රැවටීම, ගස් යට දී සිදු කරන ලද අතර එසේ ඔවුන් වැඩිපුරම දක්නට ලැබුණු ස්ථාන ආශ්රිත ගස් පවා ‘පච ගස්’ ලෙස ප්‍රකට වූ බව රහසක් නොවේ. ඒ අනුව ඉහත සඳහන් ප්රචාරක පුවරුව අනුව අපට වැටහී යන එක් දෙයක් තිබේ. එනම් අතීතයේ පච ගස් යට තෙල් බෙහෙත් අලෙවි කළ කූට වෙළඳුන් ගේ ජීවන වෘත්තිය අද වන විට අප රටේ බෞද්ධ විහාරාරාම පාලනය කරන භික්ෂුන් විසින් අත්පත් කරගෙන ඇති බවකි.
මූලික බුදුසමයට අයත් නොවන පිරිත් නූල මහායාන සහ හින්දු ආගමික සංස්කෘතික පසුබිම මතින් අප බෞද්ධ සමාජයට අවශෝෂණය වූවකි. නමුදු අද වන විට එය බෞද්ධ සංස්කෘතිකාංගයක් බවට පත්ව තිබේ. ඒ අතර කහ දියරෙන් සෝදන ලද කහ පැහැති නූල් අප සමාජයේ ශාන්ති කර්ම හා බද්ධ වූ පළඳනාවකි. ඊට අමතරව නූතන සමාජයේ ප්‍රභූන් වශයෙන් සම්මත වූවන් ගේ පවා අත් වල දක්නට ලැබෙන ඉන්දියාවේ කෞතුක් ආදී නම් වලින් හැඳින්වෙන කළු සහ රතු නූල් සහිත එම පළඳනා හින්දු ආගමික සංස්කෘතිය හා සම්බන්ධ වන අතර ඒවා ශ්‍රී ලාංකේය ජන සමාජය අතර මෙතෙක් ප්‍රචලිතව නැත. එහෙත්, ඉහත සඳහන් ප්රචාරක පුවරුවේ සඳහන් අන්දමට එම “කහ, කළු හෝ රතු නූල්” ගෙනෙන ලෙස වත්මන් විහාර භාරකාර භික්ෂුන් බෞද්ධයන්ට දැන්වීම මේ වන විට වේගයෙන් ආකූල වන ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තව දුරටත් ව්‍යාකූල කරවන්නක් බවට සැක නැත.
මීට දශක කිහිපයක් හෝ සියවසක් හමාරක් තෙක් රටේ කේන්ද්‍ර ගත පාරම්පරික කෘෂිකර්මය පදනම් කර ගත් සරල ගැමි ජීවන රටාවේ අළු දුහුවිලි වත් අද දක්නට නැත.
අතීත සමාජය එලෙස සරල චාම් ආකෘතියක් තුළ ස්ථාපිත වීමට අල්පේච්ඡතාව පරමාදර්ශයක් වූ බෞද්ධ සංස්කෘතිය ද බොහෝ දුරට ඉවහල් වූ බව අපගේ වැටහීම ය. ඒ අනුව එවක ගමේ පන්සල සහ එහි වැඩ සිටි භික්ෂුන් කෙරෙන් ද සමකාලීන සරල චාම් බව මැනවින් විදහා දැක්විණි. නමුදු ඉකුත් අසූව දශකයේ මුල භාගයේ සිට මෙරට ව්‍යාප්ත වූ අසංවිධිත විවෘත ආර්ථික ක්‍රමය නම් මුඩු බිම මත ස්ථාපිත වූ පරිභෝජන වාදය නම් විසකුරු ශාඛය අද වන විට අධි පරිභෝජන වාදය නම් සුවිසල් විස ගසක් තෙක් වර්ධනය වී තිබේ. මිනිසා තුළ පවත්නා මූලික සහ අනෙකුත් අවශ්‍යතා සහ සරල අරමුණු අතික්‍රමණය කොට විෂම අරමුණු සහ බුදු දහමේ අභිජ්ඣා නමින් හැඳින්වෙන දැඩි තෘෂ්ණාව;ලෝභය මත පදනම් කර ගත් අධිපරිභෝජනවාදය මගින් සමාජයේ සාරධර්ම පද්ධතිය බරපතල ලෙස වැනසෙමින් තිබේ. සමාජ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති අන්දමට එහි අවසන් ප්‍රතිඵලය වනුයේ සාරධර්ම විරහිත හෙවත් අනෝමීය(Anomie ) සමාජය නම් දුර්දාන්තමය අන්තයයි. ඉතා අකමැත්තෙන් වුව කිව යුත්තේ මේ වන විටත් අප ශ්‍රී ලාංකේය ජන සමාජය ඉතා වේගයෙන් එදෙසට ඇදෙමින් පවතින බවකි.
මෙවන් සමාජමය අගතීන් ඛේදවාචකයන් පිටුදැකීම පිණිස සමාජ සම්මත ආගමික සංස්කෘතික ධාරාවන් ගෙන් යම් පිටිවහලක් ලැබෙනු ඇතැයි යන්න බොහෝ දෙනකු තුළ පවතින විශ්වාසයකි. එහෙත්, නූතන බෞද්ධ සමාජය සම්බන්ධයෙන් අපට අත්දකින්නට ලැබෙනුයේ ඊට ඉඳුරාම වෙනස් ශෝචනීය තත්වයකි. එනම් අධිපරිභෝජනවාදය මත පදනම් වූ අගතිගාමී ජනතා සිතුම් පැතුම් වලට අනුරූප ලෙසින් වත්මන් බෞද්ධ සංස්කෘතිකාංග ද යාවත්කාලීන හා නවීකරණය වීම ය.මෙය නූතන භික්ෂු ප්‍රජාවේ බහුතරය විසින් කරනු ලබන නූතන සමාජයේ ආධ්‍යාත්මික අවශ්‍යතා නම් පිපාසය සඳහා ලුණු වතුර පෙවීමකි.
නූතන ජනප්‍රිය බුද්ධාගමේ සුවිශේෂ අංගයන් ලෙස කැපී පෙනෙන ආශිර්වාද පූජා අධිෂ්ඨාන පූජා ආදිය හුදෙක් ලෞකික අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම පිණිස සිදුකෙරෙන ශාන්ති කර්ම යාතු කර්මය ආදිය සහ මූලික බුදු සමය අතර කිසිදු සහසම්බන්ධතාවයක් නොමැති බව නූතනයේ බොහෝ දෙනෙක් නොදනිති. සමාජ විද්‍යාත්මකව ස්වේතාභිචාර (White magic ) නමින් හැඳින්වෙන මේවා ලොව පැරණිතම ආගමික සන්දර්භයනට අයත් බව පොදු ශාස්ත්‍රීය පිළිගැනීමකි.
ආයුෂ, සැප, වර්ණ, බල යන චතුර්විධ ලෞකික අභිමතාර්ථයන් මෙබඳු ශාන්ති කර්ම යාතු කර්ම මගින් ශාක්ෂාත් කර ගත නොහැකි බවට බුද්ධ දේශනා මගින් පැහැදිලිවම තහවුරු කොට ඇති පසුබිමක අධිපරිභෝජනවාදයේ නිමග්නව හිඳින ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තවදුරටත් ඒ කෙරෙහිම නතු කරවීමට බොහෝ භික්ෂූන් දරන වෑයම අතිශය අනර්ථකාරී ය. මේවා සමාජමය වශයෙන් හුදු අනර්ථයන් උදාකරන්නක් බව මේ වන විට සනාථ වී තිබේ. ඊට හේතුව ලෞකිකත්වය මත පදනම් වූ මිනිසා ගේ තෘෂ්ණාව කුළුගැන්වීම් සහ සදාචාරය යනු තුලාවක තැටි දෙක පරිද්දෙන් එකි`නෙකට ප්‍රතිවිරුද්ධ ලෙසින් ක්‍රියා කිරීම ය. හුදෙක් තෘෂ්ණාව පදනම් කර ගත් ලෞකික අපේක්ෂාවන් ප්‍රවර්ධනය වීම ලෝභ , ද්වේෂ, මෝහ යන අකුශල මූලයන් මනැස තුළ රෝපණය වීමට හේතුවක් බව පෙන්වා දෙන බුදු දහම මිනිසා ‘තෘෂ්ණාවේ දාසයකු’ නොවිය යුතු බව තරයේ අවධාරණය කරයි.
එමෙන්ම මිනිසා තුළ පවත්නා අපරිමිත ආශාවන් සහ ඒවා සංතෘප්ත කර ගැනීම පිණිස පවත්නා සංවිධිත උපාය මාර්ග සීමිත වීම මත සමාජයේ මිනී මැරුම් අපරාධ මෙන්ම වංචා දූෂණ අල්ලස් ආදී නීති සහ සමාජ විරෝධී ක්‍රියා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවට ලොව විවිධ සමාජයන් හි නිදසුන් කොට ලොව පුරා සමාජ විද්‍යාඥයන්, මානව විද්‍යාඥයන් අපරාධ විද්‍යාඥයන් අපරාධ මනෝ විද්‍යාඥයන් සමාජ ආර්ථික විද්‍යාඥයන් ආදී විවිධ විද්වත්හු මේ වන විට විද්‍යාත්මක සහ ශාස්ත්‍රීය වශයෙන් සනාථ කොට තිබේ. මෙවන් පසුබිමක් මත නූතන භික්ෂු පරපුර අධිපරිභෝජනවාදයේ නිමග්න වූ ජන සමාජයේ ලෞකික අවශ්‍යතා සංතෘප්ත කරවීම සඳහා යැයි කියමින් මෙබඳු මනෝ විද්‍යාත්මක අල්ලස් ගණයේ ශාන්ති කර්ම නම් වන ක්‍රියාවන් හි යෙදීම සමාජමය වශයෙන් අතිශය බැරෑරුම් කාරියකි. එමෙන්ම මේ සෑම වැඩපිළිවෙලක් තුළම සෘජු හෝ වක්‍ර ධනෝපායන යාන්ත්‍රණයක් සිදුවන අතර එසේ අධිපරිභෝජනවාදයේ අසංතෘප්ත වූ ජනතාව වෙතින් නිතිපතා සාන්ද්‍රණය කර ගන්නා මූල්‍ය සම්භාරය අප බොහෝ දෙනකු සිතනවාට වඩා අතිශාල අගයකින් යුතු බව පිළිගන්නට අපට සිදුවේ. හුදෙක් ආගමික අර්ථ නිරූපණ ඉවත් කළ පසු මේවා නොවිධිමත් පාරිභෝගික සේවාවන් සේම භාණ්ඩ සැපයීම් ලෙස ද අර්ථ දැක්වීමේ අවකාශයක් පවතී.මෙම නොවිධිමත් මූල්‍ය උත්පාදන යාන්ත්‍රණය බොහෝ විට භික්ෂූන් විසින් මෙහෙයවන බවත් ඒවායින් ඉපැයෙන මුදල් වලින් භික්ෂූන් තමන් සතු භික්ෂුත්වයෙන් පරිබාහිර බහු භාණ්ඩික හා කාමභෝගී අවශ්‍යතා වෙනුවෙන් වැය කරන බවත් මේ වන විට සනාථ වී තිබේ.
විහාරාම ආශ්රිත විදුලි ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් පසුගිය කාලයේ කළ විමසුමක දී තහවුරු වූයේ විහාරස්ථානයේ විදුලි පහන් දැල්වීමට වඩා භික්ෂු කුටුම්භයන් තුළ ඇති වායු සමීකරණ සහ උනු පැන් පහසුකම් ආදී සුඛෝපභෝගී අවශ්‍යතා සංතෘප්ත කර ගැනීම පිණිස එලෙස වැඩිපුර විදුලි ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බවකි.නමුදු මේ සම්බන්ධයෙන් කිව යුතු විශේෂත්වයක් වනුයේ මෙම තත්වය අප රටේ සෑම විහාරස්ථානයකටම අදාල නොවන බවකි.ඊට හේතුව අප රටේ භික්ෂු ප්‍රජාවෙන් කොටසකට අදටත් තම දිවි වැවැත්ම පිණිස වන සිව්පසය පවා නිසි පරිදි නොලැබෙන තත්වයක් ඇති බැවිනි.ඒ සඳහා ද නූතන සමාජය තුළ භික්ෂුවකට හිමි විය යුතු ගෞරවය හා පිළිගැනීම අවප්‍රමාණ වීම සෘජුවම ඉවහල් වී ඇති බව නොරහසකි.
නූතන භික්ෂු සමාජයේ බහුතරයකට විධිමත් ශාසනික ශික්ණයක් නොලැබීම, බුදු දහම විෂයෙහි පවත්නා ධර්ම ශාස්ත්‍රීය දැනුම මඳ බව, නිසි ශාසන භාරකාරත්වයක් නොමැති කම මත විනයානුකූල පැවැත්මක් කෙරෙහි භික්ෂුව තුළ තැකීමක් නොමැති වීම ආදී හේතුන් ඔවුන් මෙසේ දහමින් පිට පැනීම මත පදනම් වන මෙම ශාසනික සේම සමාජ පරිහානිය සඳහා හේතු වී ඇති බව පෙනෙයි. එමෙන්ම භික්ෂුව තුළ පැවැතිය යුතු ශ්‍රමණ ආකල්ප පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් නොමැති සාමාන්‍ය සමාජය ද ඇතැම් භික්ෂුන් වශී ගුරුකම් අන වින හදි හූනියම් ආදී වශයෙන් කරන බව පැවසෙන සපුරාම බෞද්ධ විරෝධී මිථ්‍යා ජාවාරම් කෙරෙහි පවා දැඩි විශ්වාසය තබති.
මෙවන් තත්වයන් යටතේ ශ්‍රමණ වශයෙන් හැඳින්නෙ තමන් ගේ නෛසර්ගික උරුමය මුලුමනින් අමතක කරන භික්ෂු සමාජයේ බහුතරය අද වන විට ඉහත සඳහන් අන්දමට තෙල් බෙහෙත් වෙළෙන්දන් බවට පත්වීමේ අවසාන සමාජමය ප්‍රතිඵලය අතිශය ඛේදනීය බව කිව යුතුම ය.බෞද්ධ දර්ශනය සහ බුදු සමය සේම සමයාන්තර සබන්ධතා පිළිබඳ විශාරදත්වයකින් යුතු දිවංගත මහාචාර්ය ඩබ්ලිව්.එස් කරුණාරත්නයන් මීට දශක කිහිපයකට පෙර අනාවරණය කළ ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාවේ ඛේදවාචකය මේ වන විට යථාර්ථයක් වෙමින් පවතී.එබැවින් ඔහුගේ ප්රකාශනයන් සහිත දැනට සැඟව( හෝ සඟවා) ඇති ලේඛන යළි සමාජගත කරවීම ඉතා වැදගත් යුගයේ අවශ්‍යතාවක් ව පවතී. අපගේ හිතවත් ප්‍රවීණ මාධ්‍යවේදියා “බෞද්ධයන් පන්සලෙන් දුරස් වී නැත. සිදුව ඇත්තේ සැබෑ බෞද්ධයන් ගෙන් පන්සල දුරස් වීමකි”. යනුවෙන් සමාජ ජාල ගිනුමෙහි තැබූ කෙටි සටහන ද දින දින ඛේදනීය යථාර්තයක් බවට පත්වන සත්‍යයකැයි නොසතුටින් වුව අපට පිළිගැනීමට සිදුවනුයේ එනිසාම ය.
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර