සෑම ගැබිනි මවකටම ස්කෑන් පරීක්ෂණ අනිවාර්යද?

vinivida

මීට දශක තුන හතරකට පෙර ගැබිනි මව්වරුන් සඳහා ස්කෑන් පරීක්‍ෂණ සිදු කළේ අවශ්‍ය විටෙකදී පමණි. නමුත් වර්තමානයේදී අනිවාර්යයෙන්ම සෑම ගැබිනි මවක්ම ස්කෑන් පරීක්‍ෂාවකට ලක් කෙරේ. බොහොමයක් ගැබිනි මව්වරුන් මෙම ස්කෑන් පරීක්‍ෂණ මගින් තමාට ලැබෙන්නට සිටින දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවයද බිහිවීමටත් පෙරම දැනගනී.

මෙසේ අනිවාර්යයෙන්ම දැන් ස්කෑන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ඇයි?

ගැබිනි සමය කාර්තු තුනකට බෙදේ. ඒ මුල් තුන් මාසය, දෙවන තුන් මාසය සහ අවසන් තුන් මාසය ලෙසිනි . මේ කාර්තු තුනේදීම ගැබිනි මව ස්කෑන් පරීක්‍ෂාවන්ට ලක් කරයි.

පළමු මාස තුනේදී ඇතිවන ගැටලු

අපේ රටේ සිදුවන බොහොමයක් මාතෘ මරණවලට එක හේතුවක් වන්නේ ගර්භාෂයෙන් පිට පැලෝපීය නාල වැනි ස්ථානවල කළල පිහිටා එහිම වර්ධනය වීමයි.
Ectopic pregnancy නමින් හඳුන්වන මේ තත්ත්වය මුලදී හඳුනාගැනීමට නොහැකි වුණොත් කළලය පැලෝපීය නාලය තුළ වර්ධනය වීමේදී එම ගැබිනි මවගේ අධික රුධිරවහනයක් සිදු වන්නට පටන් ගනී. එහිදී එම මව ඉක්මනින් සැත්කමකට භාජනය කර කළලය ඉවත් කර රුධිරවහනය නතර නොකළොත් මියයාමට තිබෙන හැකියාව වැඩි ය.
කළලයේ මෙවැනි අසාමාන්‍ය පිහිටීම් මුල් තුන් මාසය තුළ ස්කෑන් කිරීමේදී සොයා ගත හැකිය. එහිදී මවගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා නාලය පිපිරීමට පෙර කළලය ඉවත් කිරීම හෝ කළලය දියවී යාමට ප්‍රතිකාර කරනු ලබයි. මේ තත්ත්වය හඳුනා ගතහැකි වන්නේ ස්කෑන් පරීක්ෂාවකිනි.
ඒ පළමු හේතුව ය. දෙවන හේතුව ලෙස කළලයේ වයස හෙවත් දින ගණන නිවැරදිව දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණය මගින් හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් බොහෝ කාන්තාවන්ට දින 28 කට වරක් ඔසප් සිදුවන්නේ නැත. එය ඊට දින කිහිපයකට පෙර හෝ පසුව සිදුවීම සුලභව දැකිය හැකි තත්ත්වයක් වන අතර ඇතැම් විට ඔසප් බොහෝසෙයින් අක්‍රමවත් කාන්තාවෝද සිටිති. මේ නිසා කළලයේ දින ගණන නිශ්චිතව දැන ගැනීම අසීරු විය හැකිය. මුල් තුන් මාසය තුළ කරන ස්කෑන් පරීක්‍ෂාවෙන් කළලයේ දින ගණන නිවැරදිව දැන ගැනීමේ හැකියාව ලැබේ.
මුල් තුන් මාසය තුළ විවිධ හේතු මත කළලයේ හෘද ස්පන්දනය නතර වී එය මිය යාමටද ඉඩ තිබේ. මෙසේ වීමට බලපෑ හැකි හේතු අතර මවට දියවැඩියා රෝගය තිබීම, මව මුත්‍රා ආසාදනවලින් පෙළීම, කළලයේ විකෘතිතා, හෝමෝන හිඟ වීම ආදිය දක්වන්නට පුළුවන.
කළලය මෙලෙස මිය ගියහොත් රුධිර වහනයක් නොවී එම කළලය කුස තුළම මාස ගණනක් වුවත් පැවතිය හැකිය. එවිට මවගේ උදරය විශාල වීමක් සිදු නොවන අතර ඔසප් හට ගන්නේ ද නැත. මෙබඳු මියගිය කළලයක් මසක පමණ කාලයක් හෝ ගර්භාෂය තුළ තිබීම භයානක තත්ත්වයකි. එහිදී එම මවට D.I.C. නමින් හඳුන්වන රුධිරය කැටි නොගැසෙන රෝග තත්ත්වයක් හටගත හැකි අතර එය ඉතා භයානක ය. මුල් තුන් මාසය තුළ කරන ස්කෑන් පරීක්ෂාවක් මගින් මෙවැනි කළලයක් තිබුණොත් හඳුනාගෙන එය ඉවත් කිරීමට හැකියාව ලැබේ.

සිව්වන හේතුව නම්

H- MOL නමින් හඳුන්වන රෝග තත්ත්වය යම් මවකට තිබුණොත් එය හඳුනා ගැනීමට හැකි වීමයි. සමහර කළල පිළිසිඳ ගත් පසු එය කළලයක් ලෙස නොව මිදි පොකුරක් මෙන් වර්ධනය වීම සිදුවේ. මෙහිදී මවගේ උදරයද විශාල වන අතර ගැබිනි බව තහවුරු කර ගැනීම සඳහා කරනු ලබන මුත්‍රා පරීක්ෂණයක් තුළින්ද එම මව ගැබ් ගෙන ඇති බව සනාථ වෙයි.
නමුත් සැබෑ ලෙසම සිදුවී තිබෙන්නේ දරුවකු නිර්මාණය වීම වෙනුවට කළලය මිදි පොකුරක් මෙන් වර්ධනය වීමයි. මෙහිදී එම මවට ඉතා ඉක්මනින් සැත්කමක් නොකළොත් පාලනය කර ගැනීමට නොහැකි තරමට අධික රුධිරවහනයක් ඇති විය හැකිය. එසේම මේ සෛල පිළිකාවක් බවට හැරීමේ අවදානමක් ද තිබේ. නියමිත ප්‍රතිකාර කර මේ අවදානමෙන් මව බේරා ගැනීමට මුල් තුන් මාසය තුළදී සිදු කරන ස්කෑන් පරීක්ෂණ නිසා හැකියාව ලැබෙයි.
යම් මවකට නිවුන් දරුවන් පිහිටා ඇත්නම් එම ගැබිනි මවට විශේෂිත ප්‍රතිකාර දිය යුතුය. ඒ තත්ත්වය මුලදීම හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීමට හැකියාව ලැබෙන්නේද මුල් තුන් මාසය තුළදී ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම තුළිනි.
ඒ අනුව ගැබිනි බව දැනගත් මුල් කාලයේදීම ස්කෑන් පරීක්ෂණ අත්‍යවශ්‍ය වන්නේ ඇයි යන හේතුව දැන් ඔබට පැහැදිලි වී ඇතැයි සිතමු.

දෙවන තුන් මාසය තුළදී ඇතිවන ගැටලු

මෙම දෙවන තුන් මාසයට අයත් වන්නේ 4, 5, 6 යන මාස තුනයි.
මේ කාලසීමාවේ කරනු ලබන ස්කෑන් පරීක්‍ෂණ මගින් කළලයේ විකෘතිතා ඇත්නම් එය හඳුනා ගැනීමට අවකාශ ලැබේ.
කළලයේ විකෘතිතා යනු දරුවාගේ අවයවවල විකෘතිතා, මවට රුබෙල්ලා ආසාදනය වීමෙන් දරුවා තුළ හටගත හැකි විකෘතිතා, මන්දමානසික තත්ත්වයන්, මුහුණ මිස පිටුපස හිස කොටස නොමැතිව පිහිටන දරුවන් සහ එවැනි වෙනත් භයානක විකෘතිතායි. හිස රහිත දරුවන් මව්කුසේ සිටියදී හෘදය වස්තුව වැඩ කරන නිසා ජීවත් වුවත් බිහි වූ පසු මිය යයි. මෙවැනි අනෙකුත් විශේෂිත විකෘතිතා සහිත දරුවන් මෙලොවට බිහි වුණත් ඵලක් නැති නිසා ගබ්සා කර දැමීමට බටහිර රටවල ඉඩ තිබුණද, අපේ රටේ ඊට නීතිමය අවසරයක් නැත.
දරුවාගේ වර්ධනය නිසි ලෙස සිදුවන්නේ ද යන්න දැන ගැනීමටත් මේ කාලයේ කරනු ලබන ස්කෑන් පරීක්ෂණය ඉතා වැදගත් ය. මවගේ ගර්භාෂය තුළ දරුවා වටා ඇති තරලය නිසි ලෙස පිහිටා තිබේද, වැදෑමහ පිහිටා තිබෙන්නේ දරුවාට ඉහළින්ද පහළින්ද වැනි කරුණු ගැන මෙහිදී විශේෂයෙන් සොයා බලයි. සාමාන්‍යයෙන් වැදෑමහ පිහිටිය යුත්තේ දරුවාට ඉහළිනි. පහළින් පිහිටා තිබුණොත් යම් යම් අවස්ථාවලදී මවගේ රුධිරවහනයක් ඇතිවිය හැකිය. වැදෑමහ උඩට ගියේ නැත්නම් දරුවා ප්‍රසූත කරවන්නට සැත්කමක් කරන්නට සිදුවේ. නැත්නම් ප්‍රසූතියේදී දරුවාට කලින් වැදෑමහ පිටතට විත් රුධිරය ගැලීම නිසා දරුවා මිය යාමට වුවද පුළුවන.
දෙවන තුන් මාසයේදී ස්කෑන් කිරීම ඉතා වැදගත් වන්නේ මෙවැනි කරුණු අනාවරණය කර ගත හැකි නිසාය..

අවසන් තුන් මාසයේ ඇතිවන ගැටලු

ගැබිනි මවගේ 7, 8, 9 යන මාස තුන මේ අවසන් තුන් මාසයට අයත් ය.
මේ කාලයේදී සිදු කරන ස්කෑන් පරීක්ෂාව මගින් දරුවා ගර්භාෂය තුළ හිඳින ආකාරය නිවැරදිව හඳුනා ගන්නට හැකියාව ලැබේ. ඒ අනුව වැරදි අතකට දරුවා සිටියොත් සිසේරියන් සැත්කමක් කිරීම තුළින් ප්‍රසූතිය සිදු කර දරුවාගේ ජීවිතය බේරා ගත හැකිය.
ගර්භාෂය තුළ දරුවා වටා ඇති තරල ප්‍රමාණය වැඩිවීමද ස්කෑන් පරීක්‍ෂාවක් මගින් වෛද්‍යවරයාට හඳුනා ගැනීමට හැකියාව තිබේ. මෙසේ තරලය වැඩිවීමෙන් සිවිය කලින් බිඳී යාම නිසා දරුවා අඩු මාසයෙන් බිහි වන්නට ඉඩ ඇත. නොඑසේ නම් සිවිය බිඳී යාම සමඟ පෙකණිවැල පිටතට විසි වී දරුවා කුස තුළ මිය යාමටත් ඉඩ තිබේ. එසේම බිඳුණු සිවිය තුළින් මවගේ ශරීරයට විෂබීජ යාමෙන් තවත් නොයෙක් අනතුරුදායක තත්ත්වයන් ඇති විය හැකිය .
ඒ අනුව ස්කෑන් පරීක්ෂණයක් මගින් ගර්භාෂයේ තරලය වැඩිවීම හඳුනා ගැනීම තුළින් අවශ්‍ය ප්‍රතිකාර කර ඉහත කී තත්ත්වයන් මඟ හරවා ගැනීමට හැකියාව ලැබේ.
ප්‍රසූතියට ආසන්නයේදී දරුවා හැරී සිටිය යුතුය. එයද ස්කෑන් පරීක්ෂණයක් තුළින් දැනගෙන නිවැරදි කිරීමට හෝ එසේ නැත්නම් සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහිකිරීමට හෝ පුළුවන.

හයිඩ්‍රොකෙපලස් නම් හිසේ වතුර පිරීමේ රෝගය වැනි දරුවාගේ හිස විශාල වීමේ ගැටලු ඇත්නම් ප්‍රසූතියේදී දරුවාගේ හිස හිරවන්නට පුළුවන. එවිට සිසේරියන් සැත්කමට භාජනය කිරීමට සිදුවේ. මේ තත්ත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් මුලදී හඳුනාගත්විට මව සිසේරියන් සැත්කමකට කෙළින්ම භාජනය කළ හැකිය.
ගර්භාෂයේ ඇතිවන ගෙඩි, ගර්භාෂ බිත්තිවල ඇති විකෘතිතා මේ කාලය තුළදී ස්කෑන් පරීක්‍ෂාවෙන් හඳුනා ගැනීමෙන් ප්‍රසූතියේදී ඇතිවන ගැටලු වළක්වා ගත හැකිය.
ස්කෑන් පරීක්‍ෂාවෙන් හඳුනා ගත හැකි තවත් ඉතා වැදගත් දෙයක් වන්නේ දරුවාගේ වර්ධනය අඩු වන්නේ ද යන්න සොයා බැලීමට හැකි වීමයි. දරුවාගේ රුධිර නාලවල රුධිරය ගමන් කිරීමේ වේගයේ අඩුද වැඩිද යන්න ගැනත් ස්කෑන් යන්ත්‍රයේ ඩොප්ලර් ( doppler ) නැමැති කොටසින් වෛද්‍යවරයෙකුට හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් සිදුවන්නේ රුධිර ගමනාගමනය වැඩිවීම නොව අඩුවීමයි. එය අඩු නම් වහාම සිසේරියන් සැත්කමක් මගින් දරුවා ප්‍රසූත කරවිය යුතුය. නැත්නම් දරුවා මව් කුස තුළ මිය යාමට පුළුවන.
මෙවැනි තත්ත්වයන් ස්කෑන් පරීක්‍ෂණ මගින් කල්තබා හඳුනා ගත හැකි නිසා මවගේත් දරුවාගේ්ත් ජීවිත බේරා ගැනීමට මින් විශාල පිටිවහලක් ලැබේ. එසේම දරුවාගේ ඇතැම් විකෘතිතාද මව්කුසේ සිටියදී හඳුනාගෙන දරුවා බිහිවූ විගසම සැත්කමකට ලක් කිරීම තුළින් දරුවා බේරා ගැනීමේ අවකාශයද ලැබෙනු ඇත.

කුස තුළ සිටින දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය ස්කෑන් පරීක්ෂණය මගින් නිවැරදිව හඳුනාගත හැකිද?

මෙය 100% ක්ම නිවැරදි නොවන අවස්ථා තිබිය හැකිය. ඊට හේතු කිහිපයක් තිබේ. වෛද්‍යවරයාගේ පළපුරුද්ද මෙහිදී වඩාත් වැදගත් වන අතර ඇතැම් විට සමහර වෛද්‍යවරුන් දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය හරි හැටි නොදැක එය අනුමානයට පවසන අවස්ථා නැතුවා නොවේ. එවිට වැරදි දත්තයක් ලැබීමේ අවකාශයක් ඇත. සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂභාවය හරියටම නිවැරදිව කිව හැක්කේ කළලයට මාස පහ සම්පූර්ණ වූ පසුවය. නමුත් 3D සහ 4D වැනි ස්කෑන් මඟින් ඊට කලිනුත් කියන්නට පුළුවන. දැන් බොහෝ පෞද්ගලික රෝහල්වල එම ස්කෑන් පහසුව ඇත.
කෙසේ වුවද දරුවා ගර්භාෂය තුළ වකුටු වී දෙකකුල් වසාගෙන සිටින්නේ නම් ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ ලිංගේන්ද්‍රිය හරිහැටි බලා ගැනීම අපහසු වෙයි. එනිසා දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය හරිහැටි කියන්නට නම් දරුවා දෙපා ඈත් කරගෙන ගර්භාෂය තුළ සිටිය යුතුය. ඒ අනුව යම්කිසි අයුරකින් දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ යම් ගැබිනි මවකට වැරදි දත්තයක් ලැබුණොත් ඒ ස්කෑන් පරීක්ෂණයේ දෝෂයක් නොව දරුවා ගර්භාෂය තුළ හිඳින ආකාරයේ වෙනස්කම් සහ ස්කෑන් පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයාගේ අත්දැකීම් මඳවීම විය හැකිය.

උපදෙස් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

ඉන්දු පෙරේරා

විනිවිද සායනය