සිංහල දඩයම් සුනඛයා හෙවත් සිංහල දඩ බල්ලා යන්න ඔබට අතිශය නුහුරු නුපුරුදු වදනක් විය හැකි ය.එමෙන්ම ‘සිංහල’ යනු මානව විද්‍යාත්මකව විස්තර කළ හැකි එක් භාෂාවක් සහ ජන වර්ගයක් බැවින් එය කිසියම් අපහාසාත්මක යෙදුමක් වශයෙන් යමකුට පෙනී යාමට ද පුළුවන.නමුත් විකිපීඩියා වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී ද සිංහල දඩයම් සුනඛයා යන්නට සමාන පදයක් හමුවේ.
ඒ Sinhala hound යන්න ය. අප රටේ ප්‍රචලිත දේශීය සුනඛ විශේෂය වන මොවුන් ගේ යටගියාව පරීක්ෂා කිරීමේ දී නිල්ගල ගුහාවෙන් සහ බෙල්ලන්බැඳි පැලැස්සෙන් හමු වූ මෙම සුනඛ අවශේෂ වලට අනුව මේ සත්ව විශේෂයේ ඉතිහාසය පූර්ව සහ ප්රාග් ඓතිහාසික යුගවලට අයත් බැව් සොයා ගෙන තිබේ.
අප රටේ ආදීතමයා වන බලංගොඩ මානවයා ද සිය වාසස්ථාන ආශ්‍රිතව මෙම සුනඛයන් ඇති දැඩි කොට ඇති බව පෙනෙන්නට තිබේ.සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ගම් බල්ලන් ලෙසින් හා අඥාන ව්‍යවහාරයට අනුව වල් බල්ලන් ලෙස හඳුන් වන මොවුන් ඕස්ට්‍රේලියානු ඩිංගෝ ,ඇමරිකාවේ කැරොලිනා ,අප්‍රිකානු බසෙන්ඩි සහ නිව් ගිනියාගේ සිඟින් සුනඛයන්ට සමාන බැව් ද පැවසේ.
සිංහල දඩයම් සුනඛයා හෙවත් සිංහල දඩ බල්ලා පිළිබඳව කතා බහ කිරීමේ දී ඔවුන් පිළිබඳව තබනු ලැබූ අපූරු සටහනක් පිළිබඳව ද සඳහන් කළ යුතු ය. සෙනරත් පරණවිතානයන් තරමටම පුරා විද්‍යා ක්ෂේත්රයට සේවයක් කළ පසුගිය සියවසේ අප රටෙහි සිටි විශිෂ්ට විද්වතකු වූ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල සූරීන් විසින් රචිත ආත්මාරක්ෂක සටන් ක්‍රම නමැති කෘතියේ අප රටේ වෙසෙන සාමාන්‍ය සුනඛයන් ලෙස හඳුන්වා තිබේ. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද එම කෘතියෙහි එතුමන් විසින් දක්වන ලද සිංහල බල්ලා පිළිබඳ විස්තරය මෙලෙසිනි.
“ලංකාවේ බිතු සිතුවම්වල හා ගල් කැටයම්වල දක්නට ලැබෙන කෙටි ලෝම. සෘජු කන් හා උඩුකුරු වලිග සහිත සිංහල බල්ලා ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ය.
දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන 9 වැනි සියවසට අයත් ගල් කණුවක ද ඇති රූපයෙන් හකු මහත් සාමාන්‍ය දේහයක් ඇති බල්ලෙකුත්, බිලිබෑවේ තිබෙන දහවන සියවසට අයත් ගල් කණුවක රූපයෙන් ගෙවල් රැකීමට යොදන බල්ලෙකුත් දැක්වේ.කෙටි විශාල හොම්බක් හා කුඩා කන් පෙති සහිත විශාල ඔලුවක් ඇති මේ සතාගේ බෙල්ලේ මස් කැරැල්ලක් ඇත. කෙටිවූ පාද ඇති, මහතට වැඩුණ උරහිස ක්‍රමයෙන් උකුල් ඇට අසල දී උස්වේ.
තරමක් වකුටු වූ වලිගය. ඇසිරියන් හා වර්තමාන තිබැටන් දඩයම් බල්ලන්ගේ මෙනි. මෙම ගල් කණුවේ ඡායාරූපයක් එපිග්‍රෆියා සිලනිකා සඟරාවේ දෙවෙනි කාණ්ඩයේ 8 වන සේයාරුවේ ඇත. ඊට සමාන දුඹුරු සුනඛ රූ 18 වන සියවසට අයත් කැලණියේ ඇති මහා කණ්හ ජාතකය දැක්වෙන බිතු සිතුවමේ ඇති අතර.
වෙස්සන්තර ජාතකයේ බමුණන් වෙහෙස කළ බල්ලාට සුදු, දිග නැහැයක් හා මහත් ලැමැදක් ද ඇත.මොවුන් සහ කතරගමින් සහ මැදවලින් දැක්වෙන්නවුන් (එපිග්‍රෆියා සිලනිකා, 3 කාණ්ඩය,රූප 24, 27) රැකවල් බල්ලන්ට හා 13 වන සියවසට අයත් මදුරෙයි කෝරලේ කොට්ටන්ගෙයි කැටයම්වල දැක්වෙන සිහින් දේහ ඇති ටෙරියර් වර්ගයටත් අතර මැදි වර්ගයකි”. මෙහි දී සිංහල සුනඛයාගේ අනන්‍යතාව තවදුරටත් තහවුරු කිරීමට දැරණියගල සූරීහු තම ලිපියෙන් මෙසේ ද කියති.
“දේව අන්ගම් රෙදිකඩේ දැක්වෙන කොටි හටනේ සිටින්නේ ටෙරියර් වර්ගයේ බල්ලන් ය. පැත්තෙන් පුල්ලි සහිත බල්ලාගේ පුල්ලියක් උගේ ඇස පමණට මහත ය. කොටියාගේ උරහිස ඩැහැගත් බල්ලාත් අනිකාගේ පාට මෙන් වුවත් කොටියාගේ බෙල්ලේ මස කැරැල්ලෙන් අල්ලාගත් විශාල බල්ලාගේ පුල්ලි උගේ නාසය මෙන් මහත් ය.
පුල්ලි රහිත එකාගේ හා තුවාල වූ බල්ලාගේත් කරේ කුඩා සීනුවක් බැඳි පටියක් ඇත.විදේශ සුනඛයන් ගැන මෙදෙස වැසියෝ නොදන්නවා නොවේ. රාජසිංහ රජු ඔවුන් තෝරා ගැනීමට දැන සිටි බව පෙනේ.
එසේ තෝරාගත් සුනඛයන්, සිංහල රජු සාදරයෙන් පිළිගත් තිළිණයක් ලෙස ඕලන්දයින් සැලකූ බව, 1655 ජුනි 10 දා වෑන් ඩර් මේඩන් විසින් බතේවියාවේ අග්‍ර ආණ්ඩුකාර වෙත යවන ලද ලිපියේ ‘මැනිලා, චීන, ජපන් හෝ තායිවාන් ආදී වරිග සුනඛයන් තබා ගැනීමට ලොල් වූ රාජසිංහ රජුට සුනඛයින් කීපදෙනෙක් සොයා දීමට හැකි නම් අපි සතුටු වන්නෙමු’යි සඳහන් කිරීමෙන් පෙනේ. (පීරිස් 1829 පිටුව 180). යුරෝපීය බල්ලන් රජුගේ විවේචනයට පත්වුණු බව අන් ලිපි වලින් හෙළිවේ.
එක් තැනෙක මෙසේ සඳහන් වේ. (පීරිස් 1914, කාණ්ඩය 2. පිට 358) “මේ කරුණු වලදී රජ හාස්‍ය ජනක කිරීම් ඕලන්දක්කාරයන්ගේ ආශාව විය. ඔවුහු අශ්වයන් පමණක් නොව, රජතුමන් සැදල හා කටකලියා ද, සුනඛයන් ද තෑගි කළහ. බල්ලන් ගැන වරක් රජතුමා “මේ බල්ලන්ට රජ මැදුර දොරටු රැකීමට හා මිනිසුන් එලවා හැරීමට බැරිවා පමණක් නොව, ඔවුන්ගේ විලාශය හා පෙනීම ද අසතුටුදායක’යි කීය.
දඩයම් පිණිස තෑගි කල තවත් බල්ලෙකු දෙස බලා උගේ පුල්ලි පිහිටි අන්දමින් දඩයමට වැඩි ප්‍රයෝජනයක් නැතෑයි පැවසීය.පිරී නිය තිබේ නම් ඒ විඩාවට පත් නොවීමේ ලකුණකි. ශරීරයේ යම් යම් සලකුණු හා පුල්ලි නැතිනම් ඒ නියම දඩයම් බලු වර්ගයේ සතෙක් යැයි නොසළකත්”.
තම ලේඛනය මගින් දැරණියගල සූරීන් ඊළඟට පවසන්නේ කුමක්ද?”ඕලන්දක්කාරයෝ සිංහල බල්ලාගේ වටිනාකම හොඳින් දැන සිටියේ. එක් නිලධාරියෙක් වැද්දකුගෙන් මිලට ගත් බල්ලෙක් සුරත් දක්වා ගෙන ගොස් රික්ස් ඩොලර්400ක් සපයා ගත් බව පෙනේ.(පර්සිසවල් 1803, පිටුව 262)
මෙහි ඉහත සඳහන් කළ පරිදි මෙම දේශීය සුනඛයා හඳුන්වන නම ද සිංහල මුත් ඔවුන්ගේ ඉතිහාසය සිංහල ජාතියේ ආරම්භයට වඩා අතීතයේ බොහෝ දුරකට විහිද යන බව පුරා විද්‍යාත්මකව සනාථ වී තිබේ.
මහා වංශයේ විජයාවතරණය පිළිබඳව සඳහන් වන හත් වන පරිච්ඡේදයේ මෙහි ජීවත් වූ යක්ෂයන් සුනඛයන් ඇති කළ බව සෘජුවම පවසා තිබීමෙන් මෙම සිංහල දඩයම් සුනඛයාට අපේ රට තුළ සිංහල ජාතියටත් වඩා පැරණි ඉතිහාසයක් තිබෙන බව පැහැදිලි ය.
එමෙන්ම අප රටේ ජීවත් වූ ආදි වාසී ජනතාවගේ විශිෂ්ඨතම දඩයම් සගයා වූ මෙම සිංහල දඩයම් සුනඛයාට එංගලන්තයෙන් අපට උරුම වූ පොලිස් නිල සුනඛ රාජකාරී පැවරුව හොත් ඔවුන් ඒ වගකීම් දැනට සේවයේ යෙදී සිටින විජාතික සුනඛ රාලහාමිලාට කෙසේ වත් නොදෙවෙනි ලෙස ඉටු කරන බවට සහතික වීමට මට පුළුවන.
තිලක් සේනාසිංහ