සිංහල සිනමා සටන් කලාව “පිළිවෙලකට” සකසා අපෙන් සමුගත් රොබින්

අපට එදිනෙදා මුණගැහෙන බොහෝ දෙනෙකුගේ ජීවිත තුළ ක්‍රමවත් බවක් දකින්නට නොලැබෙන බව ඔවුන් පිළිබඳව විමසිලිමත් වීමේදී පෙනීයයි. එය සැබැවින්ම කණගාටුවට කරුණකි.

මෙම කාරණය කලාකරුවෙකුගේ ජීවිතයට බෙහෙවින්ම බලපාන සාධකයක් ලෙස සඳහන් කළ හැකිය. නමුත් මේ ලොව වඩාත් සාර්ථක වී ඇත්තේ ක්‍රමවත් වැඩ පිළිවෙළක් සහිතව ක්‍රියාකළ අයගේ ජීවිත බව පෙනෙයි.

මෙයට හොඳම උදාහරණයක් හැටියට නොබෝදා අපෙන් සමුගත් රොබින් ප්‍රනාන්දු කලාකරුවා නම් කළ හැකිය. ඔහුගේ ජීවිතය දෙස ආපසු හැරී බලන විට එය මැනවින් සනාථ වේ. ඔහුගේ ජීවිතය වැඩි වශයෙන් ගෙවුණේ චිත්‍රපට සටන් කලාව සමඟිනි.

ඔහු පිළිවෙලකට වැඩ කළ අයෙකි. චිත්‍රපටයක සටන් දර්ශනයක් රූපගත කිරීමට පෙරාතුව එය මැනවින් සැලසුම් කිරීම ඔහුගේ සිරිතයි. ඒ වෙනුවෙන් ඔහු උපරිම වෙහෙසක් දරන බව ද කියනු ලැබේ.

මේ සියල්ල මැද ඉතාමත් අවදානම් අවස්ථාවන් වලට පවා ඔහු සිය කැමැත්තෙන් ඉදිරිපත්වූ අවස්ථා එමට ය.ඒ නිසා බොහෝ විට යම් ආබාධයන්වලට පත්වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

යුද බිමට වන් සෙනෙවියකු මෙන් මේ සියලු කැපවීම් ඔහු සිදුකළේ තමාට පැවරී ඇති කාර්යය,සිංහල සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙනි.

ඔහු මුලින්ම සිනමාවට පිවිසෙන්නේ ‘ධීවරයෝ’ ච්ත්‍රපටයේ සුළු දර්ශන කිහිපයක් තුළිනි. අනතුරුව ‘චණ්ඩියා’ චිත්‍රපටයේ පිහිණුම් තටාකයක ඉහළ ස්ථානයක ගාමිණී ෆොන්සේකා සමගින් කරන ඉතාමත් ස්වභාවික සටන ඔහුගේ සාර්ථකත්වයේ පටන් ගැන්මයි.

ඉන්පසු ඔහු රඟපෑමෙන් එක්වූ බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් ගැන අපට සතුටෙන් කතාකළ හැකිය. ඔහුගේ පැමිණීමෙන් සිංහල සිනමාවට සටනට නව පණක් ජවයක් එක් විය.ඒ ඔහුගේ සටන් වල තාක්ෂණික පසුබිමක් ද තිබූ බැවිනි.

පෞද්ගලිකව ඊට පෙර මම හොඳ මට්ටමක සටනක් දුටුවේ ‘සංදේශය’, ‘රන් මුතු දූව’ සහ ‘ගැටවරයෝ’ තුළින් පමණි. රොබින් ඊට සටන් තාක්ෂණය එකතු කරමින් වඩාත් තාත්වික බවක් එක් කිරීමට සමත් විය. ‘රුහුණු කුමාරි’ සහ ‘හාර ලක්ෂය’ චිත්‍රපට යුගලයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග කරන සටන ඒ අතුරෙන් කැපී පෙනුණි.

එයිනුත් ‘හාර ලක්ෂය’ චිත්‍රපටයේ ඔහු ඇලෙක්ස් සමග දැල්වෙන බවුත් එකක් සහිතව මහත් අවදානමක් ගෙන කරනා සටන අවිවාදයෙන්ම එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ අප දුටු ඉහළින්ම තැබිය හැකි අති විශිෂ්ඨ සටනකි.

ඒ හැරෙන්නට ‘හතර කේන්දරේ’, ‘සැඟවෙන සෙවණැල්ල’, ‘පේනවා නේද?’, ‘කවුද හරි’, ‘බයිසිකල් හොරා’, ‘අභිරහස’, ‘සිංගප්පූර් චාලි’, ‘වස්තුව’, ‘සිහසුන’ ‘ඉහත ආත්මය’, ‘වස්තුව’, ‘රත්තත්තීන් රත්තමේ’, ‘හදවත් නැත්තෝ’, ‘සිකුරුලියා’, ‘සිරිපාල සහ රන්මැණිකා’, ‘සංකපාලි’, ‘රක්තා’, ‘අපේක්ෂා’, ‘අංජානා’, ‘ජීවිතයෙන් ජීවිතයක්’, ‘සුර දූතියෝ’, ‘බෝනික්කා’, සහ ‘තන්හා ආශා’ යන චිත්‍රපටවල ඉහළම තාත්වික බවින් යුතු සටන් දර්ශන අපට දැකගන්නට ලැබුණි.

ඒ අතරිනුත් ‘කවුද හරි’, බයිසිකල් හොරා’, ‘හදවත් නැත්තෝ’, ‘සිකුරුලියා’ ‘සිරිපාල සහ රන්මැණිකා’ සහ ‘අපේක්ෂා’ යන චිත්‍රපටවල සටන් බටහිර සිනමාවේ සටන් වලට නොදෙවෙනි අයුරෙන් ඔහු සිදුකොට තිබෙන බව පැවසිය යුතුම ය. මේ චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂකවරයා වූයේත් ඔහුමයි.

‘සිරිපාල සහ රන්මැණිකා’ චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණිය සමඟ ධාවනය වන දුම්රිය මැදිරියක වහලයේ එකින් එකට පැනයන දර්ශනය ඉතා අවදානම් සහගත රූ ගත කිරීමකි.එහි ප්‍රධාන චරිතය රඟ පෑ. රවීන්ද්‍ර රන්දෙණියගේගේ සිත තුළ පැවති බිය තුරන් කොට ඊට එකඟ කරගත් බව රූපවාහිනී සාකච්ඡාවක් මගින් දැනගන්නට ලැබුණි.

රොබින් එහි මරු සිරාගේ සගයා වන ලයනල් ලෙස විශිෂ්ඨ රංගනයක ද යෙදුණි.
‘අපේක්ෂා’ චිත්‍රපටයේ ‍රන්ජන් මෙන්ඩිස් සමග දුහුවිලි කන්දක සිට පහළට පෙරෙලෙමින් කරනා සටන් දර්ශනයත් නොමැකෙන සිහිවටනයකි.

එමෙන්ම ‘සිකුරුලියා’ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමගින් කරනා සටන් ඉතාමත් ආකර්ෂණීය එකකි. දමිළ සිනමාවේ ‘ජේම්ස් බොන්ඩ්’ ලෙස හැඳින්වූ ජෙය ශංකර්’ව ඔහු ‘රත්තතීන් රත්තමේ’ චිත්‍රපටයේදී සටන් දර්ශනවලදී මෙහෙයවීය ඔහු රංගනයෙන් එක් නොවූ ‘සසර චේතනා’ වැනි ච්ත්‍රපට කිහිපයකම සටන් මෙහෙයවීම විශේෂත්වයකි.මනා ආරෝහ පරිනාහයකින් සහ කඩවසම් බව්කින් යුතු රොබින් මුල්වරට ‘පිනිබිඳු’ චිත්‍රපටය තුලින් තිරයේ පෙම්වතා හැටියට සිනමාවට පිවිසි අතර. දැවෙන පිපාසය’ චිත්‍රපටය තිරගත වන්නේ ඉන් අනතුරුවයි. ‘අපේක්ෂා’, ‘හස්ති වියරුව’, ‘මුහුදු ලිහිණි’, ‘සප්ත කන්‍යා’, ‘ලඳුනේ ඔබ දෙවඟනකි’ යන චිත්‍රපටවල එකිනෙකට වෙනස් භූමිකාවන් නිරූපණය කළේය.

රොබින් බටහිර චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක විය. රොබින්ව මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑම සඳහා කැඳවාගෙන එන්නේ ජනප්‍රිය නළුවෙක් සහ ගායකයෙක් වූ ප්‍රියංකර පෙරේරා විසිනි. ‘හිම රාත්‍රිය’ එම ටෙලිනාට්‍යයයි. සෙක්කු ගෙදර, සමුද්‍ර චායා, බෝගල සවුන්දරිස් වැනි නාට්‍ය ගනනාවක් රොබින් රඟ පෑ චිත්‍රපට අතර වෙයි.

‘සුර දූතියෝ’ සහ ‘නින්ජා ශ්‍රී ලංකා’ යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසිනි.

ඔහු ජීවිතය හොඳින් කළමනාකරණය කල අයෙකු සේම එහි අනියත බව මැනවින් අවබෝධ කරගෙන සිටි උතුම් මිනිසෙකි.

පෞද්ගලිකව දුගී දුප්පත් පිරිස හට විවිධ උපකාර කරනා අතරේ බේදයකින් තොරව පන්සල් සහ පල්ලිවලට දානමය කටයුතු සිදුකළ වාර අනන්තවත් පවතී. මෙ නයින් ඔහු ජීවන දර්ශනයක් සතුව කටයුතු කළ අති සාර්ථක කලාකරුවෙක් සහ මිනිසෙක් හැටියට එකහෙළාම හැඳින්විය හැකිය.

සටහන සහ සිත්තම : ජානක ඉලුක්කුඹුර

එතෙර - මෙතෙර