ගල්ගමුව ප්‍රදේශයේ දිවි ගෙවමින් සිටිය දී පසුගිය කාලයේ ඛේදනීය අකල් මරණවලට ලක්වු සියඹලංගමුව සහ දළපූට්ටුවා යන හස්තීන් ගේ සජීවී ප්‍රමාණයේ අනුරූ ද සහිතව ගල්ගමුවේ ඉදි කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය තැනීමේ කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.කොවිඩ් 19 වසංගතය හමුවේ එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට වසරකටත් වඩා ප්‍රමාද වී ඇත.
එබැවින් එහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම පිණිස අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට සපුරා තිබේ.පාදෙණිය-අනුරාධපුර රාජධානී පිවිසුම (මාර්ග අංක 57 කොළඹ-අනුරාධපුර බස් මාර්ගය) අද්දර ගල්ගමුවේ පූලංචිය වැව් ඉස්මත්තේ පිහිටි පරිසර උද්‍යානයේ ස්ථාපිත කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකයට එම ඇත් අනුරූ දෙකට මතරව පක්ෂි,උරග,මත්ස්‍ය,ක්ෂීරපායි,සමනල යන සත්ව ප්‍රජාවන් සංකේතනය කෙරෙන බිතු සිතුවමකින් ද යුක්ත ය.
ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත තැනෙන පීඨිකාවක් මත්තෙහි අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානයේ පුරෝගාමිත්වයෙන් ඉදි කෙරෙන මෙම ස්මාරකය ඉදි කිරීම සම්බන්ධ ප්‍රධාන අනුශාසකත්වය අනුරාධපුර, රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ගෙනි.
සත්ව අවිහිංසාව පිළිබඳ ජනතා ආකල්ප පුබුදු කරවීමේ වැඩ සටහන් මාලාවක් ද ක්‍රියාත්මක වනු ඇත.කිසිදු විදේශීය හෝ දේශීය ආධාර ප්‍රභවයක් නොමැති අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානය වෙනුවෙන් මෙම ස්මාරකය ඉදි කිරීම පිළිබඳ පූර්ණ සංවිධාන සැලැස්ම සහ අධීක්ෂණය අහිංසා ශ්‍රී ලංකා අධ්යක්ෂ හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ මහතා ගෙනි.
මෙම ස්මාරකය තැනීමේ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන චාරිකාවක් ඊයේ(04) සිදු කෙරුණු අතර ඒ සඳහා අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානයේ සම්බන්ධීකරණ සහ ව්‍යාප්ති අධ්යක්ෂ තිලක් සේනාසිංහ මහතා ද එක් වූ අතර මෙම අවස්ථාව සඳහා ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.කේ විමලරත්න සහ මෙම ස්මාරකයේ නිර්මාණ ශිල්පී රත්නායක ජයලත්ගේ යන මහත්වරු ද එක් වූහ.